ජනතාව ඉල්ලන්නෙ සෞභාග්‍යයේ දැක්ම | දිනමිණ


 

ජනතාව ඉල්ලන්නෙ සෞභාග්‍යයේ දැක්ම

අසේල කුරුළුවංශ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක සරත් ඒකනායක

මහ බැංකු මංකොල්ලය බලන්න. ඒකට සම්බන්ධ කිසිකෙනෙක් ඇල්ලුවද? පාස්කු ප්‍රහාරය සිද්ධවුණා. ඒකේ පරීක්ෂණ සාධාරණව වුණාද ? කියන ප්‍රශ්නය තිබෙනවා. සාලාව අවි ගබඩාව පුපුරා යෑම, අරණායක නාය යෑම වගේ සිදුවීම්වලින් විපතට පත්වූ වන්ට වන්දි ගෙවීමේ ක්‍රියාවලිය මොන තරම් මන්දගාමීවද සිදු වුණේ. ඒත් කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමඟ ආදායම් අහිමි වූ අයට රුපියල් 5000 දීමනාව ලබාදීම මොනරතම් ඉක්මනින් මේ ආණ්ඩුව කළාද?

මධ්‍යම පළාත් ප්‍රධාන ඇමති ධූරයේ ඔබ වසර 19ක පමණ කාලයක් කටයුතු කළා. ඒ අතර පැවති පාර්ලිමේන්තු මැතිවරණ කිසිවකට ඉදිරිපත් නොවූ ඔබ එකපාරටම පාර්ලිමේන්තු යන්න හිතුවේ ඇයි ?

පළමුවන කාරණය පළාත් සභා මැතිවරණය නිසි වේලාවට නොපැවැත්වීම. අනිත් එක පළාත් සභාවේ හිටපු කාලයත් එක්ක ගත්තම තව දුරටත් පළාත් සභාවේම සිටීම එක් පැත්තකින් තවත් කෙනෙකුට තිබෙන අවස්ථාව නැති කිරීමක්.එකම පළාත් සභාවේ දීර්ඝ කාලයක් කටයුතු කළ නිසා මම දන්නවා පළාත් සභාවේ වපසරිය කුමක්ද? කියලා. එතනින් එහා මොනවා හරි කරන්න නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යන්නම ඕන.

ජාතික මට්ටමේ දේශපාලනයට අවතීර්ණ වීම සඳහා ඔබට අවස්ථා බොහොමයක් තිබුණා. එම තීරණය ගන්න මෙතරම් ප්‍රමාද වුණේ ඇයි?

අපි නියෝජනය කරන දේශපාලන පක්ෂයේ අවශ්‍යතාව, පක්ෂ නායකයන්ගේ ඉල්ලීම අනුව අප වැඩ කළ යුතුයි. 2010 මැතිවරණයේදී එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතා කිව්වා ,රටක් කරනකොට පළාත් සභාවත් වැදගත් නිසා එතන සුදුස්සෙක් ඉන්න ඕනෑ. මහ ඇමැති ධූරය කලක් දරමින් හදාගත්ත පරිසරයක් හා වැඩපිළිවෙළක් ඔයාට තියෙනවා , ඒක ජනතාව ප්‍රතික්ෂේප නොකර දිගටම තියාගෙන ඉන්නවා , පළාත් සභාවේ මහ ඇමැතිකමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීකමකට වඩා විශාල වැඩකොටසක් කළ හැකියි , ඒ නිසා ඔයා එතන ඉන්න කියලා කිව්වා. පාර්ලිමේන්තුවට නවකයකුට අවස්ථාව දෙමු කිව්වම මාත් ඊට එකඟ වෙලා මහ ඇමැතිකමේ රැඳුණා . පළාත් සභා මැතිවරණය පවත්වන දිනයක් අපට තාමත් හිතාගන්න බැහැ. ඒක බොහොම ඈත බව පේනවා.

අනිත් කාරණය පළාත් සභාවේ වැඩකරලා මට අත්දැකීම් රැසක් තිබෙනවා. පළාත් සභාවක් පවත්වාගෙන යනවිට ඇතිවන ගැටලු මම දන්නවා. ජනතාවට විශාල සේවයක් පළාත් සභාව මගින් සිදුවෙනවා. එහිදී ඇතිවන යම් යම් ගැටලු විසඳන්න පාර්ලිමේන්තුවේ සහය ඕන. පාර්ලිමේන්තුව නියෝජනය කිරීමෙන් මට පුළුවන් ඒ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන්න.

