සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය (MCC) සමාලෝචනය කිරීමේ කමිටුවේ අවසන් වාර්තාව | දිනමිණ


 

සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය (MCC) සමාලෝචනය කිරීමේ කමිටුවේ අවසන් වාර්තාව

4. කමිටුව විසින් කරන ලද තොරතුරු සම්පාදනය

xii. එක්සත් ජනපදයේ 2003 සහශ්‍රක අභියෝගතා පනතට අනුව MCC ප්‍රදානලාභී රටවල් විසින් ජාත්‍යන්තර සිවිල් සංවිධානවලට තම රටවල් තුළ නිදහසේ බාධාවකින් තොරව කටයුතු කිරීමේ අයිතිය තහවුරු කළ යුතුය. ඒ ප්‍රතිපාදන 2018 වසරේදී එම පනතට ගෙන එන ලද සංශෝධනයෙන් වඩාත් පුළුල් පරාසයකට ව්‍යාප්ත කරනු ලැබ ඇත. එවැනි ප්‍රතිපාදන සහිතව MCC සංයුක්තයක් ශ්‍රී ලංකාව විසින් පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත කරගනු ලැබුවහොත් ඉබේම එම ප්‍රතිපාදන ශ්‍රී ලංකාවේ නීතියක් බවට පත්වෙන බැවින් ඒ තුළින් රට තුළ උද්ගත විය හැකි සමාජමය, සංස්කෘතිකමය, දේශපාලනමය හා ආකල්පමය බලපෑම් සහ නීතිමය ව්‍යාකූලත්වය නොසලකා හැරිය නොහැක.

xiii. එසේම එවැනි බලාත්මක කිරීමක් ඔස්සේ පහසුකම් ලබන රාජ්‍ය නොවන සංවිධාන හරහා ඇති කෙරෙන අර්බුද පාලනය කිරීමට රජයකට සිදු වන විට ඒ හේතුව මත සංයුක්ත අත්හිටුවීමට ද රට තුළ මෙන්ම ජාත්‍යන්තර අධිකරණ තුළ ශ්‍රී ලංකාවට එරෙහිව නීතිමය පියවර ඇරඹීමට ද, මේ වනවිටත් අත්සන් කර ඇති ACSA හෝ SOFA හෝ ගිවිසුම් වෙත් නම් ඒවායේ ප්‍රතිපාදන ඔස්සේ අදාළ අර්බුදවලට මැදිහත් වීමට ද අමෙරිකානු රජයට හා ආයතනවලට ඉඩකඩ පෑදිය හැකිය. මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ විශේෂ අවධානයට ලක්විය යුත්තේ එවැනි ඉඩකඩක් තුළ ජාතික ආරක්ෂාවට හා ස්වෛරීත්වයටද රටේ ඒකීයත්වයට හා දේශපාලන ස්ථාවරත්වයට ද අගතිකාරී බලපෑම් එල්ල විය හැකි බැවිනි.

මේ අනුව පෙනී යන්නේ MCC සංයුක්ත පිළිබඳ ‍මෙතෙක් පවත්නා ජාත්‍යන්තර අත්දැකීම් සතුටුදායක හෝ සුබවාදී නොවන බවයි. එබැවින් ශ්‍රී ලංකාව විසින් MCC ගිවිසුම සලකා බැලීමට පෙර මෙම අත්දැකීම්වලින් ලැබිය හැකි පාඩම් මනාව උකහාගත යුතු වෙයි.

4.3 MCC ‍යෝජනාවලිය පිළිබඳ මහජන අදහස් සම්පිණ්ඩනය

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද ප්‍රසිද්ධ නිවේදනයක් ඔස්සේ මහජන අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමට කමිටුව පියවර ගත්තේය. ඒ අනුව මේ සම්බන්ධයෙන් උනන්දුව දක්වන ‍බොහෝ පුද්ගලයන්, වෘත්තිකයන්, වෘත්තීය සමිති, වාණිජ මණ්ඩල හා වෘත්තික ආයතන විසින් කමිටුව වෙත සිය අදහස් හා යෝජනා ලිඛිතව මෙන්ම හමුවීම හරහා වාචිකව ද ලබාදෙන ලදී.

සමස්තයක් ලෙස අදහස් දැක්වීම් 180ක් කමිටුව වෙත ලැබී තිබූ අතර, ඉන් 82%ක් (අදහස් දැක්වීම 147ක්) පුද්ගලිකව ද, 8% (හෙවත් 14ක්) සමාජ සංවිධාන විසින් ද කරන ලද ඉදිරිපත් කිරීම්ය. සමාගම් විසින් කර ඇති ඉදිරිපත් කිරීම් සංඛ්‍යාව සමස්ත ඉදිරිපත් කිරීම්වලින් 3%ක් නියෝජනය වී ඇත. වාණිජ මණ්ඩල විසින් වෘත්තික ආයතන විසින් සහ වෘත්තීය සමිති විසින් වෙන් වෙන් වශයෙන් 2%ක් බැගින් වූ නියෝජනයක් එම සමස්ත ඉදිරිපත් කිරීම්වලට දායක වී ඇත. මෙම කරුණු දැක්වීම් අතර ලංකා වාණිජ මණ්ඩලය ඇතුළු වාණිජ මණ්ඩල හතරක්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු ප්‍රධාන වෘත්තීය සංගම් හතරක් සහ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය සහ වෘත්තිකයන්ගේ සමිති සංවිධානය වැනි වෘත්තික ආයතන හතරක් ද වීම විශේෂත්වයකි.

