මෝටර් රථ තරගාවලි 3කට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අවසර පතයි | දිනමිණ


 

මෝටර් රථ තරගාවලි 3කට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අවසර පතයි

කොවිඩ් වසංගතය හේතුවෙන් සම්පූර්ණයෙන්ම කඩා වැටුණු මෙරට මෝටර් රථ සහ යතුරුපැදි ධාවන ක්ෂේත්‍රයේ නිරත වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් තරගාවලි 3ක් පමණක් පැවැත්වීම කෙරෙහි එම ක්‍රීඩාවේ මව් සංගමය වන ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සමාජයේ (SLAS) අවධානය යොමු වී තිබේ. පවතින තත්ත්වය මත මේ වසරට නියමිත වාර්ෂික ශූරතා තරගාවලි වන ශ්‍රී ලංකා සුපර් සීරිස්, සියැට් - ස්ලාඩා සහ ජාතික ශුරතාවලිය අවලංගු කිරීමට සිදුවී ඇති බව ද එම සංගමය පවසයි.

එසේ වුවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ දක්ෂතා මුවහත් කරගැනීමට අවස්ථාවක් ලබා දෙමින් කඳු තරණ තරගාවලියක්, බොරලු සහිත ධාවන පථයේ තරගාවලියක් සහ තාර සහිත ධාවන පථයේ තරගාවලියක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සභාපති රිස්වි ෆාරුක් මහතා ප්‍රකාශ කළේය.

“ මේ සඳහා අප ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඉදිරි කාලයේ දී තරගාවලි පැවැත්වීමට අවශ්‍ය පරිදි සෞඛ්‍ය නීතිරීති ලිහිල් වන්නේ නම් ඒ සඳහා අවස්ථාවක් ලබා දීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අවසරය ලැබෙනු ඇතැයි අප විශ්වාස කරනවා.‘ රිස්වි ෆාරුක් මහතා සඳහන් කළේය.

මේ වසරේ තරගාවලි සඳහා සහභාගි වීමට ධාවන ශුරයන් වෙත නිකුත් කළ රියැදුරු බලපත්‍ර කිසිදු ගෙවීමකින් තොරව ලබන වසරට වලංගු වන පරිදි දීර්ඝ කිරීමට කටයුතු යොදා ඇති බව ද ඒ මහතා කියා සිටියේය. එමෙන්ම වාර්ෂික තරගාවලි සංවිධාන කිරීමට මව් සංගමයට ගෙවා ඇති තරගාවලි ගාස්තුව ද ලබන වසරට වලංගු වන බව රිස්වි ෆාරුක් මහතා පැවැසීය.

සුපර්ක්‍රොස් තරග 8ක්, මාණ්ඩලික ධාවන තරග 5ක්, කඳු තරණ තරගාවලි 3ක් සහ මෝටර් රථ රැළි තරග 3කින් සමන්විත මේ වසරට නියමිත තරගාවලි සියල්ල කොවිඩ් වසංගතය හමුවේ අවලංගු කිරිමට සිදුවී තිබේ. පසුගිය මාර්තු මාසයේ මැද භාගයේ දී මෙම වසංගතයේ අවදානම මත සියලු ක්‍රීඩා ඉසව් අවලංගු කිරිමට සිදුවී තිබිණි.

ශීෂා මුණසිංහ

නව අදහස දක්වන්න