වසර 2015 ජනපතිවරණයෙන් පසු මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස අතර ඔබත් සිටියා. ඒ වසරේදීම පැවැත්වුණු මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා වටා සිටි පිරිස් මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සිටි කණ්ඩායමට ඡන්දය නොදෙන ලෙස ප්‍රබල මතවාදයක් ගෙනගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් කිහිදෙනකුටම මේ නිසා පරාජය වුණා. මෙවරත් එවැනි තත්ත්වයක් ඇතිවීමට පුළුවන් නේද?

එවැනි සැකයක් ඇතිවීමේ ප්‍රවණතාවක් තිබුණා. නමුත් පසුගිය ජනපතිවරණයේදී ජනාධිපතිතුමා ජනපති පුටුවට ලක්ෂ 69 ක විශාල ඡන්ද ප්‍රමාණයකින් දිනවීමේදී දැවැන්තම කොටස්කරුවකු වුණේ ශ්‍රීලනිපය. ඒක ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් බොහොම පැහැදිලිව ප්‍රකාශ කළ කාරණයක්. එතුමා රාජ­ාසන කතාවේදීත් ඒක කිව්වා. මහනුවර ගත්තොත් පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද 367000 ක් විතර තමයි පොහොට්ටුව ලකුණට ලැබුණේ. ශ්‍රීලනිපය 109000 ක් ඡන්ද ගත්තා.ජනාධිපතිවරණයේදී ගෝඨාභය මහතා 474000 ක් ගත්තා.

එතකොට පේනවා පළාත් පාලන ඡන්දයේදී පොදුජන පෙරමුණට නොලැබුණු ශ්‍රීලනිප ඡන්ද ප්‍රමාණය එහෙමපිටින්ම ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබී තිබෙන බව. මේ වෙලාවේ පොහොට්ටුවද, ශ්‍රී ලංකාද, මෛත්‍රී එක්ක හිටගත්තද කියන කාරණාවලට වැඩිය මිනිස්සු බලන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම හරියට ගෙනියන්න පුළුවන් කට්ටිය කවුද? කියලයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ගත්තම අපි ගෝඨාභය මහතා දිනවන්න මොනතරම් කැපවුණාද කියලා ජනතාව දන්නවා. මම සංවිධානය කළ යටිනුවර තමයි පසුගිය ජනපතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ගානකින් දිනුවේ. ඒ ඡන්ද 14000 කින්.2015 ජනපතිවරණයේදී මහින්ද මහත්තයට මහනුවර දිස්ත්‍රික්කයේ ජයගන්න පුළුවන් වුණේ උඩුනුවර ආසනය විතරයි. මම ඒ වෙලාවේ උඩුනුවර සංවිධායක. මම හැමදාම පක්ෂය ගත්ත තීරණ සමඟ හිටගත්තා. ඒ තීරණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් කැපවුණා. මම හිතනවා ජනතාව ඒකට කෘතගුණ දක්වයි කියලා.

කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සාර්ථකව නායකත්වය දුන්බව ප්‍රකාශවෙද්දි තවත් පැත්තකින් පසුගිය යහ පාලන ආණ්ඩුව තිබුණා නම් රටම කොරෝනාවට බිලිවෙන්න ඉඩ තිබුණු බවටද මතවාදයක් සමාජගත වෙමින් තිබෙනවා. මේ ගැන ඔබේ අදහස?

මිනිස්සු නිගමනවලට එළඹෙන්න පෙර අවධානය යොමුකරන කාරණා කිහිපයක් තිබෙනවා. එකක් තමයි පෙර අද්දැකීම්. ජනතාව ඔය කතාව කියන්නේ කරුණු කිහිපයක් උඩ. එහෙම ඒ අයට හිතෙන්න සාධාරණ හේතු තිබෙනවා. මහ බැංකු මංකොල්ලය බලන්න. ඒකට සම්බන්ධ කිසිකෙනෙක් ඇල්ලුවද? පාස්කු ප්‍රහාරය සිද්ධවුණා. ඒකේ පරීක්ෂණ සාධාරණව වුණාද? කියන ප්‍රශ්නය තිබෙනවා. සාලාව අවි ගබඩාව පුපුරායෑම, අරණායක නාය යෑම වගේ සිදුවීම්වලින් විපතට පත්වූවන්ට වන්දි ගෙවීමේ ක්‍රියාවලිය මොනතරම් මන්දගාමීවද සිදුවුණේ.ඒත් කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමඟ ආදායම් අහිමිවූ අයට රුපියල් 5000 දීමනාව ලබාදීම මොනරතම් ඉක්මණින් මේ ආණ්ඩුව කළාද? පාර්ලිමේන්තුව නැතුව බෑ කියලා විපක්ෂය කියද්දී මොනතරම් ඉක්මනට මේ මුදල් ලබාදීම සිදුවුණාද කියලා ජනතාව හොඳින්ම දන්නවා.

