සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය (MCC) සමාලෝචනය කිරීමේ කමිටුවේ අවසන් වාර්තාව | දිනමිණ


 

සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය (MCC) සමාලෝචනය කිරීමේ කමිටුවේ අවසන් වාර්තාව

4. කමිටුව විසින් කරන ලද තොරතුරු සම්පාදනය

4.1 සංයුක්තය ගොඩනැගීම උදෙසා අනුගමනය කර ඇති ක්‍රමවේද විමර්ශනය

විදේශ රටවල් සමඟ ගිවිසුම් ඇති කර ගැනීමේ දී ස්වෛරී රාජ්‍යයක් විසින් විශේෂයෙන් සලකා බැලිය යුතු කරුණක් වන්නේ තම රටට, ජනතාවගේ සුභසිද්ධියට හා ජාතියේ ස්වෛරී තිරසාරත්වයට කවරාකාර බලපෑමක් ඒ ගිවිසුමට එළැඹීමෙන් සිදු විය හැකි ද යන්නයි. රාජ්‍ය යන්ත්‍රණය හා ආයතනික ව්‍යුහය ක්‍රියාත්මක විය යුත්තේ මේ උදෙසාය. ප්‍රස්තුත සහශ්‍රක අභියෝගතා සමායතන ගිවිසුම සම්බන්ධව ආරම්භයේ පටන් සංරෝධක හඳුනාගැනීම හා සංයුක්තය ගොඩනැගීම හරහා ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීම තෙක් අනුගමනය කරනු ලැබ ඇති ක්‍රියාවලිය හා අදාළ රාජ්‍ය ආයතනවලින් ඊට ලැබී ඇති දායකත්වය අධ්‍යයනය කිරීමට කමිටුව පියවර ගත්තේ එබැවිනි.

මේ උදෙසා විදේශ ව්‍යාපෘති හා මූල්‍යාධාර කළමනාකරණය කිරීම හා සම්බන්ධ රාජ්‍ය ආයතනවල නිලධාරින් සමඟ මෙන්ම විශේෂ වශයෙන් MCC ගිවිසුමට සහසම්බන්ධ වී කටයුතු කර ඇති බවට කමිටුවට වාර්තා වූ ආයතන හා නිලධාරීන් සමඟ අදාළ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට කමිටුව විසින් පියවර ගන්නා ලදී. තවද ඉහතින් ද සඳහන් කර ඇති පරිදි, ඒ ආයතනයන් වෙතින් අග්‍රාමාත්‍ය ‍ලේකම්තුමා මගින් කරුණු විමසීමට ද කමිටුව විසින් පියවර ගැනිණි.

එම සාකච්ඡා තුළින් හා නිල විමසීම් ඔස්සේ සම්පාදනය කෙරුණු (විශේෂ වශයෙන්, ඇමුණුම 9A සහ ඇමුණුම - 10 හි අන්තර්ගත) තොරතුරු අධ්‍යයනය කිරීමේදී කමිටුවට නිරීක්ෂණය වූ සුවිශේෂී වැදගත්කමකින් යුතු කරුණු හා සිදුවීම් පහත දැක්වෙයි.

i. සංයුක්ත පහසුකම (Compact Facility) වෙනුවෙන් කරනු ලැබ ඇති සංරෝධක ඇගැයීම (Constraints Analysis) අමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ කේන්ද්‍රය (Harvard University Centre for International Development or HUCID) විසින් සිදුකරනු ලැබ ඇති බව පෙනේ. එසේ කිරීමේදී ශ්‍රී ලංකාවේ ආයතනවල යම් නිලධාරීන්ගේ සහය ලබා තිබිය හැකි මුත් එය ශ්‍රී ලංකාවේ අදාළ රාජ්‍ය ආයතන විසින් නිල වශයෙන් දේශීයව කෙරුණු අධ්‍යයනයක් බව පිළිගැනීමට අදාළ කිසිදු සාධකයක් හෝ වාර්තාවක් කමිටුව වෙත ඉදිරිපත් වී නැත.

