එල්පීඑල් තරගවල වෙනසක් | දිනමිණ

එල්පීඑල් තරගවල වෙනසක්

කොරෝනා වසංගතය හමුවේ වසා දැමූ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විදේශිකයන් සඳහා යළි විවෘත කිරීම තව දුරටත් ප්‍රමාද කිරීමට රජය තීරණය කිරීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 තරගාවලියේ තරග සංඛ්‍යාව සම්බන්ධයෙන් සලකා බැලීමට සිදු වන බව ක්‍රිකට් ආයතනය කියයි.

කෙසේ වෙතත් මේ තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා පවසයි.

ලබන මස 8 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වෙන එල්පීඑල් තරගාවලිය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය හිමි වූ අතර, විදෙස් ක්‍රීඩකයන් රැසක්ද තරගාවලියට එක්වීමට කැමැත්ත පළ කර ඇති බවට වාර්තා පළ විය.

කෙසේ වෙතත්, මේ වන විට ගුවන් තොටුපොළ විවෘත කිරීම ප්‍රමාද කිරීමට ගෙන ඇති තීරණයත් සමඟ ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරෝතු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට පවසා තිබේ.

“අප බලාපොරොත්තු වෙනවා තීරණයකට එන්න පුළුවන්ද කියල බලන්න ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන්න. කලාපයේ අනෙකුත් රටවලට වඩා ශ්‍රී ලංකාව කොරෝනා වයිරසය පාලනය සඳහා ඉතා හොඳින් කටයුතු කර ඇති අතර, එම නිසා තරගාවලියට සහභාගී වීමට විදේශීය ක්‍රීඩකයන්ගෙන් විශාල උනන්දුවක් ඇති වී තිබෙනවා.” ඇෂ්ලි ද සිල්වා මහතා කියයි.

තරගාවලියට කණ්ඩායම් 5ක් වන අතර, එක් සංචිතයකට විදෙස් ක්‍රීඩකයන් 6 දෙනෙකු ඇතුළත් කළ හැකිය. එක් තරගයකට කණ්ඩායමක් වෙනුවෙන් ක්‍රීඩා කළ හැක්කේ විදෙස් ක්‍රීඩකයන් 4 දෙනෙකුට පමණි. වෙන්දේසි ක්‍රියාවලියක් මඟින් කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම සිදු කෙරේ.

මේ තරගාවලියේ තරග ප්‍රමාණය ගැන තීරණය කිරීමට විදේශිකයන්ට ගුවන් තොටුපල විවෘත කිරීම මෙන්ම, අගෝස්තු මාසයේදී ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ තීරණයත් බලපානු ඇත.

ඉන්දීය කණ්ඩායම එක්දින සහ 20යි 20 තරගාවලි දෙකක් ක්‍රීඩා කිරීම සදහා මෙරටට පැමිණීමට නියමිතව තිබූ අතර, කොරෝනා වසංගතය හේතුවෙන් එය අවලංගු කෙරිණි. එහෙත් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයක් සඳහා එකඟ වුව හොත් මේ තරගාවලියෙන් අනතුරුව එම තරග පැවැත්වෙන බැවින් එල්පීඑල් තරගාවලිය කෙටි වනු ඇතැයි සිල්වා මහතා කියයි.

“මේ මොහොතේ අප බලන්නෙ එල්පීඑල් තරගාවලිය යටතේ තරග 23ක් පවත්වන්න. ඒත් ඉන්දියාව මෙරට තරග සංචාරයට එකඟ වුණොත් තරග සංඛ්‍යාව 13ක් දක්වා අඩු කරන්න වෙනවා.”

නව අදහස දක්වන්න