ආර්ථික අභියෝග හමුවේ DFCC බැංකුකරණයේ ඉදිරි දැක්ම | දිනමිණ


 

ආර්ථික අභියෝග හමුවේ DFCC බැංකුකරණයේ ඉදිරි දැක්ම

ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ්-19 වසංගත තත්ත්වය මනා ලෙස කළමනාකරණය කරමින් පවතින අතර, රටේ සාමාන්‍ය කාර්යයන් නැවත අරඹා ඇත. මේ වසංගත තත්ත්වය යටතේ බැංකු ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අප හමු වූයේ, DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්‍ෂ්මන් සිල්වා මහතාය.

 වසංගත කාලයේ ඔබගේ බැංකුව ක්‍රියාත්මක වූයේ කෙසේද?

 

විශේෂයෙන් පරිපූර්ණ වාණිජ බැංකු සේවාවක නිරත අප, මෙවැනි දුෂ්කර පරිසර තත්ත්වයක් යටතේ දී ගනුදෙනුකරුවන්ගේ සහාය වෙනුවෙන් නම්‍යශීලී මෙන්ම ප්‍රායෝගික විසඳුම් ලබා දීම ඉතා වැදගත්ය. එහි දී අපගේ ප්‍රමුඛතාව වූයේ නොසිතූ ලෙස විවිධ අභියෝගයන්ට මුහුණ දුන් ගනුදෙනුකරුවන් සඳහා කාලෝචිත විසඳුම් ලබා දීමයි. මෙහිදී online බැංකු සේවාව, ATM/CDM වැනි අපගේ ඩිජිටල්කරණය කරනු ලැබූ සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට යොමු විය. තවද FineTech Sri Lanka සමාගමේ සහයෝගයත් සමඟ දියත් කරන ලද Google G-Suite Enterprises මගින්, සෑම අංශයකම ඩිජිටල්කරණය වේගවත් වූ පසුබිමක් නිර්මාණය කිරීමට අප කටයුතු කර ඇති අතර, එමඟින් අපගේ ගනුදෙනුකරුවන් වෙත තරගකාරී, විශ්වාසනීය මෙන්ම වේගවත් සේවාවක් ලබාදීමට අප සූදානම්.

COVID-19 න් නිර්මාණය වූ තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් අපි සෑම දිනකම පාහේ අපගේ ශාඛා බොහොමයක් විවෘත කර, ජංගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පහසුකම් අපගේ ගනුදෙනුකරුගේ දොරකඩටම ළඟා කරවීමට ක්‍රියාත්මක විය. මෙමගින් නිවෙසේ සිට වැඩ කිරීමේ සංස්කෘතිය වර්ධනය කිරීමේ ක්‍රියාවලියට අපගේ කාර්යමණ්ඩලය විශාල සහායක් ලබාදුන් අතර, එය අපගේ එකමුතු බවේ ශක්තිය තුළින් ලැබූ ජයග්‍රහණයකි.

 

DFCC බැංකුව වසර 65කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සඳහා දැක්වූ සහයෝගීත්වය සම්බන්ධයෙන් පැහැදිලි කළොත්?

 

DFCC බැංකුව, කොළඹ කොටස් වෙ‍ෙළඳපොළේ පූර්වගාමියා වූ කොළඹ තැරැව්කරුවන්ගේ සංගමයේ 1956 වසරේ දී ලියාපදිංචි පළමු බැංකුව වන අතර, එලෙස ලියාපදිංචිය ලත් දෙවැනි මූල්‍ය ආයතනයයි. මෙහි දේශීය හා විදේශීය ආයෝජකයන් සහ මූල්‍ය හා මූල්‍ය නොවන සමාගම්, ආයෝජන අරමුදල් සහ පුද්ගලයන්ගෙන් සැදුම්ලත් පුළුල් පරාසයක පැතිරුණු ගනුදෙනුකරුවන් පිරිසකගෙන් යුක්ත වේ.