ii. එසේම MCC අරමුදල් මත ක්‍රියාවට නැංවීම පිණිස අවසන් වශයෙන් තෝරාගෙන ඇති ඉඩම් හා ප්‍රවාහන ක්ෂේත්‍ර දෙක ආර්ථික වෘද්ධිය උදෙසා ඉවත් කළ යුතු ප්‍රමුඛතා සංරෝධක බවට නිර්ණය කර ඇති ක්‍රමවේදය ද අපැහැදිලිය. ඒ තේරීම ආර්ථිකමය ප්‍රතිලාභ අනුපාත (Economic Rate of Return or ERR) අනුපිළිවෙළ අනුව සිදුකරන ලද බව පැවසුණද, ඒවා ප්‍රවාහන ක්ෂේත්‍රය හා ඉඩම් පරිපාලනයට අදාළව පිළිවෙළින් 19% හා 26% ලෙස (ඇමුණුම 6 හි ඇති සංයුක්ත ගිවිසුමේ ඇමුණුම III, පිටු අංක 48-49) සඳහන් වූවද, ඒ පිළිබඳ සංසන්දනාත්මක දත්ත හා වාර්තා සහිත තොරතුරු කමිටුවට ලබාදීමට ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම කටයුතු මෙහෙයවා ඇති සංයුක්ත සංවර්ධන කණ්ඩායම (CDT) හෝ රජයේ වෙනත් ආයතනයක් අසමත් වී ඇත.

iii. යෝජිත ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘති හා ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඒ ඒ ක්ෂේත්‍රවල ශ්‍රී ලාංකේය ආයතනයන් විසින් අදාළ ක්ෂේත්‍රීය රාමු තුළ විශ්ලේෂණයන් කර තිබුණා විය හැකි නමුදු, ඒ යෝජනා දේශයේ ස්වෛරීත්වය, ජාතික ආරක්ෂාව, ආර්ථික ස්වාධීනත්වය, සමාජ සුභසිද්ධිය ඇතුළු සමස්ත ජාතික අරමුණුවලට බලපෑ හැකි ආකාරයන් පිළිබඳව (මෙහි ඇමුණුම 14 හි ඇතුළත් වී තිබෙන 2019 ජුලි 4 දිනැති විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් යම් පමණකට සිදුකරනු ලැබ ඇති විග්‍රහය, හැරුණුකොට) සාර්ව රාමුවක් තුළ ප්‍රමාණවත්ව සිදුවී ඇති කිසිදු විග්‍රහයක ප්‍රතිඵල වාර්තාවක් කමිටුව වෙත ඉදිරිපත් නොවීය.

iv. උදාහරණ ලෙස, සියලු ඉඩම්වල තොරතුරු අසීමාන්තිකව ඕනෑම අයකුට ලබාගත හැකි පරිදි පරිගණක දත්ත ගබඩාගත කිරීම රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු නොවන බව හිටපු මිනුම්පතිවරයා, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මේ පිළිබඳ දැනුම්වත් වර්තමාන නිලධාරීන්ද කමිටුව හමුවේ ප්‍රකාශ කළද ඒ අවදානම වගකිව යුතු කේන්ද්‍රීය ආයතන වෙත සන්නිවේදනය වී ඇති බවක් කමිටුවට වාර්තා වී නැත.

v. විශේෂ වශයෙන්, ඉඩම් සම්බන්ධයෙන් මෙම ව්‍යාපෘතිය ඔස්සේ ගොඩනැගීමට යෝජිත මෘදුකාංග හා පරිගණක යෙදවුම් සම්බන්ධයෙන් අවශ්‍ය යතුරුපද හෝ භාවිතයේ පූර්ණ අයිතිය / නිදහස ‍හෝ නඩත්තු කටයුතු පිළිබඳ හැකියාව හෝ මිනින්දෝරු දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන්නේ ද යන්න සම්බන්ධයෙන්වත් පැහැදිලි අවබෝධයක් දෙපාර්තමේන්තුව තුළ නොමැති වග මේ ගැන වර්තමාන මිනුම්පතිවරිය විසින් කමිටුව හමුවේ කරන ලද පැහැදිලි කිරීම් තුළින් ගම්‍ය විය. සංයුක්තයේ කොන්දේසි අනුව සියලු වැඩසටහන් වත්කම්වල බුද්ධිමය දේපොළ අයිතිය MCC ආයතනය සතු විය යුතු බැවින් මෙම හැකියාව හෝ නිදහස ශ්‍රී ලංකාවට අහිමිවීමට සහ ව්‍යෘපෘතියෙන් නිපැයෙන එවැනි මෘදුකාංග හෝ දත්ත පද්ධති හෝ පරිගණක යෙදවුම් හෝ භාවිතා කිරීමට යාමේදී MCC ආයතනය වෙත හෝ අදාළ සමාගම් වෙත භාවිත ගාස්තු ගෙවීමට ශ්‍රී ලාංකේය ආයතනවලට සිදුවීමට ඇති ඉඩකඩ ගිවිසුම් කොන්දේසි තුළින් අහුරනු ලැබ නැති බව ද කමිටුවේ නිරීක්ෂණයයි. ඒ බව මේ සම්බන්ධයෙන් පරදු දරන අදාළ රාජ්‍ය ආයතන විසින් නිරීක්ෂණය නොකිරීම හා ඒ තත්වය නිවැරදි කිරීමට පියවර ගෙන නොතිබීම කමිටුවේ විමතියට පාදක වෙයි.

