නිර්මාණාත්මක ආර්ථිකයකට අවස්ථා තැනීම | දිනමිණ


 

නිර්මාණාත්මක ආර්ථිකයකට අවස්ථා තැනීම

චිත්‍රාල් ජයවර්ණ ආර්ථික විශ්ලේෂක ශ්‍රී ලංකා කෘෂිකාර්මික ප්‍රතිපත්ති සභාවේ සාමාජික

නිර්මාණාත්මක ආර්ථිකයට තනි අර්ථ දැක්වීමක් තවමත් නොමැත. එය මානව නිර්මාණශීලිත්වය, අදහස් ,බුද්ධිමය දේපළ,දැනුම සහ තාක්‍ෂණය අතර අන්තර් ක්‍රියාකාරිත්වය මත ගොඩනැඟී විකාශනය වන සංකල්පයකි.අත්‍යවශ්‍යයෙන්ම එය ‘නිර්මාණාත්මක කර්මාන්ත’ පදනම් කරගත් දැනුම පදනම් කරගත් ආර්ථික ක්‍රියාකාරකම්වලින් සැදුම් ලද්දකි. නිර්මාණාත්මක කර්මාන්ත වශයෙන් හඳුනාගත හැක්කේ වෙළෙඳ දැන්වීම්, ගෘහ නිර්මාණ ශිල්පය, සැලසුම්, විලාසිතා, චිත්‍රපට, වීඩියෝ, ඡායාරූපකරණය, සංගීතය, රංග කලාව, ප්‍රකාශන, පර්යේෂණ සහ සංවර්ධනය, මෘදුකාංග, පරිගණක ක්‍රීඩා, කලා සහ අත්කම්, ඉලෙක්ට්‍රොනික ප්‍රකාශන, රූපවාහිනී හා ගුවන් විදුලිය යන අංශයන් ය.

මේවා වාණිජ හා සංස්කෘතික වටිනාකමේ වැදගත් ප්‍රභවයන් ලෙස ද සැලකේ. තවත් ලෙසකින් නිර්මාණාත්මක ආර්ථිකය යනු වෙළෙඳාම, ශ්‍රමය සහ නිෂ්පාදනය ඇතුළුව නිර්මාණාත්මක කර්මාන්තවල සියලුම කොටස්වල එකතුවක් වශයෙන් ද හැඳින්විය හැකිය. නිර්මාණශීලිත්වය සහ නව්‍යකරණය පිළිබඳ අදහස් ජෝන් හොකින්ස් විසින් 2001 දී සිය “නිර්මාණාත්මක ආර්ථිකය”යන ග්‍රන්ථයෙන් පෙන්වා දී ඇත්තේ මිනිසුන් අදහසවලින් මුදල් උපයන්නේ කෙසේද යන්න පිළිබඳවය. හොකින්ස්ට අනුව, “නිර්මාණාත්මක ආර්ථිකය” යන්නෙන් අදහස් කරන්නේ නිර්මාණශීලිත්වය, දැනුම සහ තොරතුරු සමඟ වෙළෙඳ ක්‍රියාකාරකම්වල සමාජ-ආර්ථික විභවයයි.

අද වන විට නිර්මාණාත්මක කර්මාන්ත ලෝක ආර්ථිකයේ වඩාත්ම ගතික අංශ අතරට එක්ව ඇති අතර ලෝක ආර්ථිකයේ නැගී එන ආර්ථිකයන්හි ඉහළ වර්ධනයන් සඳහා පිම්මක් පැනීමට නව අවස්ථා ලබා දෙයි. පසුගිය දශකයේ ජාත්‍යන්තර වෙළෙඳාම් තුළ නිර්මාණාත්මක කර්මාන්ත වල තිරසාර වර්ධනයක් පෙන්නුම් කරයි.එය ගෝලීය වෙළෙඳාම තුළ 7% ක වර්ධනයක් පෙන්නුම් කරයි. වෙළෙඳාම් කරන ලද නිර්මාණාත්මක භාණ්ඩ හා සේවා සඳහා වන ගෝලීය වෙළෙඳපොළ පුළුල් වීමක් සිදුවී තිබේ.

