ලෝක පූජිත මුරලි මැතිවරණ වේදිකාවට | දිනමිණ


 

ලෝක පූජිත මුරලි මැතිවරණ වේදිකාවට

ප්‍රින්ස් ගුණසේකර

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරගවදින තම සොහොයුරාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා මැතිවරණ වේදිකාවට ගොඩවෙයි. තමා දේශපාලනයට අකැමැති වුවත් වැඩ කරන නායකයකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම අනුව තම සහෝදරයා මැතිවරණයට ඉදිරිපත් කළ බවද මුත්තයියා මුරලිදරන් මහතා අප කළ විමසීමකදී පැවැසීය.

වත්මන් රාජ්‍ය නායකයා රටේ වෙනසක් බලාපොරොත්තු වන හෙයින් ඉදිරි වසර 5ක කාලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සදහා වැඩ පිළිවෙළක් දියත් කළ යුතු බව මුරලිදරන් මහතා ‘දිනමිණ‘ ට පැවැසීය.

“ඇතැම් අය පාර්ලිමේන්තු යන්නේ තමන්ට සේවයක් කරගන්නයි. නමුත් විය යුත්තේ ජනතාවට සේවය කිරීමයි.

මගේ සහෝදරයාට මා කියා තිබෙනවා පාර්ලිමේන්තුවේ වසර 5ක කාලයේ වැඩ කළේ නැත්නම් ඊළඟ අවස්ථාවේ අයින් කරලා දාන බව. අප අවංක විය යුතුයි“ මුත්තයියා මුරලිදරන් මහතා පැවැසීය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මැතිවරණ ප්‍රචාරක රැස්විම්වලට මුත්තයියා මුරලිදරන් මහතා සහභාගී වෙමින් සිටී. මුත්තයියා මුරලිදරන් 1992 සිට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කොට ටෙස්ට් කඩුලු 800ක් දවාගෙන ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභී පන්දු යවන්නා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

නව අදහස දක්වන්න