2011 ලෝක කුසලානය පාවා දුන් බවට සාක්ෂි නෑ | දිනමිණ

2011 ලෝක කුසලානය පාවා දුන් බවට සාක්ෂි නෑ

ෆවුස් මොහොමඩ්

විමර්ශන කටයුතු අවසන් කරයි

වසර 2011 එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදුන් බවට නැඟුණු චෝදනාව තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බව තහවුරු වීම නිසා ඒ සම්බන්ධව සිදු කළ විමර්ශනය අවසන් කිරීමට ක්‍රීඩා වැරැදි වැළැක්වීම පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය ඊයේ (3)තීරණය කළේය.

දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද දැඩි ආන්දෝලනයකට තුඩු දුන් මේ සිදු වීම සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කළ ක්‍රීඩා වැරැදි වැළැක්වීම පිළිබඳ විශේෂ පොලිස් විමර්ශන ඒකකය එවකට සිටි ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා, එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ කුමාර් සංගක්කාර සහ ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ උපුල් තරංග මහත්වරුන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි. මේ සඳහා ඊයේ (3) මහේල ජයවර්ධන මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබුණද, පසුව එය කල් දමනු ලැබීය. 

වසර 2011 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාවට පාවා දුන් බවට එවකට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කරන ලද චෝදනාව සම්බන්ධව එම විමර්ශන කටයුතු සිදු කෙරුණු අතර, කරුණු 14ක් ඇතුළත් පැමිණිල්ලක් අලුත්ගමගේ මහතා විශේෂ විමර්ශන ඒකකයට බාර දී තිබිණි. කෙසේ වුවත් ක්‍රීඩකයන්ගෙන් මෙතෙක් ලබාගත් ප්‍රකාශ මගින් එම කරුණු තහවුරු කිරීමට හැකියාවක් නොමැති බැවින් සහ අවසන් මහා තරගයේදී ක්‍රීඩකයන් මාරු කිරීම සම්බන්ධයෙන් ද මෙතෙක් ලබා දුන් ප්‍රකාශ තුළින් සාධාරණ හේතු ඉස්මතු වී ඇති බැවින් විමර්ශන ඒකකයේ සියලුම නිලධාරින් එක්ව ඊයේ පෙරවරුවේ සිදු කළ සාකච්ඡාවකින් පසු මේ තීරණය ගෙන ඇත.

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා අධ්‍යක්ෂධුරය හොබවන ක්‍රීඩා වැරැදි වැළැක්වීම පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය සිය තීරණය වැඩබලන පොලිස්පතිවරයාට යොමු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ඊයේ ප්‍රකාශ කළේය.

“මෙම සිදුවීමට අදාළව එවකට තේරීම් කමිටුවේ සභාපතිවරයාව සිටි අරවින්ද ද සිල්වා මහතාගෙනුත්, එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාව සිටි කුමාර් සංගක්කාර මහතාගෙනුත්, එම තරගාවලියට සහභාගි වූ ප්‍රවීණ ක්‍රීඩකයකු වශයෙන් උපුල් තරංග මහතාගෙනුත් ප්‍රකාශ සටහන් කර තිබෙනවා. ඊට අමතරව ලේඛන ගණනාවක් පරීක්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා. මේ සියලු විමර්ශන සහ සාක්ෂි අනුව තවදුරටත් එවැනි තරග පාවාදීමක් ගැන කරුණු අනාවරණය වී නැහැ. ඒ අනුව ක්‍රීඩා විමර්ශන ඒකකය විසින් තීරණය කර තිබෙනවා මේ විමර්ශනය අවසන් කිරීමට. ඒ සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පතිවරයා වෙත අද දින (3) ක්‍රීඩා විමර්ශන ඒකකය විසින් වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදෙස් මත පැවැති මේ විමර්ශනයේ අවසන් වාර්තාව විශේෂ පොලිස් විමර්ශන ඒකකය විසින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට බාරදීමට නියමිතව තිබිණ. කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතාගෙන් ‘දිනමිණ’ කළ විමසුමකදී ඒ මහතා කියා සිටියේ එවැනි වාර්තාවක් තමාට මෙතෙක් නොලැබුණු බවකි. එම වාර්තාව ලැබීමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන බව රුවන්චන්ද්‍ර මහතා වැඩි දුරටත් කීවේය.

නව අදහස දක්වන්න