සංවර්ධිත කලාපයේ රටවල් අතර නිර්මාණාත්මක භාණ්ඩ අපනයනය කරන විශාලතම කලාපය යුරෝපය වේ. ජර්මනිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය සහ බෙල්ජියම යන රටවල් ප්‍රධාන නිර්මාණාත්මක භාණ්ඩ අපනයනකරුවන් 5 දෙනා අතරට ඇතුළත් වී තිබේ. ආසියානු කලාපයේ රටවල් අතර, නිර්මාණාත්මක භාණ්ඩ විශාලතම අපනයනය කරන්නා වන්නේ චීනයයි. කලාපය තුළ ඉහළම අපනයනකරුවන් 5 දෙනා වන්නේ චීනය, හොංකොං, ඉන්දියාව, තුර්කිය සහ දකුණු කොරියාවයි. නිර්මාණාත්මක කර්මාන්තවල ජාත්‍යන්තර වෙළෙඳාමේ දී සංවර්ධනය වෙමින් පවතින රටවල් වඩ වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව පෙනේ.

නිර්මාණාත්මක ආර්ථිකය බොහෝ රටවල ආර්ථික වර්ධනය හා සේවා නියුක්තියේ වර්ධනයට රුකුල් දෙන එන්ජිමකි. වෙළෙඳ ප්‍රචාරණය, විකාශනය, ගෘහ නිර්මාණ ශිල්පය, කලා, අත්කම්, සැලසුම්, විලාසිතා, ගැස්ට්‍රොනොමි, සංගීතය, ප්‍රකාශන, නාට්‍ය හා තාක්‍ෂණය වැනි අංශවලට එය විහිදී ඇත. මේවා ව්‍යවසායකත්වයේ සහ නවෝත්පාදනයේ ප්‍රධාන බලවේගයක් බවට පත්වෙමින් සමාජ සංවර්ධනය හා සේවා නියුක්තිය ඉහළ නැංවීමට උපකාරී වී තිබේ. කෘෂිකර්මාන්තයෙන් හා නිෂ්පාදන ආර්ථිකයන් වර්ධනය වෙත්ම බොහෝ දෙනකු නිර්මාණාත්මක හා කලාත්මක ක්‍රියාකාරකම්වල නව පොකුරු ගොඩනඟමින් සිටිති.

මේවා අතීතයේ දී සලකනු ලැබුවේ ආර්ථික ක්‍රියාකාරකම්වල ශාඛා ලෙස ය. අනෙක් අතට වැඩ කරන ආකාරවලට වඩා විවේක මාධ්‍යයන් ය. ඒවා සැලකිය යුතු හා ලාභදායී කර්මාන්ත පමණක් නොව හොඳ වැටුප් සහිත, තෘප්තිමත් රැකියා සපයන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. අතීතයේ මේ ප්‍රභවයන් සඳහා මුල්‍යමය වශයෙන් වටිනාකමක් නොවූවත් විසි එක්වන සියවසේ දී ඉතා යහපත් ආදායම් උපදවන මාර්ග බවට පත් වී තිබේ.

ලොස්ඇන්ජලීස් හි විනෝදාස්වාද ව්‍යාපාරය නිර්මාණාත්මක කර්මාන්ත දායකත්වය ඩොලර් බිලියන 504 වන අතර මිලියන 40 කට වැඩි පිරිසක් එක්සත් ජනපද නිර්මාණ අංශයේ සේවය කරනු ලබයි.මෙම කර්මාන්තය තුළින් එක්සත් ජනපද ආර්ථිකයට නව රැකියා දිනෙන් දින උත්පාදනය වන අතර මෙමගින් පසුගිය දශකය තුළ නව රැකියා 600,000 ක් පමණ අලුතින් එකතු වී තිබේ.නවෝත්පාදන මත පදනම් වූ ආර්ථිකයක් සමඟ එක්සත් රාජධානිය යුරෝපීය සංගමයේ විශාලතම නිර්මාණ අංශයට සහය දක්වයි.

