සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාවට නංවන්න පාර්ලිමේන්තුවේ බලය අවශ්‍යයි | දිනමිණ


 

සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාවට නංවන්න පාර්ලිමේන්තුවේ බලය අවශ්‍යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂිකා, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

වර්තමාන දේශපාලන පරිසරය, ආණ්ඩුවට විපක්ෂය එල්ල කරන චෝදනා, ඒ චෝදනාවල ඇත්ත නැත්ත ගැන ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු අපේක්ෂිකා හිටපු රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සමග කළ සංවාදයකි.

අපි කිසිම වෙලාවක ජනමතයට පිටින් වැඩකරන්නේ නැහැ. මේ ගිවිසුම අත්සන් කිරීමේ උත්සාහ ඇති වුණේ පසුගිය ආණ්ඩු කාලයේයි. මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පමණක් නොවෙයි රටට අහිතකර ගිවිසුම් බදු දීම් රාශියක් ඒ දවස්වල සිදු වුණා. සමහර වෙලාවට රටේ ජනාධිපතිතුමා දන්නෙ නැහැ අගමැතිවරයා මොකක්ද කරන්නේ කියල දන්නේ නැහැ. එදා තිබුණේ එවැනි හිතුවක්කාර පාලනයක්. මේ හිතුවක්කාර පාලනය නිසා රටේ ජනතාව තමයි පීඩාවට පත් වුණේ.

ආණ්ඩුව බලයට පැමිණියේ මහජනතාවට සහන ලබා දීම ආර්ථිකය නැවත පණ ගැන්විම ගැන බලාපොරොත්තු ඇති කරමින් වුවත් ආණ්ඩුව මේ සියලු අංශවලින් අසමත්ව ඇතැයි විපක්ෂය චෝදනා කරනවා. මේ ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද.?

ජනාධිපතිතුමා බලයට පැමිණි විගස ජනතාවට සහන රැසක් ලබා දීමට කටයුතු කළා. ඒ වන විට වැට් බදු මගින් ජනතාව දැඩි පීඩාවකට පත්වෙලා සිටියේ. ඒ වගේම විවිධ බදු නිසා ආර්ථික පීඩා රැසක් ඇති වෙලා තිබුණා. පැවැති ආණ්ඩුව මේ ගැන කිසිම අවධානයක් යොමු කළේ නැහැ. ඒ වගේම පසුගිය නොවැම්බර් මාසය වන විට ආර්ථිකය කඩා වැටී භාණ්ඩාගාරය හිස් වෙලා තිබුණෙ. ඒ හැම අංශයක් දෙසම නව ජනාධිපතිවරයා විදිහට ගෝඨාභය රාජපක්ෂ මහතා අවධානය යොමු කර නව ප්‍රතිපත්ති ඇතිව වැඩ කිරීමට සැලසුම් ක්‍රියාත්මක කළා. පක්ෂ විපක්ෂ සැම දෙනාම එය අගය කළා. එහෙත් මාර්තු මාසය වන විට ලොව පුරා වසංගත තත්ත්වයක් ඇති වුණා. ඒ නිසා අපේ රටේ පමණක් නොව මුළු ලෝකයේම ආර්ථිකය කඩා වැටුණා. එහි බලපෑම අපේ රටටත් ඇති වුණා. අද ආර්ථික පීඩනයක් විදිහට අපට දැනෙන්නේ මේ තත්ත්වය. එහෙත් කෙටි කාලයක් තුළ මේ අර්බූදකාරී තත්ත්වය ජයගැනීමට අපට පුළුවන්. මේ සඳහා නිලධාරීන් ගේ සහායද හිමි විය යුතුයි. ඒ නිසා තමයි මහ බැංකුවේ සහ සෙසු බැංකුවල ඉහළ නිලධාරීන් කැඳවා ජනාධිපතිතුමා අවශ්‍ය මඟ පෙන්වීම ලබා දුන්නේ. ඇත්තෙන්ම ඒ ගැන ජනතාව විශාල අගය කිරීමක් කරනවා.

