ක්‍රීඩකයන් සහයෝගයෙන් විමර්ශනය සාර්ථකව ඉදිරියට | දිනමිණ


 

ක්‍රීඩකයන් සහයෝගයෙන් විමර්ශනය සාර්ථකව ඉදිරියට

කුමාර් සංගක්කාර ඊයේ ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට සිය ප්‍රකාශය ලබාදීමෙන් පසුව පිටතට පැමිණෙමින්. ඡායාරූපය - රුක්මාල් ගමගේ

2011 ලෝක කුසලාන පාවාදුන් බවට නැඟෙන චෝදනාව

ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා

ප්‍රකාශ සටහන් කරගැනීමට කැඳවූ ක්‍රීඩකයන් විමර්ශනයට අදාළව ඔවුන් දන්නා කරුණු සියල්ල හෙළි කරමින් ඉදිරි කටයුතු සඳහා සහයෝගය ලබා දෙන බව වසර 2011 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පාවා දුන් බවට එවකට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා එල්ල කළ චෝදනාව සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරන ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා ‘දිනමිණ‘ට ප්‍රකාශ කළේය.

මේ විමර්ශන කටයුතු ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතාට දුන් උපදෙස් අනුව ආරම්භ වූ අතර, එවකට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විශේෂ පොලිස් විමර්ශන ඒකකයට බාර දුන් පැමිණිල්ලට ඇතුළත් කරුණු 14කට අදාළව විමර්ශන කටයුතු සිදු කෙරේ. ඒ අනුව එවකට හිටපු ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා, 2011 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ උපුල් තරංග සහ එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වය දරූ කුමාර් සංගක්කාර මහත්වරුන්ගේ ප්‍රකාශ මේ වන විට සටහන් කරගෙන ඇති අතර, එවකට ශ්‍රී ලංකා පිලේ හිටපු උපනායක මහේල ජයවර්ධන මහතාගෙන් අද ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතය. ඊයේ කුමාර් සංගක්කාර මහතාගෙන් පැය 9කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

‘මේ විමර්ශනය ඉතා සාර්ථකව හා ස්වාධිනව සිදු කෙරෙනවා. විමර්ශන ඒකකය වෙත මෙතෙක් කැඳවූ සෑම ක්‍රීඩකයකුම ඔවුන්ගේ සහයෝගය ලබා දෙමින් දන්නා සියලු කරුණු හෙළි කළා. හැකි ඉක්මනින් විමර්ශන කටයුතු අවසන් කිරිම තමයි අපේ බලාපොරොත්තුව. මොකද මේ සිදුවීම රටේ විශාල ආන්දෝලනයකට තඩු දුන්නා. ඒ නිසා විමර්ශන කටයුතු කඩිනමින් නිමා කිරීම පොදුවේ අපේ රටටත්, ක්‍රීඩාවටත් හොඳයි.‘ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කීවේය.

මේ අතර ඊයේ පැය 9ක කාලයක් සිය ප්‍රකාශය ලබා දීමෙන් පසුව විශේෂ පොලිස් විමර්ශන ඒකකයෙන් පිටතට පැමිණි කුමාර් සංගක්කාර මහතා කියා සිටියේ මේ පරීක්ෂණ කටයුතුවලින් පසු හිටපු ක්‍රීඩා ඇමැති මහින්දාන්ද අලුත්ගමගේ මහතා එල්ල කරන චෝදනාවට පිළිතුරු ලැබෙනු ඇති බවය.

විමර්ශන කටයුතු නිමා කිරීමෙන් පසු එම ලිපිගොනුව නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන බව ද විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා කීවේය. නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජෙනරාල් සුමති ධර්මරත්න මහතා ඇතුළු රජයේ නීතිඥ කණ්ඩායමක් මෙහි අධීක්ෂණ කටයුතු සිදු කරන බව ඒ මහතා සඳහන් කළේය.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න