මූලික වශයෙන් සැලසුම්,ප්‍රකාශන සහ විකාශන යන ක්ෂේත්‍රවල 2000 සිට 2018 දක්වා කාලය තුළ ඵලදායිතාව සියයට 60 කට වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනයක් ළඟා කරගෙන තිබේ.ඒ තුළින් පවුම් බිලියන 19.5 ආදායමක් ළඟා කරගෙන ඇත. ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතය අනුව නිර්මාණාත්මක ආර්ථිකය ලෝකයේ විශාලතම ආදායම් උපදවන වන අංශයක් බවට පත්වී ඇති අතර බ්‍රිතාන්‍ය කවුන්සිලයේ නිර්මාණශීලී නගර වාර්තාවෙන් කියැවෙන්නේ එක්සත් රාජධානිය සංස්කෘතික භාණ්ඩ හා සේවා අපනයනය කරන ලෝකයේ වඩාත්ම සාර්ථක අපනයනකරු බවයි.

නිර්මාණාත්මක සේවා යනු නිර්මාණාත්මක කර්මාන්තවල උප අංශයක් වන අතර එය වෙනත් ව්‍යාපාර සඳහා නිර්මාණශීලිත්වය ලබා දීමෙන් ආදායම් නිර්මාණය කරන ආර්ථිකයේ කොටසකි. නිර්මාණාත්මක සේවා යනු ලිවීම,සැලසුම් කිරීම සහ නිෂ්පාදනය වැනි නිර්මාණාත්මක කාර්යයන් කරන සමාගමක් තුළ ඇති දෙපාර්තමේන්තුවකි.එය බොහෝ විට සමාගමක හෝ ආයතනයක අලෙවිකරණ අංශයේ උප දෙපාර්තමේන්තුවකි.අද ලෝකයේ වෙළෙඳපොළ නිර්මාණය වී ඇත්තේ මෙම නිර්මාණාත්මක සේවාවන්වල ආධාරයෙනි.නිර්මාණාත්මක සේවාවන් යටතේ කළමනාකරණ උපදේශන සේවාවන්වල සිට නාගරික සැලසුම්කරණය,ගෘහ නිර්මාණය. වාණිජ කලාව,කාර්මික නිර්මාණය,වෙළෙඳ නාමකරණය,වෙළෙඳ දැන්වීම් යන සියලු අංශයන් ඇතුළත්ව තිබේ. කාර්මික හා කෘෂිකාර්මික නිමැවුම් පහත වැටෙන විට නිර්මාණශීලී භාණ්ඩ නිෂ්පාදනයේ සිට නිර්මාණාත්මක සේවා සැපයීම දක්වා ලෝක වෙළෙඳාමේ ප්‍රවණතාවේ වෙනස් වීම UNCTAD වාර්තාව මගින් පැහැදිලි කරයි.

මෙම වකවානුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් අලුතින් සිතීමට ඉතා හොඳ වකවානුවකි. ලංකාවේ ආර්ථික වර්ධනයට දායක කර ගත හැකි අලුත් මාවත් පිළිබඳව අවධානය යොමු කළ යුතුය කාලයකි. අනෙක් අතට ලංකාවේ ආර්ථික ව්‍යුහය තුළ අලුත් ප්‍රතිසංස්කර‍ණ හඳුන්වාදිය හැකි කාල වකවානුවක් වන බව ද පෙනේ. අප සාම්ප්‍රදායිකව සිතුවේ, ඉගැන්වූයේ තේ, රබර්, පොල් අපනයන ආර්ථිකයක් පිළිබඳව ය. නමුත් අසූව දශකයේ දී ඇඟලුම් නිෂ්පාදන රට තුළ හඳුන්වාදීම තුළින් ආර්ථිකයේ ඇඟලුම් නිෂ්පාදන ප්‍රධාන අපනයන ප්‍රවාහයක් බවට පත් විය.