vi. මේ තත්වයට පාදක වී ඇත්තේ, රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති පිළිබඳ සාර්ව ඇගැයීමක් සඳහා කේන්ද්‍රීයව ස්ථාපනය කරනු ලැබ ඇති ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව හෝ විදේශ ප්‍රතිදාන හා ණය ක්‍රම කළමනාකරණය කිරීමේ වගකීම උසුලන විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හෝ මෙම ගිවිසුම් කෙටුම්පත් කිරීමට හෝ ව්‍යාපෘති ඇගැයීමට හෝ ඒවා ප්‍රමුඛතාකරණය කිරීමට හෝ ආයතනික වශයෙන් දායක කරගෙන නොමැති වීම බව කමිටුව නිරීක්ෂණය කරයි. 2017 පෙබරවාරි 28 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 17/0440/702/016 ට නිරීක්ෂණ වශයෙන් මෙවැනි සාර්ව ඇගැයීමක් අත්‍යවශ්‍ය බවට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2017 මාර්තු 10 දිනැතිව ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශයන් (ඇමුණුම-13) හා ඒ නිර්දේශ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් 2017 මාර්තු 14 වැනි දින පැවැති රැස්වීමේදී ගනු ලැබ ඇති තීරණයන්ද අනුගමනය වී නැතිවීම බරපතළ තත්ත්වයකි.

vii. තවද, මෙම MCC සංයුක්ත ගිවිසුම (Compact) ඊට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම (Program impiementation Agreement or PIA) හා ක්‍රියාන්විතය මෙහෙයවීම උදෙසා ස්ථාපනය කිරීමට යෝජිත MCA – Sri Lanka නමැති ඇපයෙන් සීමිත සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලි කෙටුම්පත (Articies of Association) සකස් කිරීම පිළිබඳ “හිමිකාරත්වය” භාරගැනීමට හෝ ඒවායේ අන්තර්ගතයන් පිළිබඳ වගකීම දැරීමට හෝ සූදානම් කිසිදු රාජ්‍ය ආයතනයක් මෙතෙක් කමිටුවට හමු වී නැත.

viii. මෙම ක්‍රියාන්විතයේ කටයුතු මෙහෙයවා ඇති ආයතනික ව්‍යුහය පිළිබඳ සොයා බැලීමට කමිටුවේ අවධානය යොමුවූයේ මේ නිරීක්ෂණ හමුවේදීය. ඒ විමැසුම්වලදී පහත සඳහන් ‍තොරතුරු සම්පාදනය කරගැනීමට කමිටුවට හැකි විය.

(අ) 2015න් පසු MCC යෝජනාව පිළිබඳ ශ්‍රී ලාංකික සම්බන්ධීකරණය සිදු කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පිහිටුවා ගැනුණු ප්‍රතිපත්ති සම්පාදන කමිටුව සහ සංයුක්ත ගොඩනැගීම් කණ්ඩායම (CDT) විසිනි.

(ආ) ඒ කමිටුවේ ප්‍රධානීන් සමඟ කළ සාකච්ඡාවේදී පැවැසුණේ සංයුක්තයට අදාළ ව්‍යාපෘති ගොඩනැඟීම හෝ ඊට අදාළ කොන්දේසි විග්‍රහ කිරීම හෝ එම කමිටුවෙන් සිදුනොවුණු වගකි. ඊට අදාළ රජයේ ආයතන ඇති බවත් ඒවා අධ්‍යයනය කර රටට අවාසියන් නොවන බව තහවුරු කිරීම ඒ ඒ ආයතනවල වගකීම බවත්, ඒ ආයතනවල නියෝජිතයන් අදාළ සාකච්ඡාවලට සහභාගි වී ඇති බැවින් ඒ සියල්ල නිසි පරිදි ඉටු වී ඇති බව සම්බන්ධීකරණ කමිටුව හා ඒ යටතේ පිහිටුවන ලද MCC ශ්‍රී ලංකා කළමනාකරණ කාර්යාලය උපකල්පනය කරන බවත් ඒ ප්‍රධානීන්ගේ ස්ථාවරය විය. (ඇමුණුම 9A)