ජනපති එක් පක්ෂයකිනුත් අගමැති තවත් පක්ෂයකිනුත් පත්වීම රට ඉදිරියට ගෙනයෑමට බාධාවක් නොවන බව විපක්ෂය කියනවා. මේ ගැන ඔබේ අදහස?

මේ ගැන ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා හොඳ විග්‍රහයක් කළා. මේ විදිහට වුණාම රටට සිද්ධ වන අයහපත ගැන හිටපු ජනපතිවරයා ඒ අදහස් පළකළේ වසර පහක අත්දැකීම් සමඟින්.මේ රටේ ජනතාව දැක්කා විධායකය හා ව්‍යවස්ථාදායකය පරස්පර අදහස් දරමින් කටයුතු කරන විට ඇතිවන අර්බුදය .ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා සාර්ථකව රටට නායකත්වය දෙනවා.

දැන් අවශ්‍ය එතුමාගේ වැඩපිළිවෙළ තේරුම් ගනිමින් එය ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය ශක්තිමත් පාර්ලිමේන්තුවක්. සජිත් ප්‍රේමදාස පසුගිය ජනපතිවරණයේදී ඉදිරිපත් කළ වැඩපිළිවෙළ ජනතාව ප්‍රතික්ෂේප කළා. ඔහු අගමැති කිරීමෙන් යළිත් පණ ලබන්නේ ජනතාව කලින් ප්‍රතික්ෂේප කළ වැඩපිළිවෙළමයි. ඒකට මේ රටේ ජනතාව කිසිදු ඉඩක් ලබාදෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට ගෙනයන්න නම් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරය හොබවන ආණ්ඩුවක් අවශ්‍ය බව මේ රටේ ජනතාව මේවන විටත් තීරණය කර අවසානයි.

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව මේවන විට රටේ එකිනෙකට පරස්පර කතාබහක් නිර්මාණය වී තිබෙනවා. මෙම සංශෝධනය මගින් විධායක ජනපති සතු බලතල යම් ප්‍රමාණයකට කප්පාදු වෙද්දි තවත් පැත්තකින් අගමැතිවරයාගේ බලතල ශක්තිමත් වුණා. මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ඔබගේ අදහස?

මේ සංශෝධනය ගෙඩිය පිටින් අරන් හොඳයි හෝ නරකයි කියලා කියන්න බැහැ. මේකේ හොඳ නරක දෙකම තියෙනවා. අපි ඒවා තෝරා බේරාගැනීම තමයි වැදගත්. ජේ.ආර් ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සෑම මැතිවරණයකදීම කතාබහ වුණා. සෑම ජනාධිපතිවරණයකදී මේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බව කියවුණා. විධායක ජනපති ධූරය අහෝසි කරනවා කිව්වා. ඒවා දිහා බලනකොට 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සමාජ යහපතට තුඩුදුන් යම් යම් දේ සිදුව තිබෙනවා.

උදාහරණයක් ලෙස ජනපති ධූර කාලය අඩුකරලා තියෙනවා. ජනාධිපතිවරයාට වසර 4 1/2 ක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකිවීම වගේ දේවල් මේ සංශෝධනය මගින් ඇති වුණා. ඒවා සාධනීය පැත්තට බලන්න පුළුවන් දේවල්. අනිත් පැත්තෙන් ජනපතිවරයාට අමාත්‍යාංශ දැරීමට ඇති හැකියාව වගේ දේවල් මෙමඟින් සීමාකර තිබෙනවා. මම හිතන්නේ ඒක එතරම් හොඳ දෙයක් නොවෙයි. පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ 19 වැනි සංශෝධනයයි ඇත්තටම හදපු එකයි දෙකම එකයිද කියන ප්‍රශ්නය අපට තිබෙනවා. මොකද පාර්ලිමේන්තුවේ 225 දෙනා අතරින් එක් මන්ත්‍රීවරයෙක් විතරයිනේ ඕකට එකඟ නොවුණේ.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1972 ජනරජ ව්‍යවස්ථාව හදනකොට කොල්වින් ආර් ද සිල්වා මහත්තයා හිටියා. ජේ.ආර් ජයවර්ධනත් හිටියා. එතුමිය එය කළේ සංහිඳියාවක් ඇතිව. ව්‍යවස්ථාව හදන්නේ බලය තිබෙන පක්ෂයට විතරක් නොවෙයි සමස්ත රටටමයි.

