ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට මුදල් දී හෝ වැය කර හෝ නෑ | දිනමිණ


 

ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට මුදල් දී හෝ වැය කර හෝ නෑ

මහින්ද අලුත්ගෙදර

එක්සත් ජනපද තානාපති කාර්යාලය

යෝජිත එම්සීසී ගිවිසුම යටතේ වන ඇමෙරිකානු ඩොලර් මිලියන 480න් කිසිදු මුදලක් ශ්‍රී ලංකා රජය වෙත ලබාදීමක් හෝ වැය කිරීමක් සිදු කර නොමැති බව ඇමෙරිකා එක්සත් ජනපදය අවධාරණය කළේය. සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය මේ බව පැවසීය.

එම්.සී.සී. ගිවිසුම පිළිබඳ සලකා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද කමිටුවේ සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා විසින් පෙරේදා (25) ජනාධිපතිවරයා වෙත එම කමිටුවේ අවසන් වාර්තාව පිළිගැන්වීය.

සහශ්‍ර අභියෝගතා ගිවිසුම හෙවත් මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම (MCC) සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් විවිධ මත ඉදිරිපත් කර තිබෙන පසුබිමක වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මෙම කමිටුව පත් කෙරිණි. විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසක අදහස් හා යෝජනා විමර්ශනය කරමින් මාස 06ක කාලයක් පුරා කළ අධ්‍යයනයකින් පසුව කමිටු වාර්තාව සම්පාදනය කෙරිණි.පසුගිය රජය 2017සහ 2018 වසරවල එම්.සී.සී.ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බව එය බාරදෙමින් කමිටු සභාපතිවරයා පැවසූ අතර ඒ යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 7.4ක් සහ මිලියන 2.6ක් ප්‍රදානය කර ඇතත් ඊට අදාළ ගිණුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නැතැයි ද ඒ මහතා කීය.

නව අදහස දක්වන්න