(ඇ) තවද එවක මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා විසින් පවසන ලද්දේ මෙම වැඩසටහනට තමන් සම්බන්ධ වන්නේ 2018 ඔක්තෝබර් මස 01 දින සිට 05 දින තෙක් අමෙරිකාවේ පැවැති සාකච්ඡා සම්මුති රැස්වීමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස පමණක් බවයි. ඒ වනවිට ව්‍යාපෘති පිළිබඳ සියලු තීන්දු තීරණ ගෙන අවසන්ව තිබූ බවත්, සාර්ව ව්‍යාපෘති ඇගැයීම් පිළිබඳ රාජ්‍ය ආයතනික යාන්ත්‍රණය බොහෝ කලක පටන් නොසලකා හැර තිබූ බැවින් මේ අවස්ථාවේ ඒ ආයතනවලින් එවැනි කාර්යභාරයක් ඉටුවේ යැයි අපේක්ෂා කළ නොහැකි බවත් ඒ මහතා විසින් පවසන ලදී. (ඇමුණුම - 9A)

(ඈ) රජයට ලැබෙන විදේශ සම්පත් කළමනාකරණය කෙරෙන සාමාන්‍ය ක්‍රමවේදය හා ඊට සම්බන්ධ විය යුතු කේන්ද්‍රීය රාජ්‍ය ආයතන ව්‍යුහය මෙම යෝජනාවලිය ගොඩනැගීමේදී හා ඇගැයීමේදී ප්‍රමාණවත්ව සම්බන්ධ කරගෙන නොමැති බව ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමයේ නියෝජිතයන්ද ඇතුළු අදාළ අංශ සමඟ කරන ලද සාකච්ඡාවලදී හෙළිදරව් විය. (ඇමුණුම - 9B)

(ඉ) ඒ අනුව පොදු මුදල් සම්බන්ධ රජයේ වගකීම මඟහැරෙන පරිදි ගොඩනැගුණු බව පෙනෙන එවන් යෝජනාවලියකට විදේශ සම්පත් දෙපාර්තමේන්තුවද ඇතුළු අදාළ රාජ්‍ය ආයතනවලින් වත් විරෝධයක් ඉදිරිපත් නොවීමට පාදක වූයේ අදාළ යෝජනා ඉදිරිපත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය විසින්ම වීම නිසා විය හැකි බව කමිටුව අනුමාන කරයි.

ix. තවද, සංයුක්ත වැඩසටහන වෙනුවෙන් තෝරාගෙන ඇති සමහර ව්‍යාපෘති කොටස් තවදුරටත් අධ්‍යයනය වී සම්පූර්ණ විය යුතු බවක් MCC ක්‍රියාවලිය තුළින් හා ඒ පිළිබඳව සකස් කරනු ලැබ ඇති 2018 අගෝස්තු 25 සහ 2018 අගෝස්තු 28 දිනැති වාර්තා තුළින් ගම්‍ය වේ. (උපලේඛනය 5 අංක 24, 25) අදාළ අධ්‍යයනයන් අවසන් වී තිබිණි නම් ගිවිසුම අත්සන් කළ පසු ක්‍රියාත්මක කිරීම ඇරඹීමට තවත් වසර දෙකකට ආසන්න කාලයක් අවශ්‍ය වන්නේ මන්ද යන්නද අපැහැදිලිය. ඒ අනුව ඉස්මතු වන ප්‍රශ්නය වන්නේ අදාළ ව්‍යාපෘති සියල්ල පූර්ණ වශයෙන් නිර්මාණය වීමකින් හෝ, මුදල් රෙගුලාසි 3, 4, 34, 35 හා 36 අනුව ඉටුවිය යුතු බහු ක්ෂේත්‍රීය බලපෑම්ද ඇතුළු ශක්‍යතා අධ්‍යයනයන් සිදුවීමකින් ‍හා අදාළ කේන්ද්‍රීය ආයතනවලින් නිසි අනුමැතීන් ලැබීමකින් ‍හෝ තොරව MCC සංයුක්ත ගිවිසුම අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතිද යන්නයි. එසේ නම් එය ඉතා අව-ප්‍රශස්ත තත්වයකි. එවන් යෝජනාවලියක් සම්බන්ධව මූල්‍ය ඇස්තමේන්තුද කාල රාමුද ක්‍රියාන්විත ක්‍රමවේදයන්ද සහිත ගිවිසුමක් අත්සන් කළ හැක්කේ කෙසේ දැයි අපැහැදිලිය.

x. ඉහතින් ප්‍රශ්න කෙරුණු පරිදි ප්‍රමාණවත් අභ්‍යන්තරික අධ්‍යයනයන් සිදුවී නොමැති නම්, ඒ ඒ ආයතන නියෝජනය කරමින් අවසන් සාකච්ඡා සම්මුතීන් සඳහා සහභාගී වූයේ (උපලේඛනය-3: F4-59 පිටු අංක 2315-2318) ප්‍රස්තුතය පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් නොමැති යම් නිලධාරීන් පිරිසක් දැයි ප්‍රශ්න කිරීමට තුඩු දෙයි. තත්වය එසේ නම්, එවැනි සාකච්ඡාවක් උදෙසා වැය කළ විදේශ විනිමය ඇතුළු මහජන මුදල් ඵල රහිතවීම විමතියට කරුණක් නොවේ.

