නායකයෝ ගමින් ගමට...! | දිනමිණ

නායකයෝ ගමින් ගමට...!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගමින්-ගමට ගොස් රට ගොඩනැඟීමේ ව්‍යාපාරය ශක්තිමත් කිරීමට තීරණය කර ඇත. එය ඓතිහාසික අනුරාධපුරයෙන් ආරම්භ වන අතර මෙය දේශපාලනයේ මෙන්ම ජාතික ආර්ථිකයේ වැදගත් අවස්ථාවක් සේ සැලකිය හැකිය. මේ වැඩසටහන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි දේශපාලන ව්‍යාපෘතියකට වඩා රට ඉදිරියට තල්ලු කරන ජාතික ව්‍යාපාරයක් සේ සැලැකීම වඩා නිවැරැදිය. ශ්‍රී ලංකාව තවම ග්‍රාමීය රාජ්‍යයකි. සම්පත් ඇත්තේ ගමෙහිය. ශ්‍රමය ඇත්තේ ගමෙහිය. ඉඩම් ඇත්තේ ගමෙහිය. සංවර්ධන ශක්‍යතා ඇත්තේ ගමෙහිය. ගම දියුණු කරන්නේ නැතිව රට දියණු කළ නොහැකිය.

ගම දියුණු කළ හැක්කේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට පෙර ගම දියුණු නොවන්නේ මන්දැයි යන ගැටලුවට පිළිතුර සපයා ගත යුතුය. ගම සංවිධානාත්මක නැත. ගමට අවශ්‍ය නිසි උපදේශන ලැබෙන්නේ නැත. අධ්‍යාපනය, තාක්ෂණය, පොදු පහසුකම් යාවත්කාලීන නැත. මේවා රාජ්‍ය අංශය විසින් ගම තුළ ස්ථාපනය කළ යුතුව තිබේ. බැංකු ගමට යා යුතුය. ආයෝජකයන් ගමට යා යුතුය. ආර්ථික විශේෂඥයන් ගමට යා යුතුය. මේ සියල්ලට කලින් රාජ්‍ය නායකයන් ගමට යා යුතුය. රාජ්‍ය නායකයන් ගම ගැන උනන්දු වන විට සෙසු ආයතන ඉබේම මෙන් ගමට යෑමට තීරණය කරනු ඇත.

ජනාධිපතිවරයා මීට දින දෙකකට කලින් බැංකු නිලධාරීන් ගෙන්වා තවත් සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ බැංකු ගමට යා යුතු බවය. ගමට ගොස් ගමේ ව්‍යවසායකයන් බිහි කිරීමට බැංකු උනන්දු විය යුතුය යන්න ජනාධිපතිවරයාගේ අදහස වෙයි. සරල නිදසුනක් ගත්තොත් අපනයන කෘෂිකර්මය දියුණු කළ හැක්කේ ග්‍රාමීය අංශය තුළය. අපනයනය කළ හැකි කෘෂිකාර්මික භෝග රාශියක් ගම් තුළ වගා කෙරේ. එහෙත් ඒවා ප්‍රමිතියකින් යුතු නිෂ්පාදන බවට පත්කොට අපනයනය කිරීමේ වැඩ පිළිවෙළක් නැත. මූලධනය හා උපදේශන සේවා මේ සඳහා අවශ්‍ය වෙයි. ඒ සාධක දෙකම බැංකුවලට ඉටු කළ හැකි ය.

බංග්ලාදේශයේ ග්‍රාමීන් බැංකු ව්‍යාපාරය ලෝක ප්‍රකට ග්‍රාම සංවර්ධන වැඩසටහනකි. එහි නිර්මාතෘවරයා මහාචාර්ය මොහොමඩ් යූනුස්ය. මහාචාර්ය යූනුස් ග්‍රාමීන් බැංකු සංකල්පය හඳුන්වා දෙන්නේ 1976 දීය. එය චිතගොං විශ්වවිද්‍යාලයයේ ආර්ථික පර්යේෂණ අංශයට ඉදිරිපත් කළ නිබන්ධනයකි. පසුව ඔහු බංග්ලාදේශයේ දිළිඳු ගම්මාන ඔස්සේ තම ආකල්පය යථාර්ථයක් බවට පත් කළේය. 1993 දී එය බැංකුවක් ලෙස ස්ථාපනය විය. මෙහි මූලික අරමුණ ග්‍රාමීය දරිද්‍රතාව තුරන් කිරීමය. ගැමියා සංවිධානය කිරීමෙන් හා වැඩකිරීමට යොමු කිරීමෙන් බංග්ලාදේශයේ ගම් විශාල ප්‍රමාණයක් දියුණු කර තිබේ. රටවල් 64ක් ග්‍රාමීන් බැංකු ක්‍රමය අනුගමනය කරයි.