කමිටුව වෙත තොරතුරු හා අදහස් දැක්වූ විවිධ පාර්ශ්ව 1 වැනි රූප සටහනේ නිරූපිත අතර, ඒ මත විමසුමේ ප්‍රතිඵල 1 වැනි වගුවේ සාරාංශගත කර දක්වා ඇත. තව ද, ඒ ඒ පාර්ශ්ව විසින් ඉදිරිපත් කෙරුණු තොරතුරුවල සාරාංශයක් ඇමුණුම් - 9B හි අන්තර්ගත කර ඇත.

මෙම සාරාංශයෙන් පැහැදිලි වන්නේ ඉදිරිපත් කිරීම් අතරින් අති මහත් බහුතරයක්, එනම්, තොරතුරු ලබාදුන් අයගෙන් හතරෙන් තුන් පංගුවක්ම, MCC ගිවිසුමට විරුද්ධ මතයක් දරන බවය. ඒ අතර 57% ක්ම ඉතා සෘජුවම එම ගිවිසුම ප්‍රතික්ෂේප කළ යුතු බව කියා සිටි අතර 14% ක් ගිවිසුම අවදානම් බවද, තවත් 4% ක් ගිවිසුම සංශෝධනය කළ නොහැකි නම් ගිවිසුමට එරෙහි බවට මත ප්‍රකාශ කර ඇත. මතයක් ඉදිරිපත් කර නොමැති අය 6% ක් වන අතර 8% ක් කියා සිටියේ මතයක් විමසීමට පෙර සියලු තොරතුරු මහජනතාවට විවෘත කළ යුතු බවය. ගිවිසුම් හා කොන්දේසි ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම් ද ඒ අතර විය. ගිවිසුම පිළිබඳව සුබවාදී ආකල්ප ඉදිරිපත් කර තිබුණේ සමස්ත ඉදිරිපත් කිරීම්වලින් 11% ක් පමණක් වූ අතර කිසිදු සැක සංකාවකින් තොරවම ගිවිසුම අත්සන් කළ යුතු යැයි පවසා සිට ඇත්තේ සමස්ත ඉදිරිපත් කිරීම්වලින් 7% ක් පමණි. MCC ගිවිසුම සම්බන්ධව විද්වත් සංවිධාන, වෘත්තිකයන් හා පොදු මහජනතාවද ඇතුළුව පොදුවේ මහජනතාව දරන මතයේ දිශානතිය මින් ඉතා පැහැදිලිව පිළිබිඹු කෙරෙන බව කමිටුවේ මූලික නිරීක්ෂණයයි.

එසේම, එම ඉදිරිපත් කිරීම්වල අන්තර්ගතය තුළින් පැහැදිලිව කැපීපෙනුණු පහත දැක්වෙන ඉතා වැදගත් නිරීක්ෂණ කිහිපය ද මෙහිලා විශේෂයෙන් සඳහන් කිරීමට කමිටුව අදහස් කරයි.

i. යෝජනාවලියට පක්ෂව අදහස් දක්වා ඇති ලංකා වාණිජ මණ්ඩලය හා Lirne Asia ආයතනය මේ යෝජනාවලිය ගොඩනැඟීමට දායක වී ඇති හෝ MCC ආයතනයේ ජාත්‍යන්තර අධ්‍යයනයන්ට විවිධාකාරව සම්බන්ධ වී ඇති ආයතන වෙයි.

ii. ගිවිසුමට පක්ෂව ඉදිරිපත් වී ඇති ප්‍රධානතම තර්කනය වී ඇත්තේ MCC යෝජනාවලිය ණයක් නොව ආපසු ගෙවීමක් ‍හෝ අවශ්‍ය නොවන ප්‍රදානයක් බවයි. රජය විසින් සංවර්ධනය උදෙසා අත්‍යවශ්‍ය බවට තීරණය කර ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රාග්ධන සම්පත් නොමැති තත්ත්වයක් තුළ විදේශ ණය මත යැපීමට වඩා මෙම ප්‍රදානය ලබාගැනීම ඉතා වාසිදායක බවයි.

iii. ගිවිසුම අත්සන් කිරීමට විරුද්ධව ඉදිරිපත් වූ සුලබ අදහසක් වන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී මහජනතාව දුන් දේශපාලන තීන්දුවෙන් රටේ පොදු මතය MCC යෝජනාවට එරෙහි වග නිරූපණය වන බවයි. ජනතාව සිය ඡන්දය තුළින් පසුගිය රජය පරාජය කරමින් MCC ‍යෝජනාව මැතිවරණ වේදිකාවේ විවේචනයට පාත්‍ර කර වත්මන් පාලනයට බලය ලබාදුන්නේ ඒ ප්‍රබල විරෝධය කියාපාමින් බවත්, ඒ නිසා වත්මන් පාලනයට එම ගිවිසුම අත්සන් කිරීමට තබා නැවත අධ්‍යයනය කිරීමටවත් ජනවරමක් නොමැති බවත් ඒ අදහස් තුළ අවධාරණය කරනු ලැබ ඇත.

