ලංකා හොස්පිටල්ස් 18 වැනි සංවත්සරය සමරයි | දිනමිණ


 

ලංකා හොස්පිටල්ස් 18 වැනි සංවත්සරය සමරයි

ජාත්‍යන්තරව පිළිගත් සම්මානනීය රෝහලක් ලෙස ප්‍රචලිත ලංකා හොස්පිටල්ස් සිය අභිමානවත් ගමන් මඟෙහි 18 වැනි වසර පසු කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහලක් වශයෙන් ගුණාත්මක බවින් ඉහළ සෞඛ්‍යරක්ෂණ සේවයක් සපයමින් මෙතෙක් ලැබූ සාර්ථකත්වය උත්සවාකාරයෙන් සැමරීය. ඇඳන් 270කින් හා විවිධ විශේෂඥතා රාශියකින් යුත් ලංකා හොස්පිටල්ස් හෙලිකොප්ටර් අංගණයකින්ද සැදුම් ලත් වර්ග අඩි 350,000ක භූමියක් පුරා විහිදුණු සුවිසල් ගොඩනැගිලි සංකීර්ණයකින් සමන්විතය. මෙරට ගුවන් මගින් රෝගීන් ප්‍රවාහනය කිරීමේ පහසුකම් ඇති එකම පෞද්ගලික රෝහල එයයි. නවතම තාක්ෂණය හා නවීන පහසුකම්වලින් අනූන ලංකා හොස්පිටල්ස්හි මනා පුහුණුව ලත් අත්දැකීම් බහුල කාර්ය මණ්ඩලයට ශ්‍රී ලංකාවේ සිටින හොඳම වෛද්‍යවරු හා විශේෂඥ වෛද්‍යවරු රැසක් ද ඇතුළත්ය. රෝග විනිශ්චය කිරීමේ අති නවීන උපකරණ රාශියක් හා උසස්ම තත්ත්වයේ වෛද්‍ය තාක්ෂණය ද රෝහල සතුය.

ඇපලෝ රෝහල නමින් 2002දී ඇරැඹූ ලංකා හොස්පිටල්ස්හි ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස 2009දී එහි හිමිකාරිත්වයේ බහුතරය රජය වෙත මාරුවීම හඳුන්වා දිය හැකිය. එවක රෝහලේ සභාපති වශයෙන් පත් වූයේ වත්මන් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. දැක්මක් සහිත නායකයකු වූ එතුමා ක්‍රමවත් පරිපාලනමය දැනුමත් උපක්‍රමික ප්‍රවේශයත් යොදා ගනිමින් රෝහල ලංකා හොස්පිටල්ස් යනුවෙන් යළි සන්නාම ගත කර එය අද තිබෙන සාර්ථක මට්ටම කරා රැගෙන එන්නට අවශ්‍ය පරිවර්තනය සිදු කළේය. “ දිවයිනේ ප්‍රමුඛතම රෝහලක් වශයෙන් විශ්වාසදායක විශිෂ්ට සෞඛ්‍යාරක්ෂණ සේවයක් ඉහළම ප්‍රමිතියෙන් නොකඩවා සපයන්නට අපි ඇප කැප වෙනවා. අපට මෙවැනි විශිෂ්ට මට්ටමකට ළඟාවීමට හැකි වූයේ අපේ කාර්ය මණ්ඩලය පසුගිය වසර 18 මුළුල්ලේ කළ කැපවීම නිසයි. ඔවුන්ගේ දායකත්වයෙන් අපට ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය සත්කාර අංශයේ පෙරමුණට පැමිණෙන්නට හැකි වුණා.” ලංකා හොස්පිටල්ස් සභාපති වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන මහතා පැවසීය. “ලංකා හොස්පිටල්ස් සෞඛ්‍යරක්ෂණයේ මධ්‍යගත අරමුණු හතර මනාව වටහා ගත් උපක්‍රමයක් අනුව ක්‍රියාත්මක වෙනවා. හොඳම වෛද්‍ය සත්කාරය සැපයීම, හොඳම පාරිභෝගික සේවාව සැපයීම, සෑම ක්‍රියාකාරකමකම ක්‍රියාවලිය උසස් මට්ටමකට ගැනීම, දැරිය හැකි මුදලකට සේවය සැපයීම යන මේ අරමුණුවල ඉලක්කය වන්නේ ලංකා හොස්පිටල්ස් ජාත්‍යන්තර මට්ටමේ රෝහලක් බවට පත් කිරීමයි.” ලංකා හොස්පිටල්ස් සමූහයේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී හා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය විමල් කරඳගොඩ මහතා පැවසීය.

 

නව අදහස දක්වන්න