හෝමාගම කැන්දලන්දේදී පාතාලයේ තවත් අවි ගබඩාවක් අල්ලයි | දිනමිණ

හෝමාගම කැන්දලන්දේදී පාතාලයේ තවත් අවි ගබඩාවක් අල්ලයි

පොලිස් විශේෂ කාර්ය බළකාය හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයෙන් පාතාලයේ තවත් අවි ගබඩාවක් ඊයේ (02) අලුයම සොයා ගෙන තිබේ.  පොලිස් විශේෂ කාර්ය බළකාය හෝමාගම පිටිපනින් ගිනි අවි තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ තොරතුරු මත වැටලීමක් කර මෙම අවි ගබඩාව සොයා ගෙන ඇති අතර අත්බෝම්බ 4ක්, පිස්තෝලයක්, බෝම්බ පිපිරවීමට යොදාගන්නා ඩෙටනේටර් 2ක්, ගලිකටස් අවි 1ක්, රිපීටර් පතොරම් 10 ක්, අත්විලංගුවක්, එයා රයිෆල් අවියක්, එම පතොරම් 600 ක්, එම අවි ගබඩාවෙන් සොයාගත් දෑ අතර වෙතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

හෝමාගම පිටිපන පිහිටි ව්‍යාපාරික ස්ථානයකින් මෙතෙක් පොලිස් ඉතිහාසයේ පාතාලයක් සතුව තිබුණු වැඩිම ගිනි අවි තොගය විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 29 වෙනිදා සොයා ගත් අතර එහිදී එම ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු සහ ගිනි අවි එම ස්ථානයට රැගෙන විත් සැඟවූ පාතාලයේ කල්ලි සාමාජිකයෙක් වන පොට්ට කපිල නැමැත්තාව ද විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අත්අඩංගුවට ගැනිණි. එම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේය.

මේ අතර පෙරේදා නැවතත් විශේෂ කාර්ය බළකාය වැටලීමක් කර ව්‍යාපාරිකයාගේ අනියම් බිරියගේ නිවසින් තවත් ආයුද රැසක් සහ සංග්‍රාමික උපකරණ රැසක් සොයා ගන්නා ලදි. ඒ සම්බන්ධයෙන් නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇයවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

එම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත පෙරේදා (01) රාත්‍රිෙය්දී අතුරුගිරිය ප්‍රද්ශයේදී තවත් සැකකරුවෙක් ටී 56 අවියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. 38 වියැති ඔහු හබරකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කැන්දලන්දේ අවි ගබඩාව පිළිබඳ තොරතුරු හෙළිවී ඇත්තේ ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම කල්ලිය බන්ධනාගාරගතකර සිටින පාතාලයේ ප්‍රබලයෙක් වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ කල්ලියට සම්බන්ධකම් ඇති අය බවත් එම කල්ලිය සතුව විශාල ලෙස අවි ආයුද ඇති බවට තොරතුරු මේ වන විට හෙළිවෙමින් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි. මෙම අවි ආරක්ෂක අංශයකට සම්බන්ධ අවිදැයි සැකයක් මේ වන විට පැන නැගී ඇති බවත් ඒ සම්බන්ධයෙන් නිෂ්චිත තොරතුරක් දැන ගැනීමට ගිනි අවි වල සංඛේත අංක විශ්ලේෂණයක් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

 

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න