iv. MCC සංයුක්තය කෙටුම්පත් කර ඇති ආකාරය අනුව එහි යම් යම් ප්‍රතිපාදනයන් ශ්‍රී ලංකාවේ ආයතනික ව්‍යුහයට, රටේ නීති පද්ධතියට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැණි බව නීති වෘත්තිකයන් විසින් ඉදිරිපත් කර ඇති අදහස් තුළ කැපී පෙනෙයි.

v. ගිවිසුමට අදාළ සංරෝධක ඇගැයීම, එහි පදනම හා ප්‍රදාන ආයෝජනයන් යොදා ගැනීම සඳහා තෝරා ගෙන ඇති ව්‍යාපෘති දෙකෙහි සැබෑ සමාජ ආර්ථික ප්‍රමුඛතාව ද ගිවිසුමට එරෙහිව අදහස් දැක්වූ සැලකිය යුතු පිරිසක් විසින් ප්‍රශ්න කරනු ලැබ ඇත.

vi. ගිවිසුමට විරුද්ධව අදහස් දැක්වූවන් අතර ප්‍රබල විවේචනයකට පාත්‍ර වී ඇත්තේ ඉඩම් පිළිබඳ යෝජනාවලියයි. විශේෂ වශයෙන්ම අදාළ ඉඩම් වි‍ෙද්ශිකයන් විසින් ඩැහැ ගැනීමට ඇති ඉඩකඩයි. ප්‍රවාහන ව්‍යාපෘතියට ඉදිරිපත් වී ඇති විවේචන ප්‍රතිපත්තිමය හේතුවලට වඩා මූලික වශයෙන් තාක්ෂණික හේතු මත ගොඩනැඟී ඇති අතර, ප්‍රවාහන යෝජනාවලියට ඉදිරිපත් වී ඇත්තේ ඉඩම් ව්‍යාපෘතියට සාපේක්ෂව අඩු විරෝධයකි.

vii. MCC ප්‍රදානයන් ලබාගත් රටවල් එසේ නොගත් රටවලට සාපේක්ෂව සැලකිය යුතු ඉහළ වෘද්ධි වේගයක් අත්පත් කරගෙන නොමැති බවට සංඛ්‍යාලේඛන විමර්ශනයන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරනු ලැබිණි. තවද මේ තත්ත්වය ආර්ථිකමිතිකව ද නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයීය ආර්ථික විද්‍යාර්ථීන්ගේ සංසදය (Sri Lanka Forum of University Economists) විසින් සංවිධානය කරනු ලැබ තිබූ වැඩමුළුවේදී ද වාර්තා වී ඇත. (ඇමුණුම - 15B)

viii. අමෙරිකානු අරමුණු හා ඉන්දු පැසිෆික් මූ‍ලෝපාය ද MCC යෝජනාවලියට එරෙහිව එල්ල කෙරෙන විරෝධයට ප්‍රබල හේතු පාධකයකි. MCC ගිවිසුම ACSA හා SOFA වල අරමුණුවලට අනුපූරක වීමේ ඇති ඉඩකඩ හා ඒ තුළ ජාතික ආරක්ෂාවට හා රටේ සාමයට මෙන්ම ස්වාධීනත්වයට සිදුවිය හැකි අහිතකර බලපෑම් ද ගිවිසුමට විරුද්ධව දක්වා ඇති අදහස් අතර ඉස්මතු වී පෙනෙන සාධක අතර වෙයි.

ix. අනාගත පරම්පරාවේ හිමිකම්වලට හා ජාතික ස්වෛරීත්වයට මෙම ගිවිසුම බලපෑම් ඇති කළ හැකි බව කමිටුව හමුවේ කරුණු දැක්වූ සැලකිය යුතු පිරිසකගේ අදහස වී ඇත. ඒ නිසා මහජනතාව අතර මේ සම්බන්ධයෙන් ‍කෙරෙන විවෘත සාකච්ඡාවකින් හා මත විමසුමකින් තොරව මෙවැනි ගිවිසුම් අත්සන් කිරීම නිවැරදි නොවන බව ඒ අදහස් ඉදිරිපත් කිරීම් අතර නිරීක්ෂණය කළ හැකිය.

x. එසේම MCC යෝජනාවලිය හා සම්බන්ධ (වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම (PIA), MCA-Sri Lanka හි සාංගමික ව්‍යවස්ථාවලිය වැනි) වැදගත් ගිවිසුම් හා ලිපි ලේඛන ප්‍රසිද්ධ නොකිරීම පිළිබඳ ඇත්තේ මැසිවිල්ලක් වන අතර, ඒවා ප්‍රසිද්ධියට පත් කළ යුතු බවට සැලකිය යුතු පිරිසක් අදහස් දක්වා ඇත. එසේ තොරතුරු ප්‍රසිද්ධ කර නොමැති නිසා මත ප්‍රකාශ කළ ‍නොහැකි බව සඳහන් කළ අය ද ඒ අතර වෙති.

