රිවෝල්වරයක් හා කුඩු සමඟ සැකකරුවෙක් කොරලවැල්ලේදී කොටු වෙයි | දිනමිණ

රිවෝල්වරයක් හා කුඩු සමඟ සැකකරුවෙක් කොරලවැල්ලේදී කොටු වෙයි

මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේදී රිවෝල්වරයක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 200ක් සමඟ සැකකරුවකු එගොඩ උයන පොලීසිය පෙරේදා (27) අත්අඩංගුවට ගෙන තිබේ.

එගොඩ උයන පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කළ බවත්, සැකකරු කලක් හමුදාවේ සේවය කර 31ක් හැවිරිදි එක්දරු පියෙකි. සැකකරු අයිස් මත්ද්‍රව්‍ය වෙළෙඳාමට මෙන්ම මත්ද්‍රව්‍ය පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. මොරටුව කොරලවැල්ල මෙතායස් පෙදෙසේ පදිංචි සැකකරු නිවසේ සිටියදී ලද තොරතුරට අනුව මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ස්පාඤ්ඤයේ නිෂ්පාදිත රිවෝල්වරයක් හා අලෙවි කිරීමට පැකට් කර තිබූ රුපියල් දහදාහක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 20 බැගින් වූ පැකට් 10ක් සොයාගත් බව පොලීසිය කියයි

සැකකරු මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වැඩිදුර පරීක්ෂණ එගොඩ උයන පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාළ මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලක්ෂිත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් සැරයන්වරුන් වන රූපසිංහ, අමිල හා කොස්තාපල්වරුන් වන ඒකනායක, සෝමරත්න, අල්විස්, චන්දික යන නිලධාරීහු සිදු කරති.

සමීර අබේසිංහ-නුගේගොඩ සමූහ

නව අදහස දක්වන්න