නියෝජ්‍ය සභාපති මුල් පුටුව ඉල්ලයි | දිනමිණ


 

නියෝජ්‍ය සභාපති මුල් පුටුව ඉල්ලයි

රග්බි සංගම් නිලවරණය

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ වත්මන් නියෝජ්‍ය සභාපති රිස්ලි ඉල්යාස් මහතා එළැඹෙන නිලවරණයේදී සභාපතිධුරයට තරග වදින බව ප්‍රකාශ කළේය. රග්බි ආයතනයේ හිටපු ලේකම්වරයකු ද වන ඉල්යාස් මහතා පසුගියදා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වමින් මේ බව අනාවරණය කළේය.

වසර ගණනාවක් රග්බි ආයතනයේ පරිපාලනයට සම්බන්ධව සිටි ඉල්යාස් මහතා ලබන අගෝස්තු මස 29 වැනිදා පැවැත්වීමට නියමිත රග්බි ආයතනයේ නිලවරණයේ දී සභාපතිධුරය හිමිවනු ඇතැයි දැඩි විශ්වාසයෙන් යුතුව පසුවෙයි.

මෙරට සියලු පළාත් රග්බි සංගම්, ක්‍රීඩා සමාජ, පාසල් සහ රග්බි ක්ෂේත්‍රයට සම්බන්ධ සෙසු පාර්ශ්ව මේ සඳහා සහයෝගය දක්වනු ඇතැයි ඉල්යාස් මහතා විශ්වාසය පළ කළේය.

ක්‍රීඩකයකු ලෙස රග්බි පිටියට අවතීර්ණ වූ ඒ මහතා පසුකාලීනව පීටර්සන් ක්‍රීඩා සමාජයේ පරිපාලනයට සම්බන්ධ වූ අතර, රග්බි ආයතනයේ ලේකම්ධුරයට පත්වන විට බස්නාහිර පළාත් රග්බි සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

මෙවර නිලවරණය සඳහා තමාට මෙරට රග්බි ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ පසුබිමක් සහිත පිරිසකගේ සහයෝගය ලැබී ඇති බව පැවැසූ ඉල්යාස් මහතා, ක්‍රීඩාවේ ව්‍යාප්තිය වෙනුවෙන් සංකල්ප රැසක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටී.

ඉල්යාස් මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් වැඩසටහන් රැසක් සැලසුම් කර ඇති අතර අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ මුහුණුවර කෙටි කරමින් එක් තරග වටයකට පමණක් සීමා කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

ලීග් තරගාවලියෙන් පසුව පිළිමලුන් පිටුදැකීමේ තරගාවලිය ද ඉන් අනතුරුව සත් සාමාජික තරගාවලිය ද පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්, සත් සාමාජික තරගාවලියේ ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග පිරිනැමීමටත්, එම කණ්ඩායමට විදෙස් තරග සඳහා සහභාගි වීමේ අවස්ථාව සලසා දීමටත් බලාපොරොත්තු වන බව කියා සිටියේය.

මෙවර රග්බි නිලවරණයේදී ඉල්යාස් මහතා සභාපතිධුරයට තරග වදින අතර, ඔහුගේ පාර්ශ්වයෙන් වත්මන් උප සභාපති නසීම් මොහොමඩ් මහතා නියෝජ්‍ය සභාපතිධුරයට තරග වැදීමට නියමිතය. රියර් අද්මිරාල් එච්.ඒ. යූ.ඩී. හෙට්ටිආරච්චි උපසභාපතිධුරයට තරග වැදීමට සූදානමින් සිටින අතර, දිමිත්‍රි ජූඩ් ලේකම්ධුරයටත්, දිනේෂ් පෙරේරා භාණ්ඩාගාරිකධුරයටත් නාමයෝජනා බාර දීමට අපේක්ෂා කරති. මීට අමතරව ෆසාල් මොහොමඩ්, රොෂාන් ඩීන්, ජීවන් ගුණතිලක, ෂම්රාත් ප්‍රනාන්දු, පවිත්‍ර ප්‍රනාන්දු, නිරංජන් අබේවර්ධන සහ බන්දුල මල්ලිකාරච්චි මහත්වරු කමිටු සාමාජික තනතුරු සඳහා ඉල්යාස් පාර්ශ්වයෙන් නිලවරණයට ඉදිරිපත් වීමට නියමිතය.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න