5. MCC යෝජනාවලියට අදාළ නෛතික හා රෙගුලාසිමය විමර්ශනය

ප්‍රස්තුත MCC යෝජනාවලියට අදාළ ගිවිසුම් අත්සන් කළහොත් ඒ අනුව ඉදිරි ක්‍රියාත්මකත්වය, MCC සංයුක්ත ගිවිසුම (Compact), ඊට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම (Program lmplementation Agreement or PIA), ක්‍රියාන්විතය මෙහෙයවීම ‍උදෙසා ස්ථාපනය කිරීමට යෝජිත MCA – Sri Lanka නමැති ඇපයෙන් සීමිත සමාගමේ (Company Limited by Guarantee) සාංගමික ව්‍යවස්ථාවලිය (Articles of Association) සහ ඊට අදාළ නිල ලිපි ගනු-දෙනු තුළින් එළැඹෙන එකඟතා අනුව සිදු වනු ඇත.

මේ සංයුක්ත ගිවිසුම ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු පනතකින් නීතිගත කළ යුතු බව MCC සංයුක්ත ගිවිසුමෙහි 7.1 වගන්තියේ සඳහන් වෙන පූර්ව කොන්දේසියකි. ඒ අනුව, යෝජනාවලියට අදාළ සියලු ගිවිසුම් කෙටුම්පත්වල අන්තර්ගතය ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට ඒවායේ තිබිය හැකි බලපෑම් හඳුනා ගැනීම උදෙසා පුළුල් හා ගැඹුරු නීතිමය විශ්ලේෂණයකට භාජනය කිරීම අත්‍යන්තයෙන් වැදගත් අවශ්‍යතාවකි.

MCC සංයුක්තය හා ඊට අදාළ අනෙකුත් ගිවිසුම් ඇතුළු ලිපි ලේඛන නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානයට ලක් කරනු ලැබ තිබේ ද සහ එම දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය කරනු ලැබ කවර උපදෙස් රජය වෙත ලබා දෙනු ලැබ තිබේ දැයි දැන ගැනීමට කමිටුව අපේක්ෂා කළේය. MCC ගිවිසුම සම්බන්ධයෙන් කමිටුවට ඇති නෛතික ප්‍රශ්න 2020 මැයි මස 5 වැනි දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් ද පැමිණ සිටිය දී කමිටුව විසින් ඉදිරිපත් කරන ලද්දේ එබැවිනි. තව ද, ඒ උදෙසා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් ගරු නීතිපතිතුමාගේ නියෝජිතයන් සමඟ දෙවතාවකදී (2020 පෙබරවාරි 24 දින හා 2020 මැයි 15 වැනි දින) සාකච්ඡා කිරීමට ද, කමිටුවේ අවධානයට ලක් වූ විශේෂ කරුණු පිළිබඳ ගරු නීතිපතිගේ විමර්ශනාත්මක මතයන් අග්‍රාමාත්‍ය ලේකම්වරයා මඟින් ලිඛිතව විමසීමට ද කමිටුව විසින් පියවර ගන්නා ලදී. (ඇමුණුම-11) තව ද, ගරු නීතිපති විසින් මේ සම්බන්ධ සිය විශ්ලේෂණාත්මක අදහස් හා මතය ඉදිරියේ දී රජය වෙත ඍජුව දන්වනු ඇතැයි කමිටුව අපේක්ෂා කරයි.

5.1 කමිටුවේ ස්වාධීන විමසුම් නිරීක්ෂණ

ඉහතින් දැක්වුණු පසුබිම මත සිය ස්වාධීන අධ්‍යයනයන් ඔස්සේ පහත දැක්වෙන නිරීක්ෂණයන් රජයේ අවධානයට ඉදිරිපත් කිරීමට කමිටුව අපේක්ෂා කරයි.

5.1.1 වැඩසටහන මෙහෙයවීම, බලතල සහ වගකීම්

(i) මෙම ආධාර ක්‍රමය හා වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ මෙතෙක් ශ්‍රී ලංකාවේ පිළිගත් සාමාන්‍ය ද්විපාර්ශ්වික ණය හෝ ආධාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක කෙරුණු පරිදි භාණ්ඩාගාරය ඇතුළු ශ්‍රී ලංකා රජයේ ස්ථාපිත ආයතනික ව්‍යූහය තුළින් නොව, ශ්‍රී ලංකා රජය විසින් විශේෂ ක්‍රියාත්මක කිරීමේ ඒකකයක් ලෙස ස්ථාපනය කරනු ලැබිය යුතු ඇප සීමිත සමාගමක් Company Limited by Guarantee) ඔස්සේ ය.

MCA-Sri Lanka ලෙස නම් කිරීමට යෝජිත එම සමාගම ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්ගෙන් සමන්විත අධ්‍යක්ෂක මණ්ඩලයකින් පාලනය වනු ඇති නමුදු, එකී MCA-Sri Lanka මඟින් කෙරෙන කටයුතු ශ්‍රී ලාංකික නියාමන අධිකාරියක නියාමනයට යටත් නොකිරීමේ ප්‍රයත්නයක් සහ/හෝ එවැනි ශ්‍රී ලාංකික නියාමන අධිකාරියක අධීක්ෂණයෙන් ප්‍රායෝගිකව විනිර්මුක්ත කිරීමේ ප්‍රයත්නයක් PIA හි 1.3(b)(iv) හි පිළිබිඹු වන බව පැහැදිලිවම පෙනේ.