2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාර, අස්ථාවර දේශපාලන වාතාවරණය වැනි තත්ත්වය සහ COVID 19 නිසා ඇති වූ අනපේක්ෂිත බලපෑම, ශ්‍රී ලාංකික ආර්ථිකයට මෙන්ම බැංකු ක්‍ෂේත්‍රයට ද පර්යේෂණ කාල පරිච්ඡේදයක් උදාකර දී ඇත. තවද මේ මඟින් ඇති වූ අඩු ආදායම් තත්ත්වය බැංකු ක්‍ෂේත්‍රය වෙත ප්‍රබල බලපෑමක් කිරීමට සමත්ව ඇත. කෙසේ වෙතත්, DFCC බැංකුව 65 වසරක ලද ප්‍රවීණත්වය මත අපගේ පද්ධති සහ සේවාවන් ශක්තිමත් කර ඇති අතර, දුෂ්කර කාලවලදී සක්‍රීය වීම සඳහා එය අපට බෙහෙවින් උපකාරී විය.

 

බැංකුව සතු ක්‍ෂණික අභියෝග මොනවාද සහ ‘zre – start Sri Lanka’ ක්‍රියාවලිය ඔබ දකින්නේ කෙසේද?

 

අපගේ ගනුදෙනුකරුවන් පාස්කු බෝම්බ ප්‍රහාරයේ පටන් මේ වන විට උද්ගතව ඇති වසංගත තත්ත්වය දක්වා මෑත කාලයේ දී සැලකිය යුතු අභියෝගයන්ට මුහුණ දී ඇත. බැංකුවක් ලෙස අපගේ අවශ්‍යතාව වන්නේ ඔවුනගේ දුෂ්කරතාව හමුවේ ඔවුන් පෝෂණය කරනා අර්ථවත් හවුල්කරුවකු වීමයි. එය, කිසිදු සම්මුතියකින් තොරව ඔවුන් තුළ විශ්වසනීය හැඟීමක්, සහතිකයක් ඇති කිරීම අපේ අරමුණයි. මෙහි දී අප හැකි සෑම අවස්ථාවකදීම අපගේ පොදු අරමුණු සුරක්‍ෂිත කර ගැනීම වෙනුවෙන් තාවකාලික ක්‍රියාක්මක වීමේ කාලය දිගු කිරීම් (extended moratoriums), අඩු පොලී ණය සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ පහසුකම් ආදිය ලබා දී ඇත. විශේෂයෙන් ගනුදෙනුකරුවන් ඔවුන්ගේ ක්ෂණික අනාගතය සැලසුම් කිරීමේ අරගලයක නිරතවෙද්දී, DFCC බැංකුව හුදු මූල්‍ය විසඳුමකට වඩා වැඩි ප්‍රමාණයක ප්‍රතිලාභ ලබා දීමට යොමුව ඇත.

 

පසුගිය දා DFCC බැංකුවේ ෆිච් රේටින්ග්ස් වාර්තාව සංශෝධනයට ලක් වුණා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

 

DFCC බැංකුව මේ වන විට අනුබද්ධිත සේවාවන් සහිත ගෝලීය බැංකුවක් බවට පත්වී ඇති අතර, එහි සහායකයන් සහ අනුබද්ධ සමාගම් විසින් මේ දුෂ්කර කාල පරිච්ඡේදයේ දී පවා උද්යෝගයෙන් යුතුව සේවා සැපයීමේ කාර්යයේ නිරතවී ඇත. මෙවැනි ආකාරයේ පරිවර්තනීය ගමනක දී අපට වරින් වර මෙවැනි වූ අභියෝග අපේක්ෂා කළ යුතුව ඇත.