විපක්ෂය උත්සාහ කරන්නේ ආණ්ඩුව අසමත් බවට රට තුළ මතයක් ඇති කිරීමට. එහෙත් මධ්‍යස්ථව කල්පනා කරන හැමෝම දන්නවා මේ ආණ්ඩුව හොඳින් තත්ත්වය කළමනාකරණය කළ බව. වසංගත අවස්ථාවේ මාස දෙකක් රට එක තැන හිර වුණා. ජනතාවගේ ආදායම් මාර්ග ඇනහිටියා. එතැනදී අපි ආණ්ඩුවක් විදිහට ජනතාවට සහන රැසක් ලබා දුන්නා. වසංගතයට ගොදුරු වුණ බලවත් රටවල් පවා කඩා වැටෙද්දි අපිට පුළුවන් වුණා මේ තත්ත්වය ජයගන්න. ආර්ථිකය ආරක්ෂා කර ගන්න. ඒ හින්ද ආණ්ඩුව අසමත් වෙලා නැහැ අපි හොඳින් කටයුතු කරනවා. හැබැයි විපක්ෂය නම් අසමත් අසාර්ථක තැනකට පත් වෙලා.

ඔබ විශේෂඥ ප්‍රජා වෛද්‍යවරිය විදිහට රටේ වසංගත තත්ත්වය පාලනය කිරීම සහ ජනතාව වසංගතය පාලනය කිරීමට දක්වන දායකත්වය ගැන සෑහීමකට පත්වෙනවාද.?

පත්වීමට තිබූ භයානක අනතුරකින් අපේ සෞඛ්‍ය සේවය රට බේරා ගත්තා. ඒ ගැන ඔවුනට ගෞරව කළ යුතුයි. ලෝකයේ බලවත් රටවල් රැසක් මේ මොහොත වන විටත් වසංගතය නිසා ලොකු අර්බූදයක ඉන්නෙ. අමෙරිකාව, ඉන්දියාව වගේ රටවල තත්ත්වය භයානකයි. එදා අපේ සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ නිසි පියවර නොගත්තා නම් අද අප රටටත් වෙන්නේ අමෙරිකාවට ඉන්දියාවට සිදුවන දේම තමයි. මේ කාර්ය සඳහා ජනාධිපතිතුමා අදාළ අංශවලට වැඩ කරන්න නිදහස ලබා දුන්නා. ඒ ගැන ජනාධිපතිතුමාට ස්තුතිවන්ත විය යුතුයි.

ඒත් අප තාම සටන තාම දිනලා නැහැ. අප පරිස්සම් විය යුතුයි කල්පනාකාරී විය යුතුයි, ජනතාව අතේ වසංගත තත්ත්වය පාලනය කිරීම ගැන ලොකු වගකීමක් තියෙනවා. අපි හොඳින් සෞඛ්‍ය අවවාද යහපත් පුරුදු ඇතිව වැඩකරන්න ඕනැ. අපි මැතිවරණ ක්‍රියාවලිය තුළ පවා පරිස්සම කියන කාරණය මුලට අරන් වැඩකරන්නේ. මේ තත්ත්වය අපි සුළුවෙන් සිතිය යුතු නැහැ. කොරෝනා රෝගයට එන්නතක් හෝ බෙහෙතක් සොයා ගන්නා තුරු අපට මේ අනතුර තියෙනවා ඒ නිසා අප හොඳ සෞඛ්‍ය පුරුදු දිගටම අනුගමනය කළ යුතුයි. මේ දේවල්වලට අනුගත වෙන්න බැරි අයට රටේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන කල්පනා කරල දැඩි ක්‍රියා මාර්ග ගන්න ඕනැ.

ආණ්ඩුව මුල සිටම කීවේ මේ මැතිවරණයෙන් 2/3 බහුතර ජයක් අවශ්‍ය බවයි. මාස හතක කාලයක් ඉක්මවා ගොස් ඇති ආණ්ඩුවට එදා තිබුණ ජනතා ප්‍රසාදය අදත් අඩු නැතිව තියෙනවා කියලා ඔබ හිතනවාද.?