ඒ අනුව මෙම දශකය මෙවැනි අලුත් ආර්ථික ප්‍රභවයන් සොයා ගතයුතු, සොයා යායුතු කාල වකවානුවකි. මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ උද්ගතවී ඇති අර්බුදකාරි තත්ත්වය හමුවේ නිර්මාණාත්මක ආර්ථික අංශවල දායකත්වය ඉදිරියේදී ඉතා වැදගත් සාධකයක් ලෙස පෙනී යයි. ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක ආර්ථිකය ස්ථාවර මට්ටමක පවතී. එහි වර්ධනය 2010 සිට 2014 දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 433.62 සිට ඇමරිකානු ඩොලර් මිලියන 845.41 දක්වා ඉහළ මට්ටමකින් වර්ධනය වී තිබේ. දළ දේශීය නිෂ්පාදිතයට වන දායකත්වය සියයට 5.3 ක අගයක් ගනු ලබයි. ලංකාවේ සේවා නියුක්තියට වන දායකත්වය සියයට තුන ඉක්මවා තිබේ.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සලය කරන ලද සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාව තුළ නිර්මාණාත්මක ආර්ථිකයේ ප්‍රධාන අංශයන් තුනක් හඳුනාගෙන තිබේ. ඒ කලාව සහ සංස්කෘතිය, නිර්මාණ, මාධ්‍ය යන අංශයන්ය. කලාව සහ සංස්කෘතිය යටතේ ඡායාරූපකරණය, දෘශ්‍ය කලා මාධ්‍ය, රංග කලාව, සාහිත්‍යය කලාව, උරුමය සහ අත්කම් අයත් වේ. නිර්මාණකරණය යටතේ මෘදුකාංග නිර්මාණය, ප්‍රචාරණය සහ වෙළෙඳ නාමකරණය, නිර්මාණ ශිල්පය, ආලේඛ සැලසුම්, කාර්මික නිර්මාණකරණය, විලාසිතා නිර්මාණය යන අංශයන් ඇතුළත් වේ. මාධ්‍ය යන අංශයන් තුළ ප්‍රකාශනය ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍ය, ඩිජිටල් මාධ්‍ය, චිත්‍රපටි සහ වීඩියෝකරණය යන අංශයන් ඇතුළත් වේ.

තවමත් මෙම ක්ෂේත්‍රයන් ලංකාවේ සාම්ප්‍රදායික මට්ටමේ පැවතීම තුළින් කියාපාන්නේ ආර්ථිකය තවමත් නවීකරණයකට ලක් නොවීමයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, වර්ෂ 2005-14 කාල පරිච්ඡේදය තුළදී නිර්මාණාත්මක වෙළෙඳාමේ සෘණ සමතුලිතතාවයක් දක්නට ලැබුණි. අපනයනවලට වඩා ඉහළ ආනයන හේතුවෙන් මෙම සෘණ සමතුලිතතාවයක් ඇතිවී ඇත. කලාපයේ අනෙකුත් රටවල්වල් වන ඉන්දියාව, පාකිස්තානය, තායිලන්තය, මැලේසියාව ධනාත්මක වෙළෙඳ ශේෂයක් ලබාගෙන තිබේ.

ලංකාව තුළ නිර්මාණාත්මක ආර්ථිකයක් ගොඩනැගීම සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡාවට බඳුන් වන අවස්ථාවන් විරලය. එසේම ප්‍රතිපත්ති සම්පාදකයින් ද මේ සම්බන්ධයෙන් දක්වන උනන්දුව අඩු බවක් දක්නට ලැබේ. කලාපයේ අනෙකුත් රටවල් මෙම ආර්ථික අංශයන් පිළිබඳව දක්වන උනන්දුව ඉතා ඉහළය. ඒ අනුව ඒ රටවල ආර්ථික සංවර්ධනයයේ දී මෙම අංශයන්වල දායකත්වය දිගින් දිගටම ඉහළ යාමක් දක්නට ලැබේ.ඉහතින් සඳහන් කර ඇති අංශයන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇත්ද යන්න පිළිබඳව ගැටලුවකි.ලෝක වෙළෙඳපළ තුළ ලංකාවේ සාම්ප්‍රදායික කර්මාන්ත පෞරාණික භාණ්ඩ සම්බන්ධයෙන් හොඳ වෙළෙඳ පොළක් ඇති බව දක්නට ලැබේ.

නමුත් මේ වෙළෙඳපොළ හඳුනාගෙන ඒ සඳහා ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට තවමත් අපිට නොහැකි වී තිබීම කනගාටුවට කරුණකි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය සම්බන්ධයෙන් ඓතිහාසික කීර්තියක් හිමි වී තිබේ. උදාහරණයක් ලෙස ජෙෆ්රි බාවා, බෙවිස් බාවා යන සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තරයේ ද කීර්තියක් ලබා තිබේ. එකල ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය ජාත්‍යන්තරයට ගෙන ගියේ ඔවුන්ය. හෝටල් නිර්මාණයේ දී ලෝකයේ නව ප්‍රවණතාවයක් වන්නේ සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පය ආදේශ කර ගැනීම යි. ඒ අනුව ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පීන්ට හොඳ වෙළෙඳපොළක් ඉදිරියේ දී නිර්මාණය වනු ඇත.