4.2 MCC පිළිබඳ වෙනත් ප්‍රතිග්‍රාහක රටවල අත්දැකීම්

මෙම විමර්ශනයේ එක් කොටසක් ලෙස MCC ප්‍රදාන ලබාගත් රටවල අත්දැකීම් අධ්‍යයනයට කමිටුව විසින් පියවර ගන්නා ලදී. අන්තර්ජාලයේ තොරතුරු, MCC ආයතනයේ හා අදාළ රටවල නිල වාර්තා කමිටුව හමුවේ විවිධ පාර්ශව විසින් ඉදිරිපත් කරන ලද කරුණු සහ ප්‍රස්තුත තේමාවෙන් පැවැති සම්මන්ත්‍රණවලදී ඉදිරිපත් වුණු පර්යේෂණ වාර්තා මෙන්ම කමිටුව විසින්ම සිදුකරන ලද අධ්‍යයනයන්ද මේ උදෙසා පාදක කර ගැනිණි.

ඒ අධ්‍යයනයන්හි සංක්ෂිප්තයක් පහතින් සාරාංශ කර දැක්වෙයි.

i. අමෙරිකා එක්සත් ජනප‍දයේ සංස්ථාපිත 2003 සහශ්‍රක අභියෝගතා පනතින් බලගැන්වුණු MCC වැඩසටහන අඩු ආදායම්ලාභී හා අඩු මැදි ආදායම්ලාභී රටවල ආර්ථික වෘද්ධිය හමුවේ ඇති සංරෝධක දුරු කිරීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් ආරම්භ කරන ලද්දකි. මේ වනවිට රටවල් 49 ක් සමඟ පර්යන්ත හෝ සංයුක්ත ගිවිසුම් 65 ක් අත්සන් කර ඇති අතර ඒ තුළ රටවල් 16 ක් විසින් අත්සන් කර ඇති දෙවැනි ගිවිසුම් ද ඇතුළත්ය. (ඇමුණුම -15A හි අදාළ රටවල් හා ගිවිසුම්ගත වූ වසර සඳහන් වේ.)

ii. අතිගරු ජනාධිපතිතුමන් විසින් 2019 අගෝස්තු 23 දින ඉදිරිපත් කරන ලද අංක PS/CP/180/2019 සහිත අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙන් (ඇමුණුම-13) අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර තිබූ විස්තරාත්මක වාර්තාවෙහි සඳහන් වන්නේ නයිජර්, යේමනය, මොරිටානියාව, ගැම්බියාව, ටැන්සානියාව, නිකරගුවාව, හොන්ඩුරාස්, මැඩගස්කරය, ආර්මේනියාව, මාලි හා මලාවි යන රටවල් සමඟ ඇති කරගෙන තිබූ සංයුක්තයන් බිඳ වැටී හෝ අතරමග නතරවී ඇති බවයි.

iii. අත්සන් කරන ලද ගිවිසුම්වලට පෙර හා පසු වසර පහක කාල පරාසයන් තුළ ඒ ඒ රටවල් අත්පත් කර ගත් වෘද්ධි වේගයන් අධ්‍යයනය කිරීමෙන් නිරීක්ෂණය වූයේ MCC හි මුඛ්‍ය පරමාර්ථයේ සඳහන් අරමුණු සාක්ෂාත් කරගැනීමට MCC ආධාර ලද බහුතරයක් රටවලට නොහැකි වී ඇති බවයි. (ඇමුණුම - 15A) ප්‍රදානයන් ලැබීමට පෙර වසර පහක පැවැති සාමාන්‍ය වෘද්ධි වේගයේ ප්‍රතිශත එකක් හෝ ඊට වැඩි වර්ධනයක් ලබාගැනීමට හැකිවී ඇත්තේ අත්සන් කෙරුණු ගිවිසුම් 65 න් 7 ක පමණකි; එනම්, ඝානාව (පළමු ගිවිසුම), ගයානාව, ඉන්දුනීසියාව (පළමු ගිවිසුම), ලෙසෝතෝ, මලාවි, පැරගුවේ සහ සැම්බියාව පමණි. ප්‍රතිශත භාගයකට වැඩි අමතර වෘද්ධි වේගයක් ළඟා කරගත් රටවල් සැලකුවද මෙම ලේඛනයට අමතරව එකතු වන්නේ මැඩගස්කරය, මෝල්ටෝවා (දෙවැනි ගිවිසුම), නයිජර් හා පිලිපීනය පමණි. රටවල් 38% ක ම වෘද්ධි වේගය අත්සන් කිරීමට පෙර පැවැති මට්ටමට වඩා සියයට භාගයකට වැඩි ප්‍රමාණයකින් අඩුවී ඇත. (32% ක් පිළිබඳ වසර 5කට පෙර පසු සැසැඳීමට අදාළ දත්ත සපයාගත නොහැකිවූ අතර 8% ක් සම්බන්ධයෙන් වෘද්ධි වේගයේ 0.5% කට වඩා අඩුවීමක් හෝ වැඩිවීමක් හෝ දැකිය නොහැකිය.)