ජනාධිපතිතුමා රටට හොඳ වැඩපිළිවෙළක් හඳුන්වා දී තියෙනවා. නීතිය සැමට සමානයි. ඔහු රාජ්‍ය අංශයට අනවශ්‍ය ඇඟිලි ගැසීම් සිදු කරන්නේ නැහැ. ඉදිරියටත් ඔහු ක්‍රියාත්මක කරන්නේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළයි. එදා ජනාධිපතිවරණයේදී ලක්ෂ හැටනවයක් මේ වැඩපිළිවෙළ අනුමත කළා ඒ නිසා ඉදිරියටත් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ජනධිපතිතුමාට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය කරනවා. ඒ නිසයි අප 2/3 බහුතර බලයක් ඉල්ලන්නේ.

ඒ බහුතර බලය ලබගත හැකි පසුබිමක් දැන් නිර්මාණය වෙලා තියෙනවා.එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම අපට ලොකු වාසියක්. අද එජාප පාක්ෂිකයා අන්ද මන්දව ඉන්නෙ. ජවිපෙත් අද දුර්වලයි. මේ නිසා ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නෙ පක්ෂ භේදයකින් තොරව ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට ශක්තියක් ලබා දිය යුතු පිරිසක් පාර්ලිමේන්තුවට පත් කිරීමයි.

වියතුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු කියන සටන් පාඨය ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වුණත් නාම යෝජනා ලැයිස්තුවේ ඉන්නෙ පරණ මුහුණුමයි. ?

මුහුණු පරණ වුණත් හොඳ අය ඉන්නවා. පාර්ලිමේන්තුවේ සිටිය යුතු අය ඉන්නවා. අනෙක උගතුන් වූ පමණින් සියල්ල සම්පූර්ණ වන්නේ නැහැ. ජනතාවාදී උගතුන් මන්ත්‍රීවරු විය යුතුයි. දැන් ජනතාව අතේ තමයි තීන්දුව තියෙන්නෙ හොඳ කණ්ඩායමක් පත්කර රට හොඳ මගට ගන්නවද වැරැදි පිරිස් පත්කර තව අවුරුදු පහක් දෙසිය විසිපහට බණිනවාද කියල ජනතාව තීරණය කරන්න ඕනැ. අපේ පක්ෂයේ විතරක් නොවෙයි අනෙක් පක්ෂවලත් ඉන්න හොඳ අය පාර්ලිමේන්තුවට පත්කළ යුතුයි. අපට මතකයි අතීතයේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ හැමෝම හොඳ දැනුවත් පිරිසක් අපට පුළුවන් අනාගත පාර්ලිමේන්තුවත් හොඳ මිනිසුන්ගෙන් උගතුන්ගෙන් පුරවන්න.

පොදුජන පෙරමුණු ආණ්ඩුව බලයට එද්දි ප්‍රජාතන්ත්‍රවාදය විනය නැවත ඇති කිරීම ගැන ජනතාවට පොරොන්දු වුණා. මාස හතක් ගත වූ තැන නැවතත් උද්ඝෝෂකයන්ට පොලිස් ප්‍රහාර එල්ල කරන තැනකට ආණ්ඩුව පත්ව තිබෙනවා නේද.?

එදා යහපාලන ආණ්ඩුව කාලයේදී හැමදාම උද්ඝෝෂකයන්ට පොලිස් ප්‍රහාර එල්ල වුණා. උද්ඝෝෂකයන් මර්දනය කළා. මේ වගේ පිරිසක් තමයි අද එක් සිද්ධියක් අල්ලාගෙන බිල්ලෙක් මැවීමට උත්සාහ කරන්නේ. පසුගිය මාස හතේදී ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාවන විදිහට වැඩකළේ. මාධ්‍ය නිදහස තහවුරු වෙලා තියෙනවා. නව මාධ්‍යවලින් අපව නිර්දය විදිහට විවේචනය කළත් අප ඒ අයගේ විවේචනය කිරීමේ අයිතිය පිළිගන්නවා. ඒත් විපක්ෂයට අද ඕනැ වෙලා තියෙන්නෙ ජනතාවට වැරැදි චිත්‍රයක් පෙන්වීමට රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස නැහැ කියලා.