විශේෂයෙන් 2019 වර්ෂය සමස්ත ආර්ථිකයටම දුෂ්කර වසරක් වුවද, අපි හොඳ වර්ධන දර්ශක වාර්තා කිරීමට සමත් විය. කර්මාන්තයේ සාමාන්‍ය තත්ත්වයට සාපේක්‍ෂව අප ශක්තිමත් ස්ථාවරයක් නිරූපණය කරන අතර, අපගේ ණය පොත සම්බන්ධයෙන් අපි වසරින් වසර නිරන්තර වර්ධනය නිරීක්ෂණය කර ඇත්තෙමු. අපගේ CASA අනුපාතය 2019 දී ඉහළ අගයක් ගෙන ඇති අතර, අපගේ NPL අනුපාතය කර්මාන්ත ප්‍රමිතීන් අතර අවම අගයක් ගනී. 2019 දී අපගේ ශාඛා ජාලයට නව ශාඛා 30ක් එක් කිරීම මගින් DFCC බැංකුව දිවයින පුරා සේවාවන් තවදුරටත් ව්‍යාප්ත කිරීමට සමත්වූ අතර, එය එම වසර තුළ වාර්තා වූ විශාලතම ශාඛා වර්ධනය යැයි මම විශ්වාස කරමි. තවද නවතම Business Today’s Top 30 Corporates in Sri Lanka වර්ගීකරණය යටතේ 18 වැනි ස්ථානය සහ Brand Finance’s Top 100 Most Valuable Brands වර්ගීකරණයෙහි 28 වැනි ස්ථානයට ද DFCC බැංකුව පත්ව ඇත.

ඉහත සඳහන් සියල්ල අවධානයට ලක්කරමින්, අපගේ වටිනා සේවාදායකයන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ට මා විසින් සහතික කර ප්‍රකාශ කරන්නේ DFCC බැංකුව ලෙස අපි නියාමකයා විසින් නියම කර ඇති සියලුම ප්‍රධාන අවශ්‍යතා සපුරාලන ඉතා ශක්තිමත් සංවිධානයක් ලෙස කටයුතු කරන බවයි. මේ දක්වා බැංකුව විසින් වාර්තා කර ඇති සියලු ප්‍රධාන අනුපාතයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිශ්චිත ආයතනික පාලන සංස්කෘතියක් සහ ධනාත්මක දැක්මක් සහිතව දක්වා ඇති සීමාවන්ට වඩා ඉහළ මට්ටමක පවතින බවය.

තවද, (Standard & Poor’s) හි මෑතකාලීන ගෝලීය ශ්‍රේණිගත කිරීම මඟින් DFCC බැංකු ව්‍යාපාර ස්ථායිතාව, විවිධාංගීකරණය, මනා කළමනාකරණය සහ උපාය මාර්ග පිළිබඳව ද අදහස් දක්වා ඇත.

 

මේ අවිනිශ්චිත කාලවලදී පවා අනාගතය ගැන ඔබට හොඳ විශ්වාසයක් ඇති බව අප දකිනවා. බැංකුකරණයේ අනාගතය ඔබ දකින්නේ කෙසේද?

 

අර්බුදයෙන් පසු බැංකු හා මූල්‍ය අංශ වෙන කවරදාටත් වඩා ශක්තිමත් වනු ඇතැයි මගේ විශ්වාසය. බැංකුවක් විදිහට DFCC දේශීය වශයෙන් දිගු කාලයක් තිස්සේ ක්‍රියාත්මක ආයතනයක්. විශේෂයෙන් ශක්තිමත් සාරධර්ම මත, පාලනයේ හොඳම භාවිතයන් මත සහ අපගේ සේවා උරුමයන්ගෙන් බලගැන්වූ ජාතියට සේවය කළ හැකි කණ්ඩායමක් සමගින් ශක්තිමත් පදනමක් නිර්මාණය කර ගැනීමට අපට හැකියාව ලැබී තිබෙනවා. මෙයට වසර කිහිපයකට පෙර සංවර්ධන බැංකුවක් ලෙස සිට, වර්තමානයේ වාණිජ බැංකුවක් ලෙස ක්‍රියාත්මක වෙමින්, උපායමාර්ගික වර්ධනයට ප්‍රතිලාභ පෙන්නුම් කළ එකම බැංකුව වීම ගැන අපට තිබෙන්නේ ආඩම්බරයක්. බැංකුවක් ලෙස අප නිරන්තරව නුතනත්වය සමඟ පරිනාමනය වෙමින්, සියලු පාර්ශ්වයන්ගේ විශ්වාසය දිනාගනිමින් අපගේ බැංකුකරණ පරිසරයන් නිර්මාණය වී ඇති බව අපි විශ්වාස කරන්නෙමු.

 

නව අදහස දක්වන්න