ETI, ද ෆිනෑන්ස් දේපළ පවරාගෙන ජනතා මුදල් ආපසු ගෙවනවා | දිනමිණ


 

ETI, ද ෆිනෑන්ස් දේපළ පවරාගෙන ජනතා මුදල් ආපසු ගෙවනවා

නුවන් කොඩිකාර

මහ බැංකු නිලධාරීන්ට ජනපති කියයි

අර්බුදයට ගොස් ඇති ETI මූල්‍ය සමාගම සහ ද ෆිනෑන්ස් ආයතනය සම්බන්ධව අදම නීති උපදෙස් ගෙන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකු නිලධාරීන්ට ඊයේ (29) උපදෙස් දුන්නේය.

ජනාධිපති කාර්යාලය, මහ බැංකුව, භාණ්ඩාගාරය සහ තැන්පත්කරුවන් නියෝජනය වන කමිටුවක් ස්ථාපනය කොට ඉදිරි ක්‍රියාමාර්ග අධීක්ෂණය කළ යුතු යැයි ජනාධිපතිවරයා කියා සිටියේය.

ආයතන දෙක සතු සියලු දේපළ අත්පත් කරගෙන හෝ සෙසු ගනුදෙනුකරුවන්ට ද සාධාරණය ඉටු කළ යුතු බව ETI සහ ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම සිදු වන ආකාරය සොයා බැලීම පිණිස ඊයේ (29) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී හෙතෙම අවධාරණය කළේය.ETI සහ ද ෆිනෑන්ස් ආයතන සතු දේපළ හඳුනාගෙන නඩු පැවරීමකින් තොරව පවරාගෙන ජනතාවට හිමි මුදල් ආපසු ගෙවන බව පැවැසූ ජනාධිපතිවරයා මූල්‍ය ආයතනවලට ණය ගෙවීම් පැහැර හරින පුද්ගලයන්ට එරෙහිව දැඩිව ක්‍රියාකරන බව කියා සිටියේය.

ETI ආයතනයේ ගනුදෙනු පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර ඇති අතර මහ බැංකුව මේ සමාගම් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග දිර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

මීළඟ මුදල් මණ්ඩල රැස්වීමේදී ජනතා චෝදනා සහ දුක් ගැනවිලි විමර්ශනය කොට උපරිම විසඳුම් දීමට ක්‍රියාකරන බවට මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා සහතික විය.

මහ බැංකුවේ අඩු පාඩු නිවැරදි කොට ජනතාවට ඝෘජුව බලපාන ප්‍රශ්න විසඳීමටත්, ආයතනයේ ගෞරවය සහ වගකීම තහවුරු කිරීමටත් පියවර ගන්නා බව මහබැංකු අධිපතිවරයා කියා සිටියේය.

ආයතන දෙකෙහිම ලක්ෂ 06ට අඩු වටිනාකමක් සහිත තැන්පතු හිමියනට ගෙවීම් අවසන් කිරීම පළමු අදියර යටතේ සිදු කෙරේ.

ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු ඇතුළු නිලධාරිහූ සහ ආයතන දෙකෙහි තැන්පත්කරුවන්ගේ නියෝජිත කණ්ඩායමක් සාකච්ඡාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න