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ගැන නැවත පසුගිය කාලයේදී ලොකු කතාබහක් ඇති වුණා. එදා පොදුජන පෙරමුණ කීවේ මේ ගිවිසුම අහෝසි කරන බවයි. දැන් ආණ්ඩුවක් විදිහට මේ ගිවිසුම ගැන ආණ්ඩුවේ ස්ථාවරය වෙනස් ද.?

පොදුජන පෙරමුණු ආණ්ඩුව කිසිම වෙලාවක රටට අහිතකර ගිවිසුම්වලට එකඟ වෙන්නේ නැහැ. අපි නිතරම රටට හිතකර දේ සඳහා පමණක් එකඟවන දේශපාලන ව්‍යාපාරයක්. ඒ නිසා කිසිවකු සැකයක් තියා ගත යුතු නැහැ. එදා පැවැති යහපාලන ආණ්ඩුව තමයි රටට අහිතකර හිතකර යන්න සොයා නොබලා හිතුමනාපයට වැඩ කළේ.

අපි කිසිම වෙලාවක ජනමතයට පිටින් වැඩකරන්නේ නැහැ. මේ ගිවිසුම අත්සන් කිරීමේ උත්සාහ ඇති වුණේ පසුගිය ආණ්ඩු කාලයේයි. මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පමණක් නොවෙයි රටට අහිතකර ගිවිසුම් බදු දීම් රාශියක් ඒ දවස්වල සිදු වුණා. සමහර වෙලාවට රටේ ජනාධිපතිතුමා දන්නෙ නැහැ අගමැතිවරයා මොකක්ද කරන්නේ කියල දන්නේ නැහැ. එදා තිබුණේ එවැනි හිතුවක්කාර පාලනයක්. මේ හිතුවක්කාර පාලනය නිසා රටේ ජනතාව තමයි පීඩාවට පත් වුණේ.

ජාතික ආරක්ෂාව මූලික ප්‍රතිපත්තිය වූ ආණ්ඩුවක් පවතිද්දි ප්‍රජාතන්ත්‍රවාදී මාවතට පිවිසි හිටපු කොටි නායකයකු වූ කරුණා අම්මාන් මහතා තමන් කොටි සංවිධානයේ සිටියදී හමුදාවේ පිරිස් මරා දැමූ බවට පවසනවා. මේ ගැන ආණ්ඩුවක් විදිහට ගෙන තියෙන ක්‍රියාමාර්ග ප්‍රමාණවත් ද.?

මේ ප්‍රශ්නය ගැන ආණ්ඩුව රහස් පොලිසිය මගින් පරීක්ෂණ පවත්වමින් ඉන්නවා. ගිය සතියේ දවසක කරුණා මහතාගෙන් රහස් පොලිසිය ප්‍රකාශක් පවා ලබා ගත්තා. මම විශ්වාස කරනවා මේ ගැන සාධාරණ පරීක්ෂණයක් පවත්වා වැඩිදුර තොරතුරු අනාවරණය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගනීවි කියලා. ඒත් අද විපක්ෂය තමන්ගේ සගයකු වූ හරින් ප්‍රනාන්දු මහත්තය කාදිනල් තුමාට කළ අපහාසාත්මක ප්‍රකාශය වහන්න කරුණාගේ සිදුවීම යොදා ගන්නවා. කතෝලික ජනතාවගේ පමණක් නොවෙයි රටේම ගෞරවාදරයට ලක්ව සිටින කාදිනල්තුමාට කළ මේ අපහාසය ගැන ජනතාව ලොකු අප්‍රසාදයකින් ඉන්නේ. මීට කලින් මංගල සමරවීර ඇමතිතුමාත් බෞද්ධ භික්ෂූන් වහන්සේ ඉලක්ක කර මේ විදිහෙ ප්‍රකාශකයක් කළා. ඇත්තෙන්ම ආගමික නායකයන් වෙත මේ විදිහේ පහත් පෙළේ විවේචන එල්ල කරන එක කනගාටුවට කරුණක්.

ළමා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥතාවක් දක්වන වෛද්‍යවරියක විදිහට ළමයින් පිළිබඳව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සකස් වෙන්න ඕනෙ කොහොමද.?

