දහසේ හොර නෝට්ටු සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට | දිනමිණ


 

දහසේ හොර නෝට්ටු සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

උපාලි කරුණාරත්න

රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවන් දෙදෙනෙකු මීගහවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය පෙබරවාරි 28 දින මීගහවත්ත පොලිස් ස්ථානයට බැංකුවක කළමනාකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදුකර එදිනම රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටු 07ක් සමඟ සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු මේ වන විට ඇප මත මුදා හැර ඇත.

මේ සම්බන්ධයෙන් මීගහවත්ත පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදුකර පෙරේදා(28) දින රුපියල් 1000ක ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව ප්‍රධාන සැකකරු වැබඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගේ වැබඩ ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ තිබී රුපියල් 1000 ව්‍යාජ නෝට්ටු 10ක්, රුපියල් 500 නෝට්ටු 01ක්, ලැප්ටොප් පරිගණකයක්, ප්‍රින්ටරයක් හා මොනිටරයක් අත් අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 29 හා 52ක් වූ ගෝනහේන හා වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මොවුන් ඊයේ(29) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අතර මීගහවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

නව අදහස දක්වන්න