iv. MCC පිළිබඳව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය ආර්ථික විද්‍යාර්ථීන්ගේ සංසදය (Sri Lanka Forum of University Economists) විසින් 2020 පෙබරවාරි මස 7 වැනි දින ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැති වැඩමුළුවේදී කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා විසින් පවත්වන ලද මුඛ්‍ය ‍දේශනයෙන් ඉදිරිපත් කෙරුණු ආර්ථිකමිතික අධ්‍යයනයකින්ද මේ බව පෙන්වා දී ඇත. (ඇමුණුම 15B) තවද, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඉදිරිපත් කිරීම් තුළද මේ බව සඳහන් වේ. ඒ අනුව නිගමනය වන්නේ ආර්ථික වෘද්ධිය අවහිර කරන සංරෝධක දුරලීම සම්බන්ධයෙන් MCC ප්‍රදානයන්හි සාර්ථකත්වය සතුටුදායක නොවන බවයි. ඕස්ට්‍රේලියාවේ ස්පර් (SPUR) සංවිධානය විසින් මෙම කමිටුව වෙත කරන ලද ඉදිරිපත් කිරීමෙහි (ඇමුණුම9B) හා උපලේඛනය - 6:B2-120) සඳහන් වී ඇති අයුරු සිය ප්‍රදාන ලබාගත් රටවල ඇති වූ ප්‍රගතියක් සංඛ්‍යාලේඛන ඔස්සේ දැක්වීමට MCC ආයතනය අසමත්වී ඇති බවට කැලිපෝනියා සැන් ෆ්‍රැන්සිස්කෝහි රාජ්‍ය ප්‍රතිපත්ති අත්දැකීම් ප්‍රධානී නයන රේනු කුමාර් මහතා විසින් කර ඇති ප්‍රකාශයෙන් මේ බව තවදුරටත් අවධාරණය වෙයි.

v. MCC ගිවිසුම් ඔස්සේ සිදුවන්නේ දිළිඳුකම පිටුදැකීම නොව අමෙරිකානු සමාගම්වලට දුප්පත් රටවල් කොල්ලකෑමට ‍පාර කැපීම බව කේම්බ්‍රිජ් සරසවියේ ආචාර්ය එමා මවුඩ්ස්ලි පවසා ඇතැයි ස්පර් (SPUR) සංවිධානය සිය ඉදිරිපත් කිරීමෙහි දක්වා ඇත. (ඇමුණුම -9B) හා උපලේඛනය - 6:B2-120) MCC විසින් පළමුව ආණ්ඩු ලවා ඉඩම් නීති වෙනස් කරවා අවශ්‍ය තත්වයන් නිර්මාණය කර ඉන්පසු ඉඩම් ඩැහැගන්නා බව කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පිලිප් මැක්මිචෙල් ද පවසා ඇති බවත්, කැනඩාවේ ක්වීන්ස් සරසවියේ මහාචාර්ය සුසාන් සෝඩර්බර්ග්ට අනුව MCC යනු නව පන්නයේ අමෙරිකානු අධිරාජ්‍යවාදය බවත්, එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

vi. ඉඩම් ඩැහැගැනීමේ දීර්ඝකාලීනව පැවැති බටහිර වුවමනාව දකුණු අප්‍රිකාවේ ඩෙස්මන් ටුටු බිෂොප්තුමාගේ ප්‍රකාශයෙන්ද පැහැදිලි වන වග (SPUR) සංවිධානය විසින් මෙන්ම නේචර් බියුටි ක්‍රියේෂන්ස් සමාගමේ සභාපති සමන්ත කුමාරසිංහ මහතා විසින්ද (ඇමුණුම-9B හා උපලේඛනය-6: A2-34) කමිටුව වෙත එවා ඇති ඉදිරිපත් කිරීම්වල සඳහන් වෙයි. එම ප්‍රකාශය මෙසේය. “ඔවුන් අත බයිබලය විය. අප සතුව ඉඩම් තිබිණි. ඔවුන් කී පරිදි අපි ඇස් පියාගෙන යාච්ඥා කළෙමු. ඇස් අරින විට අප අතේ බයිබලය විය. ඉඩම් ටික ඔවුන් සතුවී තිබිණි” [… When missionaries came to Africa, they had the Bible and we had the land. They said let us close our eyes and pray. “ When we opened them. We had the Bible. And they had the land].