ශ්‍රී ලංකාවට ද ග්‍රාමීන් බැංකු ක්‍රමයෙන් ආදර්ශක ලබාගත හැකිය. මේ ක්‍රමය තුළ ප්‍රධාන ආදර්ශ හතරක් පවතී. එක; විනයගරුක වීමය. දෙක එක්සත්භාවය රැකගැනීමය. තුන; ධෛර්යයෙන් වැඩ කිරීමය. හතර; ඉලක්ක ජයගැනීම සඳහා කැප වීමය. අපේ ග්‍රාමීය අංශය තුළ ඉහත ආදර්ශ හතරම නැත. ගැමියන් එක්සත් නැත; සාමූහික නැත. ගත් ණය ගෙවීමට මැළි වන බැවින් විනයගරුක භාවයක් ද නැත. කැපවීමෙන් වැඩ කිරීම බොහෝ ‍ෙසයින්ම අඩු ය. එහෙත් මේවා වෙනස් කළ හැකිය. අවශ්‍ය වන්නේ ගමට නායකත්වය සැපයීම හා ඔවුන් මෙහෙයවීමය. ග්‍රාමීය ණය අය කරගැනීම සඳහා නව වැඩසටහනක් ආරම්භ කරන්නැ’යි ජනාධිපතිවරයා බැංකුවලට උපදෙස් දී තිබේ.

දේශපාලකයන් ගමට යෑමත් ගැමි ජනතාව සමඟ එකට වැඩ කිරීමත් සංවර්ධනයට අලුත් ප්‍රවේශයක් ඇති කරයි. ගැමියා විශ්වාස කරන දේශපාලන නායකයන් ගමට පැමිණීම ඉතා වැදගත් සංසිද්ධියකි. ඒ ඔස්සේ ගැමියාගේ විශ්වාසය පමණක් නොව වැඩකිරීමේ හැකියාව ද පුළුල් වෙයි. වත්මන් ජනාධිපතිවරයා ග්‍රාමීය ජනතාවගේ විශ්වාසය දිනාගත් ජාතික නායකයෙකි. අගමැතිවරයා දීර්ඝ කාලයක පටන් ගැමි ජන-මනස තුළ ජීවත් වන ජනප්‍රිය නායකයෙකි. මේ දෙදෙනාම ගමින්-ගමට යෑම ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රවල මහත් ප්‍රබෝධයක් ඇති වීමට හේතුවක් වනු ඇත.

හම්බන්තොට ප්‍රදේශයට වරායක් හෝ ගුවන් තොටුපොළක් හෝ ලබා දෙන්නට අපේ දේශපාලකයන් කිසි දිනෙක කල්පනා කළේ නැත. ඒ පමණක් නොව; හම්බන්තොට පාරවල් හදන්නට හෝ කිසිවකු උනන්දු වූයේ නැත. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, දිස්ත්‍රික්කයේ මහාමාර්ග දියුණුව මුළුමනින්ම මහින්ද රාජපක්ෂ නම් දේශපාලන නායකයාගේ වැඩසටහනකි. දුෂ්කරම පළාත් සංවර්ධනය කිරීමේ වුවමනාව රාජපක්ෂ දේශපාලනය තුළ තිබේ. එය මහජනයා පිළිගත් කාරණයක් සේ සැලැකිය හැකිය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආර්ථික දැක්ම තුළ ද ගමට සුවිශේෂී ස්ථානයක් ලැබේ. ඒ අනුව නායකයන් දෙදෙනාගේ ආර්ථික චින්තනයන් අතර සමපාතී බවක් තිබේ.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දියුණු කළ හැක්කේ රට තුළ ඇති ගම්මාන තිස්දහස සංවර්ධනය කිරීමෙන් යැයි විශේෂඥ මතයක් පවතී. එය සත්‍යයකි. රටේ ජනගහනයෙන් 70%කට වැඩි පිරිස ග්‍රාමීය අංශය නියෝජනය කරති. ඉඩම් ඇතුළු වෙනත් සම්පත්වලින් 75%ක් පමණ ඇත්තේ ද ග්‍රාමීය අංශය තුළය. මේ අනුව ගම හා ගැමියා දියුණු කිරීම රාජ්‍ය නායකයන්ගේ වගකීම වෙයි. ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද මේ යථාව හොඳින් වටහාගෙන ඇති බව පෙනෙයි.

නව අදහස දක්වන්න