අයිසීසී දූෂණ විරෝධී ඒකකයට යොමු කිරීමට අමාත්‍යාංශය හිටපු ඇමැතිගෙන් සාක්ෂි ඉල්ලයි | දිනමිණ


 

අයිසීසී දූෂණ විරෝධී ඒකකයට යොමු කිරීමට අමාත්‍යාංශය හිටපු ඇමැතිගෙන් සාක්ෂි ඉල්ලයි

2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරගය පාවාදීම

වසර 2011දී ඉන්දියාවේ මුම්බායි නුවර වැන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමඟ පැවති අවසන් මහා තරගය මුදලට හෝ වෙන යම් දෙයකට පාවා පවාදුන් බව එවක හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ හෙළිදරව්වට අදාළ සාක්ෂි හා සියලු තොරතුරු ක්‍රීඩා අමාත්‍යාංශයට ලබාදෙන ලෙස අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා අලුත්ගමගේ මහතා වෙත ලිඛිතව දැනුම් දෙයි.

එලෙස ඉදිරිපත් කරන තොරතුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයට වහා යොමු කිරීමට අපේක්ෂා කරන බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ‘දිනමිණ‘ට පැවැසීය. හිටපු ක්‍රීඩා ඇමැතිවරයා විසින් කරන ලද හෙළිදරව්ව අනුව ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් මත මෙම ලිපිය යොමු කළ බව රුවන්චන්ද්‍ර මහතා එහිදී සඳහන් කළේය.

හිටපු ක්‍රීඩා ඇමැතිවරයා කළ හෙළිදරව්ව පදනම් කරගෙන ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට ද ලිඛිත පැමිණිල්ලක් භාරදී ඇති අතර, එම ඒකකයෙන්ද පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මේ අතර 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවා දුන්නේ යැයි හිටපු ක්‍රීඩා ඇමැතිවරයා කළ ප්‍රකාශය දැඩිව ප්‍රතික්ෂේප කරන එවක ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා ඉන්දීය රජයෙන් සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටී. ඒ සඳහා සහාය වීමට තමා ඉන්දියාව බලා පිටත්ව යෑමට සූදානම් බවත් සිල්වා මහතා පවසා සිටී.

“අපි 2011දී පැවැති ලෝක කුසලානය වික්කා. මං ඒක වගකීමෙන් කියන්නේ. පාවාදීමක් කළා. අවශ්‍යනම් ඒ පිළිබඳව ඕනෑම කෙනෙක් සමඟ විවාදයක් කරන්න මා සූදානම්. මේ පාවාදීමට ක්‍රීඩකයන් සම්බන්ධ නෑ. හැබැයි කිසියම් පාර්ශ්වයක් මේ පාවාදීමට සම්බන්ධ වෙලා කටයුතු කළ බවට තොරතුරු තිබෙනවා. මේ ප්‍රකාශය මා කරන්නේ වගකීමෙන් යුතුවයි” අලුත්ගමගේ මහතා පවසා තිබිණි.

පරාජයට පත් වූ අවසන් මහා තරගයට ක්‍රීඩා ඇමැතිවරයා ලෙස තමාගේ හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය නොගෙන ක්‍රීඩකයන් සිව් දෙනකු ක්‍රීඩා කළ බවත් එය තමා දුටුවේ අවසන් මහා තරගය පැවැත්වෙන අතරතුර බවත් ඒ මහතා කරුණු ඉදිරිපත් කළේය. මේ සම්බන්ධ පැහැදිලි සාක්ෂි ගණනාවක් වගකිව යුතු ආයතන වෙත තමා ඉදිරිපත් කළ බවත් ඉදිරියේදී මෙතෙක් හෙළි නොකළ තොරතුරු ගණනාවක් හෙළි කිරීමට සුදානම් බවත් අලුත්ගමගේ මහතා සඳහන් කර තිබිණි.

 

 

ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න