පසුගිය ජනපතිවරණයේදී සුළු ජාතික ඡන්ද ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවූයේ සීමිත ප්‍රමාණයක්. ගතවූ මාස හයක කාලය තුළ එම තත්ත්වයේ වෙනස්වීමක් ඇතිව තිබෙනවා යැයි ඔබ විශ්වාස කරනවාද?

අනිවාර්යයෙන්ම, ඒ ඡන්ද හැසිරෙන්නේ ඒ ඒ වකවානුවේ ඇතිවන තත්ත්ව සමඟ. හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ජනපතිවරණයට ඉදිරිපත්වූ අවස්ථාවේ යාපනයේ ඡන්ද බහුතරයක් හිමිවුණේ එතුමාට. අපේ පක්ෂය දෙමළ ජනතාව ප්‍රතික්ෂේප කරනවා කියලා එතනදී කියන්න බැහැ. ජනපතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා තරග කළ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා විශාල ඡන්ද ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ මහතා යාපනයෙන් ගත්තා.

ඒකෙන් අදහස් වෙන්නේ නෑ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ සියලු දෙනා විරුද්ධයි කියලා. එජාපය ප්‍රමුඛ ඔවුන්ගේ හවුල්කාර අන්තවාදී කණ්ඩායම් ජාත්‍යන්තර වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විශාල ප්‍රචාරයක් ගෙනගියා. අනිත් පැත්තෙන් ඇතැම් මුස්ලිම් හා දෙමළ නායකයින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් බොරු බිල්ලෙක් මවා පෙන්නුවා. එතුමා බලයට ආවොත් සුළු ජාතීන්ට නොයෙකුත් හිරිහැර සිදුවෙන බවට බොරු ප්‍රචාර සංවිධානාත්මකව රටපුරා ගෙන ගියා. ජනපතිවණයෙන් මාස හයකට පසු අද ජනතාව දන්නවා එම ප්‍රකාශ සියල්ල බොරු බව.මේ රටේ දෙමළ හා මුස්ලිම් ජනතාව තවදුරටත් නොමඟ යවන්න බැහැ. ඔවුන් දන්නවා තමන්ට නායකත්වය දෙන්න ඉදිරිපත්ව සිටින අය එය කරන්නේ පෞද්ගලික සුඛ විහරණය සඳහා මිස ජනතාව ගැන සිතා නොවන බව .

මේ රටේ ප්‍රධාන පක්ෂ වටා විශාල වශයෙන් ගොනුවී සිටින්නේ සිංහල බෞද්ධ ජනතාව. සුළු ජාතීන් ඔවුන්ගේ ආගම හෝ ජාතිය පනදම් කරගනිමින් ගොඩනැඟී තිබෙන පක්ෂ වටා ගොනුව සිටින බවක් පේන්න තිබෙනවා. ප්‍රධාන පක්ෂවලට මොවුන් දිනා ගැනීමට තාමත් නොහැකිවී තිබෙන්නේ ඇයි?

මේ රටේ ආණ්ඩු සිංහල ආණ්ඩු වගේ පේනවා. එතකොට සිදුවන අඩුපාඩු සුළු ජාතීන් දකින්නේ අපි සුළු ජාතීන් නිසා කියලයි. ඔවුන් නියෝජනය කරන දේශපාලනඥයන් තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීම සඳහා මේ ජනතාව නොමඟ යවනවා. ඔන්න අපි සුළු ජාතීන් නිසා මහ ආණ්ඩුවලින් අපි නොසලකා හරිනවා කියන මතය ඔවුන් ඇති කරනවා. එහෙම කරලා සුළු පක්ෂ ඒ ජනතාව දිනාගෙන තිබෙනවා.

ඡායාරූපය - විමල් කරුණාරත්න

 

 

නව අදහස දක්වන්න