රුපියල් කෝටියක් වටිනා කුඩු තබාගත් කතක් සමඟ අයෙක් පොලිස් අත්අඩංගුවට | දිනමිණ


 

රුපියල් කෝටියක් වටිනා කුඩු තබාගත් කතක් සමඟ අයෙක් පොලිස් අත්අඩංගුවට

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ එකක් සමඟ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ගෝනපොළ ප්‍රදේශයේදී පෙරේදා (25) දින රාත්‍රියේ දී දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය පැවැසීය.

අත්අඩංගුවට පත් සැකකාර කාන්තාව ගෝනපොළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක් වන අතර සැකකාර පිරිමි පුද්ගලයා වයස අවුරුදු 35ක් වන හොරණ පොකුණුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොවුහු ඉතා දීර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් ජාවාරමේ නිරතවී සිටි අය බවත් දෙහිවල, පානදුර, මොරටුව, බණ්ඩාරගම පිළියන්දල, කොට්ටාව, බොරලැස්ගමුව, ගල්කිස්ස, මහරගම යන ප්‍රදේශයන්හි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හරහා හෙරොයින් කිලෝ දහයකට වඩා අධික ප්‍රමාණයක් අලෙවි කරමින් මුදල් උපයා ඇති බවත් පොලීසිය විසින් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර හෙරොයින් විකුණා ලබා ගත් රුපියල් දෙලක්ෂ පනස් දාහක මුදල්, නවීන මාදිලියේ ජංගම දුරකථන 2ක්, සාමාන්‍ය ජංගම දුරකථන 8ක්, ඉලෙක්ට්‍රොනික් තරාදි 3ක්, මත්කුඩු ජාවාරමේ මුදල් ගනුදෙනුවලට යොදාගත් රාජ්‍ය බැංකුවල හා පෞද්ගලික බැංකුවල ගිණුම් සහිත බැංකු පොත් 7ක්, සහ ඒටීඑම් කාඩ් පත් 5ක්, මත්කුඩු එතීමට යොදා ගන්නා බ්ලූටූත් ලාංඡනය සහිත කඩදාසි තොගයක් සහ කඩුවක් පොලිස් භාරයට ගත් බව පොලිසිය පැවැසීය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලද බුද්ධි තොරතුරකට අනුව දෙහිවල පොලීසිය පොලීසියේ ස්ථානාධිපතිවරයා සහ ගල්කිස්ස කොට්ඨාස යතුරු පැදියේ ඒකකයේ ස්ථානාධිපතිවරයා, ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමක් යොදවා මෙහෙයුම සිදු කර සැකකරුවන් හා මත්කුඩු තොගය අත්අඩංගුවට ගත් බවත් පොලිසිය ප්‍රකාශ කළේය.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබා ගෙන තව දුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බවත් පොලිසිය අනාවරණය කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය මත දෙහිවල පොලීසිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුෂ්මන්ත, ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නීල් ප්‍රියන්ත, ගල්කිස්ස විශේෂ පොලිස් යතුරුපැදි ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අසේල සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල් 33746 බාල කුමාර්, 93748 ජයවර්ධන, 54972 රන්ජිත්, 92438 මධුෂාන්, 92998 මධුර නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

සමීර අබේසිංහ - නුගේගොඩ සමුහ

නව අදහස දක්වන්න