(ii) එසේ වුව ද, එම සමාගමේ සේවකයන් සේවා සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් පත්කර ගැනීමේ පටන් මුදල් ගෙවීම, අත්හිටුවීම/අවසන් කිරීම හා ප්‍රගති සමාලෝචනය දක්වා සමාගමේ ක්‍රියාත්මකත්වයේ සියලු කටයුතු හා පියවරයන් සඳහා මැදිහත්වීමට MCC ආයතනයට හැකි වන පරිදි MCC සංයුක්ත ගිවිසුම (Compact) තුළ සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම (PIA) තුළ වගන්ති (විශේෂ වශයෙන් PIA හි 1.2, 1.3, 2.1, 2.2, 2.4, 2.8, 2.9, 2.10, 3.1, 3.2, 3.3, 5.3) ඇතුළත් කර ඇත. සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඡන්ද බලය අහිමි සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකාවේ MCC නියෝජිත නම් කරනු ලැබ තිබීම (MCA-Sri Lanka සංස්ථාපන කෙටුම්පතෙහි 12(b)(ii) වගන්තිය) ද කමිටුවේ අවධානයට ලක් වෙයි. ඒ අනුව නිරීක්ෂණය වන්නේ MCA-Sri Lanka සමාගම ඉහත (i) හි දක්වා ඇති අයුරු ශ්‍රී ලංකා රජයේ පාලනයෙන් හැකි උපරිම අයුරින් බැහැර කිරීමකට යත්න දරා තිබෙන නමුදු MCC ආයතනයේ බලපෑමෙන් ස්වාධීන කරනු ලැබ නැති බවයි. එබැවින්, MCA-Sri Lanka සමාගම ස්වාධීන ඒකකයක් ලෙස සැලකිය නොහැකි බව කමිටුවේ මතයයි.

(iii)‍ මෙවැනි මැදිහත්වීමක් යම් ප්‍රතිලාභී ආයතනයක් මත සිදු කිරීම ප්‍රදානය ලබා දෙන ආයතනයක් විසින් කළ හැකි වනු ඇතැයි අදහස් ඉදිරිපත් විය හැකි නමුදු මෙම ප්‍රදානය මූලිකවම පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ යහපාලනයක්, නිසි කළමනාකාරිත්වයක් සහ නීතියේ ආධිපත්‍යය යථා පරිදි ක්‍රියාත්මක වීමක් ඇති වග MCC ආයතනය විසින් පිළිගනු ලැබීම මත බව මෙහිදී අවධානයට ලක්විය යුතුය. එවැනි පිළිගැනීමක් සහිතව තිබියදී, ශ්‍රී ලංකාවේ පිළිගත් සාමාන්‍ය ද්විපාර්ශ්වික විදේශ ආධාර ගිවිසුම් හා ව්‍යාපෘති ක්‍රියාවට නැංවෙන ක්‍රමවේදයෙන් වෙනස් ආකාරයකට “ස්වාධීන ඒකකයක්” ඇති කර ඒ හරහා යෝජිත සංවර්ධන ආයෝජන ක්‍රියාත්මක විය යුතු යැයි කොන්දේසි පැනවීම පරස්පර විරෝධී වෙයි.

(iv) තවද, එවැනි “ස්වාධීන ඒකකයක්” ස්ථාපනය කළ ද, එය යහපාලනය, නීතියේ ආධිපත්‍යය හා කළමනාකාරිත්ව කාර්යක්ෂමතාව සහිත රජයකට අයත් ඒකකයක් (සමාගමක්) බව MCC ආයතනයම පිළිගන්නේ නම්, එම ඒකකයේ කටයුතුවලට මැදිහත් වෙමින් මාර්ගෝපදේශ දීමට, නිර්දේශ සැපයීමට හෝ අනුමැති ලබා දීමට හෝ MCC ආයතනය මෙම සංයුක්ත ගිවිසුම තුළින් පියවර ගෙන තිබීම ද නොගැළපෙයි. තවද, එසේ මැදිහත් වීමේ බලතල තිබුණ ද, සංයුක්තයට අදාළව කෙරෙන කිසිදු කටයුත්තක හෝ නොකර සිටීමක ප්‍රතිඵලයක් ලෙස උද්ගත විය හැකි හානියක්, පාඩුවක්, තුවාල වීමක් හෝ මරණයක් සම්බන්ධ වගකීමෙන් MCC ආයතනය හා අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුව නිදහස් කිරීමට මෙම සංයුක්ත ගිවිසුමේ 6.8 වගන්තියෙන් ප්‍රතිපාදන සලසනු ලැබ තිබේ. තවද, එම වගන්තියට අනුව එවැනි යම් අගතිකාරී තත්ත්වයක් නිසා උද්ගත විය හැකි නෛතික පියවරයන් හිදී අමෙරිකා එක්සත් ජනපදය, MCC ආයතනය හා එහි වර්තමාන හෝ අතීත නිලධාරීහු හෝ සේවකයන් ශ්‍රී ලංකාවේ සියලු අධිකරණයන්හි බලාධිකාරියෙන් විනිර්මුක්ත කෙරෙයි. එවිට, සියලු වගකීම් ශ්‍රී ලංකා රජය මත පැව‍ැරෙන්නේ නිරායාසයෙනි. මේ ප්‍රතිපාදන ශ්‍රී ලංකාවට පිළිගත නොහැකි බව කමිටුවේ මතයයි.