ලංකාවේ පේෂ කර්මාන්තයට අතීතයේ ද දේශීය වෙළෙඳපොළක් නිර්මාණය වී තිබිණි.නමුත් ක්‍රමයෙන් එම වෙළෙඳපොළ විදේශීය ඇඟලුම් හා යෙදවුම් ආනයනය හේතුවෙන් කඩා වැටීමට ලක්වී තිබිණි. නමුත් මෑත කාලීනව දේශීය හා විදේශීය වශයෙන් ලංකාවේ පේෂ කර්මාන්ත නිෂ්පාදනයන්ට හොඳ ඉල්ලුමක් ඇති වෙමින් පවතී. ගෘහ කර්මාන්තයක් වශයෙන් ගොඩනැගී ඇති පේෂ කර්මාන්තය කර්මාන්තකරුවන් ඒකරාශී ගනිමින් ඔවුන්ගේ නිපැයුම් සඳහා වෙළෙඳපොළක් නිර්මාණය කිරීම සඳහා විවිධ ආයතන විවිධ සංවිධාන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවක් පෙනේ. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට දේශීය වෙළෙඳපොළක් නිර්මාණය වෙමින් පවතී. මෙම කර්මාන්තය නවීන මෝස්තර නිර්මාණය සහ බැඳුණු කර්මාන්තයක් වන බැවින් ඒ තුළින් විදේශීය වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීමට හැකියාව තිබේ. ලංකාවේ නිර්මාණය කරනු ලබන හෑන්ඩ්ලුම් සාරි සහ අනෙකුත් නිෂ්පාදන සඳහා විදේශීය වෙළෙඳපොළ විවෘතව පවතී. සිදුවිය යුත්තේ මෙම කර්මාන්තකරුවන් සඳහා වෙළෙඳපොළ සොයා ගැනීම සඳහා ආධාර උපකාර කිරීම සහ දැනුම ලබාදීමයි.

පුරෝගාමී ව්‍යවසායිකාවක් වූ ලින්ඩා ස්පෙල්ඩ්වින්ඩේ 2009 වර්ෂයේ දී එක්සත් රාජධානියේ තරුණ නිර්මාණශීලී ව්‍යවසායක සම්මානය දිනාගත්තේය.එක්සත් රාජධානියේ නිර්මාණාත්මක කර්මාන්තයේ දැනුම හා සැලසුම් චින්තනය ශ්‍රී ලංකාවට ගෙන ඒමට ඇය මග පෙන්වනු ලැබිණි.මෝස්තර නිර්මාණකරණයේ පිපාසයෙන් පෙළුණු ඇය ශ්‍රී ලංකා විලාසිතා කර්මාන්තය ලෝකය තුළ ස්ථාපිත කිරීමට දායක විය. මේ සඳහා කර්මාන්තයේ දැවැන්තයින්ගේ සහාය නොඅඩුව ලැබී තිබිණි.

නිර්මාණාත්මක ආර්ථිකයත් සමඟ නිර්මාණාත්මක නගර බිහි කර ගැනීමට හැකි වේ නම් එය අලුත් ආර්ථික අංශයක් ලෙස ගොඩනැඟිය හැකි වේ. ඒ සඳහා නගරාශ්‍රිතව ක්‍රියාකාරකම් පුළුල්ව සංවර්ධනය කළ යුතුය.විශේෂයෙන් කොළඹ,ගාල්ල, මාතර නගර මූලික කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් වශයෙන් නිර්මාණාත්මක නගර නිර්මාණය කළ හැකිය. උදාහරණයක් ලෙස නිව්යෝර්ක් සඳහා වසරකට සංචාරකයින් මිලියන 50ක් පමණ සංචාරය කරනු ලබයි. විදේශිකයින් නිව්යෝර්ක් නගරය හඳුන්වනු ලබන්නේ “big apple”හෝ “the city that never sleep නොනිදන නගරයක් ලෙසයි. ටයිම්ස් චතුරශ්‍රය, එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල, සෙන්ට්‍රල් පාර්ක් යන ඓතිහාසික ස්ථාන මෙන්ම සංචාරකයන් සඳහා විනෝදාස්වාදය ලබා ගත හැකි අංගයන් විශාල ප්‍රමාණයක් දක්නට හැකිය.