vii. MCC හි ඉඩම් ප්‍රතිසංස්කරණ යෝජනා තුළින් විදේශික සමාගම්වලට අදාළ රටේ ඉඩම් ඩැහැගැනීමට දොරටු විවර කර ඇති බව අප්‍රිකාවේ හා ලතින් අමෙරිකාවේ MCC සංයුක්තවල අත්දැකීම් තුළින්ද පැහැදිලි වෙන ආකාරයේ ඕස්ට්‍රේලියාවේ ස්පර් (SPUR) සංවිධානය විසින් කමිටුවට කරන ලද ඉදිරිපත් කිරීමෙහි සඳහන් වෙයි. ලෙසෝතෝහි ස්වදේශිකයන්ගේ ඉඩම්ද කුණුකොල්ලයට විදේශික සමාගම්වලට විකිණීමට MCC විසින් පාර කපා දී ඇති බව ඉලිනොයිස් සරසවියේ ආචාර්ය චාල්ස් පොගෙයිමාන් පවසා ඇති අයුරුද දේශීය ඇයිමාරා ඉන්දියානුවන්ට සිය ටිටික්කා විලේ ජලය භාවිත කිරීම පිළිබඳ ගැටලු ඇති කරමින් පීරුහි රාජ්‍ය ඉඩම් Bear Creek Mining සමාගම විසින් මිලදී ගැනීම නිසා පීරු රාජ්‍යය විසින් කොන්ත්‍රාත්තුව අවලංගු කළ විට බදු ගෙවන්නන්ගේ පිරිවැයෙන් ඩොලර් මිලියන 24 ක වන්දි ඒ සමාගමට ගෙවීමට පිරූ රටට සිදුවූ අයුරු ද එහි දැක්වෙයි. තවද උගන්ඩාවේ, සියෙරා ලීයොන්හි සහ මාලි දේශයේ ගොවීන්ද මෙවැනි දුෂ්කරතාවන්ට පත්වී ඇති බවද සිය ඉදිරිපත් කිරීමෙන් (SPUR) සංවිධානය කියයි.

viii. මැඩගස්කරය විසින් 2005 දී අත්සන් කරන ලද සංයුක්තය පුරෝගාමී MCC ක්‍රියාන්විතයකි. ඉඩම් පිළිබඳ සින්නක්කර අයිතිය, මූල්‍ය පහසුකම් උදෙසා ප්‍ර‍වේශය, ඉතුරුම් හා කෘෂි ක්ෂේත්‍රීය පුහුණුකිරීම් උදෙසා ලබාදෙන ලද අමෙරිකානු ඩොලර් මිලියන 110 ක ප්‍රදානයෙන් වසර හතරක් ගෙවෙද්දි සංයුක්තය අත්හිටුවීමට MCC ආයතනය පියවර ගෙන ඇත. එසේ කර ඇත්තේ කුමන්ත්‍රණයකින් ආණ්ඩු වෙනසක් සිදුකර ඇති බව පවසමිනි. 2009 වසරේ සිදුවූ එම බල පෙරළියට පාදක වී ඇත්තේ MCC වැඩසටහන යටතේ ඉඩ ප්‍රස්ථා ලද විදේශීය සමාගම් විසින් රටේ කෘෂි ඉඩම් හෙක්ටයාර් තිස් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් 99 වසරක් දක්වාවූ දීර්ඝකාලීන බදුකර මඟින් අත්පත් කරගැනීම නිසා උද්ගත වූ මහජන අප්‍රසාදයයි. එහෙත් සංයුක්තය නතර කළද MCC-Madagaskar නම ක්‍රියාත්මක කිරීමේ ආයතනය තවදුරටත් පවත්වාගෙන යෑමට MCC විසින් තීරණය කර ඇත්තේ මහජන සෞඛ්‍ය හා ආරක්ෂාව තහවුරු කරමින් සහ අමෙරිකානු බදු මුදලින් ගොඩනඟන ලද වැඩසටහන් වත්කම් පිළිබඳ මනා ගිණුම්කරණයක් සිදුකරමින් වැඩසටහන වසාදැමීම උදෙසා බව පැවැසෙයි. කෙසේ වූවද, සංයුක්තය අත්සන් කිරීමට පෙර වසර පහ තුළ තිබූ 2.3% ක පමණ සාමාන්‍ය වාර්ෂික වෘද්ධි වේගය ඉන් පසු වසර පහ තුළ ඉහළ ගොස් ඇත්තේ සියයට භාගයක පමණ ඉතා සුළු ප්‍රමාණයකින් පමණි. මේ අනුව මැඩගස්කර අත්දැකීම සාර්ථක එකක් ලෙස සැලකිය නොහැකිය.