රජය හැමවෙලාවෙම බලන්නෙ ඉහළ පන්තිවල දරුවන්, විශ්වවිද්‍යාල සිසුන් ගැන ඒ අයට ලොකු ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන්කරනවා ඒකට කමක් නැහැ, ඒත් රටක අනාගතය ශක්තිමත් කරන්න ඕනැ අවුරුද්දෙ සිට අවුරුදු පහ දක්වා දරුවන්ගේ සෞඛ්‍ය සහ පෝෂණය සඳහා ප්‍රතිපාදන මෙන්ම වැඩපිළිවෙළ නිර්මාණය කළ යුතුයි. මේ එක දරුවකු වෙනුවෙන් ආයෝජනය කරන එක් ඩොලරයක් වෙනුවෙන් එවැනි කිහිප ගුණයක ප්‍රතිලාභ අනාගතයේදි‍් ලබා ගත හැකියි. ඒ නිසා අවුරුදු පහ දක්වා දරුවන්ගේ පෝෂණය සඳහා අප වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. මම ඒ සඳහා යෝජනා අනාගතයේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. කුඩා දරුවන්ගේ පෝෂණය ඇතිකිරීම මගින් සෞඛ්‍ය සම්පන්න අනාගත පරපුරක් බිහි කරන්න පුළුවන් කම ලැබෙනවා.

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ගම්පහ දිස්ත්‍රික්කයට ලොකු සේවයක් කළ ඇමැතිවරයෙක් විදිහට ප්‍රකටයි. ඔබ ගම්පහ සංවර්ධනය වෙනුවෙන් ඉටු කිරීමට සැලසුම් කර තිබෙන්නේ කුමන ආකාරයේ සේවයක්ද.?

ගම්පහ ජනතාවට පක්ෂ භේදයකින් ජාති භේදයකින් තොරව ලොකු සේවයක් ඉටුකළා ඒ සේවය ඉදිරියටත් මම ඉටුකිරීමට බලාපොරොත්තු වෙනවා. මට ලැබෙන ප්‍රතිපාදනවලින් සේවය කරන අතර අගමැතිතුමා ජනාධිපතිතුමා සමග සාකච්ඡා කර අතිරේක ප්‍රතිපාදන ලබා දීමට ත් මම සැලසුම් කර තිබෙනවා. මගේ එකම දේශපාලන අරමුණ වෙලා තියෙන්නේ මුදල් සොයා යාම නොවෙයි ජනතා සේවය සිදුකිරීමයි.

ඇත්තෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයට ලැබිය යුතු සංවර්ධනය කලක සිට නිසි විදිහට ලැබෙන්නේ නැහැ. ඒ සඳහා පසුගිය ආණ්ඩුකාලයේදී බලධාරීන් මැදහත් වුණේ නැහැ. ඒ නිසා ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඉබාගාතයේ සංවර්ධනය සිදු වුණත් විධිමත් විදිහට සැලසුම් සහගත විදිහට සංවර්ධනයක් සිදු වුණේ නැහැ. ඒ නිසා ජනතාව බලාපොරොත්තු වෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ නායකත්වය තුළ ගම්පහට සේවයක් ඉටුවෙයි සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි කියලා . ඒ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතවරියක් විදිහට උපරිම කැපවීම සිදුකිරීමට මා සූදානම්. එදා ජෙයරාජ් ඇමැතිතුමා දිස්ත්‍රික්කයේ ජනප්‍රියම නායකයා වුණේ ජනතාව සමග සමීපව කටයුතු කිරීමෙන්. මනාප ලබා ගත්තෙ මුදල් විසිකිරීමෙන් නොවෙයි ජනතාව එක්ක එකතු වෙලා දේශපාලනය කිරීමෙන්. අද දේශපාලනයට අවශ්‍ය වෙන්නේ එවැනි දේශපාලනඥයන්. එතකොට ජනතාවට පසුතැවෙන්න ඕනැ වෙන්නෙ නැහැ.

උදිත ගුණවර්ධන

නව අදහස දක්වන්න