විසි එක්වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා මුරලි | දිනමිණ


 

විසි එක්වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා මුරලි

එතෙක් මෙතෙක් ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලුලාභියා වන මුත්තයියා මුරලිදරන් විසි එක් වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ‘විස්ඩන්’ සඟරාව විසින් නම් කරනු ලැබීය. මුරලිදරන් විසි එක්වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම් කරනු ලැබුවේ ලොව ප්‍රමුඛතම ක්‍රිකට් විශ්ලේෂණ සමාගමක් වන CricViz සමඟ සිදු කළ සමීක්ෂණයකට අනුවය.

වසර 2000 සිට 2020 දක්වා රැස් කරන ලද ක්‍රිකට් දත්ත අනුසාරයෙන් මේ සමීක්ෂණය සිදු කළ බව විස්ඩන් සඟරාවේ කළමනාකාර අධ්‍යක්ෂ සෑම් ස්ටෝව් ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් ශ්‍රී ලාංකේය නාමය දීප්තිමත් කළ මේ විශිෂ්ට ක්‍රීඩකයා ක්‍රීඩාවෙන් සමුගෙන වසර 10ක් ගත වූව ද, අදටත් ටෙස්ට් සහ එක්දින පිටියේ වැඩිම කඩුලලාභියා ලෙස වාර්තාපොතට එක්වී සිටී.

“මුරලිගේ ටෙස්ට් කඩුලු 800න් කඩුලු 573ක්ම ඔහු බිඳ දැමුවේ 2000 ජනවාරි 1 වැනිදා සිට 2010 දක්වා කාල සීමාවේ ක්‍රීඩා කළ තරග 85කදියි. එම කාල සීමාව ඇතුළත මුරලිට වඩා වැඩි කඩුලු සංඛ්‍යාවක් අත්කර ගැනීමට සමත් වූයේ කඩුලු 584ක් බිඳ දැමූ එංගලන්ත වේග පන්දු යවන්නකු වන ජේම්ස් ඇන්ඩර්සන් පමණයි. නමුත් ඒ සඳහා ඔහුට ටෙස්ට් තරග 151කට ක්‍රීඩා කිරීමට සිදුවී තිබුණා.” විස්ඩන් සඟරාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් කීවේය.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයන්ගේ දායකත්වය පිළිබඳ නූතන තාක්ෂණය උපයෝගි කරගෙන ‘ක්‍රික් විස්’ විශ්ලේෂණ සමාගම සිදු කළ මේ සමීක්ෂණයෙන් ක්‍රීඩකයන් 30 දෙනකු තෝරා ගෙන ඇති අතර, මුරලිදරන්ගේ දායකත්වය ඒ සියලු ක්‍රීඩකයන්ට වඩා ඉහළින් පවතින බව සොයා ගෙන තිබේ. මුත්තයියා මුරලිදරන් ටෙස්ට් සහ එක්දින පිටියේ වැඩිම කඩුලුලාභියා පමණක් නොව ටෙස්ට් ඉනිමක වැඩිම වාර ගණනක් (වාර 67ක්) කඩුලු 5ක් හෝ ඊට වඩා ලබාගත් පන්දු යවන්නා ද, ටෙස්ට් තරගයක කඩුලු 10ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් දවාගත් (වාර 22ක්) පන්දු යවන්නා ද වේ. එමෙන්ම සෑම ටෙස්ට් රටකටම එරෙහිව තරගයක කඩුලු 10 ක් සම්පූර්ණ කළ එකම පන්දු යවන්නා ද මුරලිදරන් ය. ඔහු වේගවත්ම ටෙස්ට් කඩුලු 350, 400, 450, 500, 550, 600, 650, 700, 750 සහ 800 වාර්තා කිරීමට සමත්වූ අතර, පිට පිට සිව් වතාවක්ම ටෙස්ට් තරගයක කඩුලු 10ක් සම්පූර්ණ කළ එකම පන්දු යවන්නා ය. ඔහු මේ වාර්තාව අවස්ථා දෙකකදී තැබීම කැපී පෙනේ. ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා වන මුරලිදරන් ටෙස්ට් ඉනිමක කඩුලු 9ක් දවාලූ අවස්ථා දෙකක් වාර්තා කළ අතර එවැනි දස්කමක් මීට පෙර වාර්තා වූයේ එංගලන්තයේ හිටපු දඟ පන්දු යවන්නකු වන ජිමී ලේකර්ගෙන් පමණි.

ටෙස්ට් තරග බිමේ වැඩිම වාර ගණනක් තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් ක්‍රීඩකයා වන්නේ ද මුරලිදරන් ය. ඔහු අවස්ථා 11කදී තරගාවලියේ වීරයා සම්මානයට හිමිකම් කීවේය. ඔහු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කාර්යබහුලම පන්දු යවන්නා ලෙස වාර්තා පොතට එක් වූයේ සිය ටෙස්ට් ක්‍රිකට් ජිවිතය තුළ පන්දු 44039ක් ම යැවීමෙනි.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න