ix. හොන්ඩුරාස් රාජ්‍යය වෙත ලබා දුන් MCC ප්‍රදානය 2010 සැප්තැම්බර් මාසයේදී MCC ආයතනය විසින් අත්හිටුවනු ලැබ ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ආණ්ඩු පෙරළීම MCC ප්‍රතිපත්තිවලට පටහැනි බව පවසමිනි. අදාළ ප්‍රදානයෙන් සිදු කෙරෙමින් තිබූ මහාමාර්ග පිළිසකර කිරීම ඒ නිසා අතරමග නතර වී ඇත. නමුත් ජාත්‍යන්තර දූෂණ දර්ශකයේ ඉතා දූෂිත රටක් ලෙස හැඳින්වෙන හොන්ඩුරාස් රාජ්‍යය සමඟ දෙවැනි සංයුක්තයක් සඳහාද මේ වනවිට සාකච්ඡා කෙරෙමින් පවතින බව වාර්තා වේ.

x. නේපාලයේ ඇත්තේ වෙනස්ම ආකාරයේ අත්දැකීමකි. MCC සමඟ සංයුක්තයක් අත්සන් කළද, එය පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත කිරීමට ‍ෙන්පාලය මෙතෙක් අසමත්වී ඇත. ඊට හේතුව වී ඇත්තේ අමෙරිකාවේ ඉන්දු-පැසිෆික් යුද මූලෝපාය තුළ ඇතිවිය හැකි භූ දේශපාලනික අවදානමට MCC ක්‍රියාන්විතය දායකවීමට ඇති ඉඩකඩ පිළිබඳ නේපාල පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය තුළ උද්ගත වී ඇති මත ගැටුමය. (උපලේඛනය-4: ii වැනි වාර්තාව) එවැනි යුදමය හෝ දේශපාලනමය අරමුණක් නොමැති බව අමෙරිකානු පාර්ශවයෙන් පැවැසුණද ගිවිසුම සුදුසු පරිදි සංශෝධනය ‍නොකර අත්සන් නොකළ යුතු බව රජයේම සිටින විරුද්ධ පාර්ශ්වයන්හි මතය වී ඇත. එහෙත් දැනටමත් අත්සන් කර ඇති ගිවිසුම යළි සංශෝධනය කිරීමට ඇති ඉඩකඩ ඉත‍ා විරල බැවින් සහ එසේ සංශෝධනය නොකරන්නේ නම් ගිවිසුමට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම අසීරු විය හැකි බැවින් දකුණු ආසියාවේ පළමු සංයුක්තය ලෙස අත්සන් කරන ලද නේපාල MCC ගිවිසුම ක්‍රියාත්මකවීම සැක සහිත වී ඇත.

xi. පිලිපීනය සමඟ 2010 දී අත්සන් කෙරුණු සංයුක්ත ගිවිසුම සාපේක්ෂ වශයෙන් සාර්ථක බව සැලකිය හැක්කේ 2016 දී එහි ක්‍රියාකාරිත්වය සියලු කටයුතු සපුරා අවසන් කළ නිසා සහ තවත් සංයුක්තයක් සඳහා සාකච්ඡා ඇරැඹී ඇති නිසාය. තවද, ගිවිසුමට පසු 1%කින් පමණ වැඩි වෘද්ධි වේගයක් අත්පත් කරගැනීමටද පිලිපීනයට හැකිවී ඇත. එහෙත් පිලිපීන ජනාධිපතිවරයා මෑතදී කළ ප්‍රකාශවලින් ගම්‍ය වන්නේ 2016 දී අත්සන් කර ඇති දෙවැනි සංයුක්තය පිළිබඳ පිලිපීනය තුළ ප්‍රසාදයක් නොමැති බවකි. පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනිනියට අනුව (උපලේඛනය - 4: III වැනි වාර්තාව) පිලිපීන රජය 2017 දී මෙම දෙවන සංයුක්තයෙන් ඉවත් වී ඇත.

තව කොටසක් හෙට . . . .

නව අදහස දක්වන්න