(v) වැඩසටහන මෙහෙයවන MCA-Sri Lanka සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඡන්ද බලය හිමි සාමාජිකයන් ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් වන හෙයින් එම අධ්‍යක්ෂකවරුන් මඟින් කෙරෙන කිසියම් කටයුත්තකට ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිවලට හෝ ශ්‍රී ලංකාවේ යහපතට පටහැනි ලෙස කටයුතු කළ නොහැකි බවට න්‍යායික තර්කයක් ඉදිරිපත් විය හැකිය. එසේ වුව ද, MCA-Sri Lanka සමාගම එසේ ශ්‍රී ලංකා රජයේ අභිප්‍රායයන්ට අනර්ථකාරී ලෙස කටයුතු නොකළ යුතු බවට කිසිදු ප්‍රකාශිත වගන්තියක් සංයුක්ත ගිවිසුමේ හෝ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ගිවිසුමේ (PIA හි) නැති නමුදු, ඒ සමාගමේ කිසිදු කටයුත්තක් අමෙරිකා එක්සත් ජනපදයේ නීති, ප්‍රතිපත්ති හෝ ජාතික ආරක්ෂක අභිප්‍රායයන්ට පිටුපා කටයුතු කළ නොහැකි වන අයුරු සංයුක්තයේ 5.1(b)(iv) හා 5.1(b)(v) සහ PIA හි 1.3(b)(ii)(C) හා 1.3(b)(v) වගන්තිවලින් ප්‍රකාශිතව ප්‍රතිපාදන සකසනු ලැබ ඇත. තවද ඉහතින් සඳහන් කෙරුණු පරිදි MCA-Sri Lanka සමාගමේ අධ්‍යක්ෂවරුන් තුළින් හැරුණුවිට වෙනත් කිසියම් ලෙසකින් සමාගමේ හෝ සමාගම විසින් යොදවා ගැනෙන සේවා සැපයුම්කරුවන්ගේ කටයුතුවලට මැදිහත්වීමට ශ්‍රී ලංකා රජයට නොහැකි පරිදි (සංයුක්තයෙන්, වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ගිවිසුමෙන් සහ උපලේඛනය - 3C හි ඇති MCA-Sri Lanka සාංගමික ව්‍යවස්ථාවලියෙන්) ප්‍රතිපාදන සලසනු ලැබ ඇත.

(vi) එසේ MCA-Sri Lanka සමාගම මඟින් සිදු කෙරෙන කටයුතුවලට මැදිහත්වීමට රජයට හෝ රජයේ ආයතනවලට නොහැකි පරිදි ප්‍රතිපාදන සකසනු ලැබ ඇති මුත්, සංයුක්ත වැඩසටහනින් අපේක්ෂිත නිමැවුම් නිසි පරිදි ලබාදීමේ වගකීම සංයුක්ත ගිවිසුමෙහි 3.2(a) වගන්තියෙන් ශ්‍රී ලංකා රජය මත පවරනු ලැබ ඇත. මැදිහත්වීමේ බලතල නොමැති ක්‍රියාවලියක වගකීම් පවරනු ලැබීම කළමනාකරණ ප්‍රථම මූලධර්මවලට පවා පටහැනිය.

(vii) ඉහත ප්‍රතිපාදන අනුව පෙනී යන්නේ සංයුක්ත වැඩසටහනේ හා MCA-Sri Lanka සමාගමේ කටයුතු නිසා යම් මූල්‍ය වගකීම ජනනය වෙතොත් ඒ වෙනුවෙන් ගෙවීම කිරීමට පවා ශ්‍රී ලංකා රජය බැඳී සිටින බවයි. මෙම තත්ත්වය වඩාත් බැරෑරුම් වන්නේ MCC සංයුක්ත ගිවිසුමේ 5 වැනි ව්‍යවස්ථාව සහ PIA හි 5.7(a) වගන්තිය ප්‍රකාර ඕනෑම අවස්ථාවක හෝ PIA හි 5.7(b) වගන්තියට අනුව මසක කල්දීමෙන් පසු හෝ ගිවිසුමෙන් ඉවත්වීමට MCC ආයතනයට අවසර ලබාදී ඇති නිසාය. යම් හෙයකින් එසේ ප්‍රත්‍යාදිෂ්ඨ කිරීමකදී හෝ MCC ගිවිසුම නිමාවීමේදී හෝ MCA-Sri Lanka සමාගම ඒ වන විට බැඳී සිටින ණය හෝ වෙනත් වගකීම හෝ ගෙවා දැමීමට සංයුක්තයේ 5.2, 5.3 සහ PIA හි 1.3(b)(viii), වගන්ති අනුව ශ්‍රී ලංකා රජයට නිසැකවම සිදු වනු ඇත. තව ද එසේ ප්‍රත්‍යාදිෂ්ට කිරීමක දී එතුවක් දෙන ලද ප්‍රදාන මුදලින් යම් කොටසක් සඳහා ශ්‍රී ලංකා රජය MCC ආයතනයට හෝ අමෙරිකා එක්සත් ජනපද රජයට ණයකරුවකු වීමේ නිසඟ හැකියාවක් MCC සංයුක්තයේ 5.2 වගන්තියේ සහ PIA හි 4.2(a) සිට 4.2(e) තෙක් වගන්තිවල ප්‍රතිපාදනයන් හි ගැබ් වී ඇති බව ද කමිටුව නිරීක්ෂණය කරයි.