ජාත්‍යන්තර සිනමා ශාලා,නාට්‍ය ශාලා නවීන තාක්ෂණයෙන් යුතුව දැකුම්කලු ලෙස ජනතාවට විනෝදාස්වාදය ලබා දෙයි. ඉදිරියේදී ඉදිවෙමින් පවතින කොළඹ වරාය නගරය තුළින් මෙවැනි ජාත්‍යන්තර සිනමා සහ නර්තන ශාලා ගොඩනැගීම තුළින් අලුත් ආර්ථික අවස්ථාවන් උදා කර ගත හැකිය. අනෙක් අතට නව වරාය නගරය හා පැරණි කොළඹ නගරය යා කරමින් සංචාරක ආකර්ෂණීය ස්ථාන ගොඩනැගීම තුළින් සංචාරකයින්ට ආකර්ෂණීය නගරයක් බවට කොළඹ නගරය පරිවර්තනය කළ හැකිය. මේ සඳහා අපට පුළුල් දැක්මක් සහ ක්‍රමෝපායක් තිබිය යුතුය.

කලාපයේ අනෙකුත් රටවල් සමඟ සැසඳීමේ දී ‍ශ්‍රී ලංකාවේ මෘදුකාංග නිෂ්පාදකයින්ට ඇත්තේ හොඳ වෙළෙඳ පොළකි. ලෝකයේ ප්‍රධාන මෘදුකාංග සංවර්ධන සමාගම්වල උප කොන්ත්‍රාත් සමාගම් රැසක් ස්ථාපනය කර ඇත්තේ ශ්‍රී ලංකාවේය. ප්‍රධාන වශයෙන් මෘදුකාංග සහ අදාළ සේවාවන් ලන්ඩන්, නිව්යෝර්ක්, සැන් ෆ්රැන්සිස්කෝ සහ සිඩ්නි සේවාදායකයින් සඳහා මෘදුකාංග සංවර්ධනය කරනු ලබයි. 2018 දී තොරතුරු තාක්ෂණ අංශයේ අපනයනය ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයකි. 2022 වර්ෂය වන විට එහි ආදායම් ඉලක්කය ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් ලෙස පුරෝකථනය කර ඇත.

ඒ අනුව ඉදිරියේ දී නිර්මාණාත්මක මෘදුකාංග සංවර්ධනය තුළින් එම ක්ෂේත්‍රයේ පුළුල් පරිවර්තනයක් ඇති කිරීම මගින් විශාල ආදායම් ප්‍රමාණයක් රටට ලබාගත හැකිවේ. ඒ සඳහා විදේශීය සමාගම් සමඟ අනුබද්ධිතව නව සොයා ගැනීම් තුළින් මෙම ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කළ හැකිය. ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක ආර්ථිකය සම්බන්ධයෙන් මෙම ක්ෂේත්‍රයන්ට අමතරව අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍රයන් බොහොමයක් දක්නට ලැබේ. මෙයින් වඩාත් ඵලදායි ක්ෂේත්‍රයන් හඳුනාගෙන අලුතින් ව්‍යාපාරික අවස්ථාවන් සොයා ගැනීමට වෙහෙසව කටයුතු කළ යුතුය. මේ සඳහාම වෙන් වූ ආයතනයක් පිහිටුවීම මගින් ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කළ හැකිය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය සැකසීමේ දී දැනුම පදනම් කරගත් ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා නිර්මාණාත්මක කර්මාන්ත ආයෝජන අංශයක් ලෙස සංවර්ධනය කිරීම නැවත සලකා බැලීමට සුදුසු කාලය එළඹ තිබේ. මේ සම්බන්ධයෙන් නිර්මාණාත්මක කම්කරුවන්,‍ ව්‍යවසායකයන්, සේවකයන්, විශේෂඥයන් මහජනතාව සහ ප්‍රතිපත්ති සම්පාදකයන් පොදු සංවාදයක් නිර්මාණය කිරීම මගින් මේ ක්ෂේත්‍රය තුළ නව ආර්ථික අවස්ථාවන් උදා කර ගත හැකිය. ඒ තුළින් රටේ ආර්ථිකයට ඉදිරියේදී විශාල පිම්මක් ලබාගත හැකිය.

 

නව අදහස දක්වන්න