විභාග පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ | දිනමිණ

විභාග පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ

විභාග පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණය ලබන සතිය ඇතුළත දැනුම් දීමට කටයුතු කරන බවට අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව සම කැබිනට් ප්‍රකාශක උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (1) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සමඟ මේ සම්බන්ධයෙන් ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවද ඇමැතිවරයා සඳහන් කරයි. 
 
දරුවන්ට විභාගය සඳහා සුදානම් වීමට කාලය ඉතිරි වන පරිදි විභාග පිළිබඳ නිශ්චිත දිනයන් නියම කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අධ්‍යාපන අමාත්‍යවරයාට දැනුම් දුන් බවද ඇමැතිවරයා පවසයි.  
 
පාසල් ආරම්භ වීමත් සමඟ රට පුරා දරුවන්ගේ සිතුම් පැතුම් හා අවශ්‍යතා පිළිබඳ පූර්ණ අවධානය යොමු කරමින් ඔවුන් සමඟත්, ගුරුවරුන්, අධ්‍යාපනඥයන්, විභාග ක්‍රියාවලියට සම්බන්ධ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්  සමඟත් සාකච්ඡා කර හැකි විභාග පැවැත්වෙන කාල වකවානු පිළිබඳ ලබන සතිය වනවිට දැනුම්දීමට බලාපොරොත්තු වන අධ්‍යාපන ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවත් ඇමැතිවරයා පවසයි. 
 
හතළිස් හතර ලක්ෂයක් වන පාසල් දරුවන්ගේත්, ලක්ෂ පහක් පමණ වන පෙර පාසල් දරුවන්ගේත් ජීවිත පිළිබඳ දැඩි අවධානය යොමු කරමින් ආවේගයෙන් තොරව සෞඛ්‍ය අංශයේ විධිවිධානවලට අනුකූලව අධ්‍යාපන අමාත්‍යාංශය මෙම තීරණ ගැනීමට සිදුව තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කරයි. විශේෂයෙන් ම, 1,2 ශ්‍රේණියේ හා පෙර පාසල් දරුවන්ට මුඛ ආවරණ පැළඳීම අපහසු බැවින් එම දරුවන්ට අගෝස්තු මාසය වන තෙක් පන්ති ආරම්භ නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ දැනුම්දී තිබූ බව පවසන ඇමැතිවරයා, පෙර පාසල් සහ 1, 2 ශ්‍රේණි ආරම්භය අගෝස්තු 10 දිනට නියම කර තිබෙන්නේ ඒ අනුව බවද පැවැසීය. 
 
ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (2) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය. 
 
 
බුද්ධිකා ඉඹුලාන ,සිතාරා සේනානි 

නව අදහස දක්වන්න