(viii) මීට අමතරව, ගිවිසුම නිමා කෙරෙන අවස්ථාවකදී තමන්ට අවශ්‍ය වන්නා වූ කටයුතු ශ්‍රී ලංකාව කැමැති වුව ද අකැමැති වුව ද අප රට තුළ දිගටම පවත්වාගෙන යෑමට MCC ආයතනයට හැකි වන පරිදි අවශ්‍ය ප්‍රතිපාදන ද සංයුක්තයේ 5.1 හා 5.5 සහ PIA හි 4.2(h), 5.7 හා 5.8 වගන්ති තුළ ඇති බව ද කමිටුවේ අවධානයට ලක් වෙයි. ශ්‍රී ලංකාව මත මූල්‍යමය වගකීම් පට වනු ලැබ ඇති අවස්ථාවක මෙවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් ශ්‍රී ලංකා රජය අතිශයින් අසීරුතාවට පත්වනු ඇති අතර, ඒ තුළ සැලකිය යුතු කේවල්කාරී බලයක් පාවිච්චි කිරීමට MCC ආයතනය පියවර ගැනීමට ඇති ඉඩකඩ බැහැර කළ නොහැකිය. MCC විසින් සිය රටට දුන් ප්‍රදානය අත්හිටුවුව ද, මැඩගස්කරයට එහි ප්‍රතිඵල ලෙස මුහුණ දීමට සිදුවී ඇති බැඳීම්වලින් ඉවත්වීමට නොහැකි වී ඇත්තේ මෙවැනි තත්ත්වයක් නිසා දැයි විමසා බැලීම වැදගත් විය හැකිය.

5.1.2. ප්‍රසම්පාදන ක්‍රමවේදය හා සැපයුම් ප්‍රභවයන්

(i) මෙම ගිවිසුමට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත්තේ ඊට අදාළ ශ්‍රී ලංකා රජයේ ආයතන තුළින් නොවේ. අවම වශයෙන් ශ්‍රී ලාංකික සමාගම්වලට සීමා වූ කොන්ත්‍රාත් මඟින් ද නොවේ. වෙනත් ද්වි පාර්ශ්වික ණය හෝ ආධාර යෝජනා ක්‍රම තුළ දක්නට ලැබෙන්නා වූ ඒ ඒ රටවල සැපයුම් සමාගම්වලින්ම සේවා සපයාගත යුතු බවට වන කොන්දේසි මෙම MCC ප්‍රදානයේ කොන්දේසියක් කර නොතිබීම සුබවාදී වන බව සත්‍යයකි. එනමුදු, ශ්‍රී ලංකාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිෂේධනය කරමින් අමෙරිකානු/ MCC ප්‍රසම්පාදන ක්‍රමවේදයන් අදාළ වන පරිදි පාර්ලිමේන්තුවේ නීතිගත කරන ලෙස කොන්දේසි පැනවීමෙන් සහ එම ක්‍රියාවලිය ඔස්සේ තෝරා ගැනෙන සැපයුම්කරුවන්ට MCC ආයතනයේ අනුමැතිය ලබාගත යුතු වන පරිදි ප්‍රතිපාදන සැකැසීමෙන් එම ධනාත්මක ඉඩකඩ ද නිශේධනය වී ඇත.

(ii) මෙම ප්‍රසම්පාදන ක්‍රමවේදය ඔස්සේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ජාතිකමය වශයෙන් හා රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සංවේදී හේතු මත පමණක් හෝ අදාළ සැපයුම්කරුවන් හෝ සමාගම් තේරීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයන්ට සීමා කිරීමට ශ්‍රී ලංකාවට අවකාශ නොමැත. එවැනි තත්ත්වයක් තුළ ඉඩම් මැනීම, සිතියම් කිරීම හා දත්ත ගබඩා ඇති කිරීම, මධ්‍යගතව වාහන පාලන ක්‍රමවේද සැකැසීම වැනි රටේ ජාතික ආරක්ෂාවට හා දේශපාලන - ආර්ථික හා සමාජයීය ස්වෛරීත්වයට බලපෑම් එල්ල කිරීමට යොදා ගනු ලැබිය හැකි තොරතුරු හෝ පරිගණක යෙදවුම් කිසිදු පාලනයකින් හා සීමාවකින් තොරව දේශීය හා විදේශ කොන්ත්‍රාත්කරුවන්ගේ අතට පත්වීම වැළැක්විය නොහැකිය. මෙම තත්ත්වය ද කිසි සේත්ම සුදුසු නොවන බව කමිටුවේ මතයයි.

5.1.3. වැඩසටහන් වත්කම්, සංවේදී තොරතුරු හා බුද්ධිමය දේපොළ අයිතිය

(i) සංයුක්ත ගිවිසුමෙහි හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ගිවිසුමෙහි “වැඩසටහන් වත්කම්” (Program Assets) ලෙස සැලැකෙන (යන්ත්‍ර-උපකරණ-මෙවලම් වැනි ද්‍රව්‍යමය දේපොළ මෙන්ම තොරතුරු - දත්ත - මෘදුකාංග වැනි ද්‍රව්‍යමය නොවන දේපොළ ද ඇතුළත් විය හැක්කා වූ) කිසිවක් අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ප්‍රතිපත්තිවලට සහ ජාතික ආරක්ෂාවට පටහැණිව යොදා ගත නොහැකි බවට සංයුක්තයේ 5.1(b)(iv) සහ 5.1(b)(v) හි සඳහන් වන නමුදු ඒ කිසිවක් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති සහ ජාතික ආරක්ෂා අරමුණුවලට පටහැණිව යොදා ගත නොහැකි බවට කිසිදු ප්‍රතිපාදනයක් අදාළ ගිවිසුම් තුළ සකසනු ලැබ නොමැත.

(ii) මෙම තත්ත්වය වඩාත් බරපතළ වන්නේ සංයුක්ත ගිවිසුමේ V වැනි ඇමුණුමෙහි බුද්ධිමය දේපොළ සම්බන්ධයෙන් ලබා දී ඇති අර්ථ නිරූපණය සමඟ කියවිය යුතු සංයුක්තයේ 3.9 වගන්තියේ ප්‍රතිපාදන අනුවය. එම වගන්තියට අනුව මෙම සංයුක්තයට අදාළ සියලු කටයුතුවලදී භාවිත කෙරෙන තොරතුරුවල හා එම සංයුක්තය ක්‍රියාත්මක කිරීමේදී නිපැයෙන සියලු දත්ත - සටහන් - සංඛ්‍යා ලේඛන - තොරතුරුවල පූර්ණ බුද්ධිමය දේපොළ අයිතිය MCC වෙත ලැබෙන නිසා ය. විශේෂයෙන්, ජාතික ආරක්ෂාවට හා ආර්ථික ස්වෛරීත්වයට සංවේදී විය හැකි ඉඩම් වැනි ක්ෂේත්‍රයන් පිළිබඳ මෙන්ම වර්තමාන හා අනාගත පුරවැසි පරපුර වෙනුවෙන් රජය විසින් භාරකාරත්වය දරන ජාතික දේපොළ පිළිබඳ සූක්ෂම තොරතුරු අප රටේ පුරවැසියන්ටවත් සීමා රහිතව විවෘත නොකෙරෙන තත්ත්වයක් තුළ ඒවා කිසිදු වාරණයකින් තොරව විදේශීය ආයතනයක බුද්ධිමය දේපොළක් බවට පත් කිරීම කිසි සේත් සුදුසු නොවේ. එබැවින්, එවැනි වගන්ති සහිත ගිවිසුමක් රජයේ ඉහළ ආයතන තුළදී හෝ අවම වශයෙන් අමාත්‍ය මණ්ඩලයේදී වත් නිෂේධනය නොවීම වටහා ‍ගත නොහැකි අනතුරුදායක තත්ත්වයකි. මේ පිළිබඳ විමර්ශනාත්මක නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ලැබී තිබුණේ ද, නො එසේ නම් ඒ මන්ද සහ එවැනි තත්ත්වයක් යළි ඇති නොවීම උදෙසා ගත යුතු පියවර කවරේ ද යන ගැටලු වෙත රජයේ කඩිනම් අවධානය යොමු විය යුතු බව කමිටුව අවධාරණය කරයි.

(iii) තවද “වැඩසටහන් වත්කම්” සඳහා විශේෂ මුක්තියක් හිමි වන පරිදි ද ඒවා කිසිදු නෛතිකමය හෝ නියාමනමය රඳවා ගැනීමකින් වැළැක්වෙන පරිදි ද, යම් හේතුවකින් MCC හි පූර්ව අනුමැතියකින් තොරව එසේ රඳවාගැනීමක් සිදු වන්නේ නම් ඒවා වහාම නිදහස් කර දීමට ශ්‍රී ලංකා රජය බැඳ තබන අයුරු ද, යම් හානි පූර්ණයක් සිදු කළ යුතු නම් එහි සමස්ත වගකීම ශ්‍රී ලංකා රජය විසින් දරා ගත යුතු වන පරිදි ද, PIA හි 1.2(b)(i) සහ 1.3(viii) වගන්ති ඇතුළත් කරනු ලැබ ඇත. ඒ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි නිසාවත් MCC ක්‍රියාන්විතයට අදාළ කිසිදු මෙවලමක් - ද්‍රව්‍යයක් - උපකරණයක් තහනම් කිරීමෙන් හෝ රඳවා තැබීමෙන් ‍ශ්‍රී ලංකාව වළක්වනු ලැබ ඇති බවයි. ශ්‍රී ලංකාවේ රේගු රෙගුලාසි ක්‍රියාත්මක වීම පවා මේ ප්‍රතිපාදන තුළ අවහිර වීමට ඉඩ ඇති බව කමිටුව නිරීක්ෂණය කරයි.

තව කොටසක් හෙට . . .

 

නව අදහස දක්වන්න