එදා විපක්ෂය ජාතිවාදය නිර්මාණය කර මහින්ද රාජපක්ෂ පරාජය කළා | දිනමිණ

එදා විපක්ෂය ජාතිවාදය නිර්මාණය කර මහින්ද රාජපක්ෂ පරාජය කළා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක, ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

එදා විපක්ෂය ජාත්‍යන්තර කුමන්ත්‍රණවලින් ජාතිවාදය නිර්මාණය කර 2015 දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කළ බව කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක, ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණයට සහාය දීමට කුරුණෑගල දිස්ත්‍රික් මුස්ලිම් සංසදය සංවිධාන කර තිබූ උත්සවයක් අමතමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

2011 දී මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව අමෙරිකාවෙන් අපේ රටේ තිබුණු සිවිල් යුද්ධය සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කළා. මහින්ද මහතාට අත තියන්න එපා කියලා මුලින්ම අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරියට ගිහින් උද්ඝෝෂණය කළේ මුස්ලිම් ජනතාව. එදා තමයි විපක්ෂය ජාත්‍යන්තර කුමන්ත්‍රණ ආධාරයෙන් ජාතිවාදය නිර්මාණය කළේ.

එක්සත් ජාතික පක්ෂය දන්නවා බහුතරයක් මුස්ලිම් ජනතාව ඒ අයට පක්ෂපාතී බව. මමත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු කෙනෙක්. එදා අපි මුස්ලිම් ජනතාව අතරට ගිහින් කිව්වේ ඔබගේ පල්ලියේ කොඩිය කොළ පාටයි. එක්සත් ජාතික පක්ෂයත් කොළ පාටයි. අන්න ඒ නිසා ඔක්කොම අලියට ඡන්දය දෙන්න කියලා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා පසුකාලීනව බහුතරයක් මුස්ලිම් ජනතාවගේ ගෞරවය සහ හොඳ හිත දිනා ගත්තා. ඒ හේතුව නිසා ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන් දැන ගත්තා එක්කෝ මුස්ලිම් ඡන්ද කඩන්න ඕනෙ, එහෙම නැත්නම් බෞද්ධ ඡන්ද කඩන්න ඕනෙ කියලා. එහෙම නැතුව මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වැළැක්වීමට නොහැකි බව ඔවුන් තේරුම් ගත්තා. මේ කුමන්ත්‍රණයට අපේ ජනතාව හසු වුණා.

2015 දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කර ගෙදර යැව්වා. නමුත් පසු කාලීනව ජනතාව තේරුම් ගත්තා ඔවුන් එදා ගත් තීරණය වැරැදි බව. එම නිසා පසුගිය ජනාධිපතිවරණයේ දී ඔවුන් එම තීරණය නිවැරැදි කළා. මහින්ද රාජපක්ෂ මහතාට කෘතගුණ සැලකීමක් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති කළා. නැවතත් විපක්ෂය මහින්ද රාජපක්ෂ මහතා දෙස ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් සහ වෛරයෙන් බලනවා. මල්ලි ජනාධිපති, අයියා අගමැති කියලා මේ දෙන්නාට මඩ ගහනවා. අපේ රටට මෙවැනි අයියා මලෝ සුසංයෝගයක් ලැබුණේ වාසනාවකට. එක්සත් ජාතික පක්ෂය බලාගෙන හිටියේ කොරෝනා වසංගතය නිසා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් බහුතරයක් මිය යයි කියලා. එතකොට ඔවුන්ට පුළුවන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට විරුද්ධව කුමන්ත්‍රණය කරන්න. ඔහුගේ පාලනය විවේචනය කරන්න. නමුත් අපේ ජනාධිපතිවරයා උපක්‍රමශීලිව සියලු දෙනා දෙනාගේම සහයෝගය ඇතිව මේ වසංගතයෙන් අපේ රට ආරක්ෂා කළා. මේ රාජපක්ෂ පවුල නොහිටින්න ඔබටත්, මටත් ජීවත් වෙන්න රටක් ඉතුරු වෙන්නේ නෑ. එදා සේනාධි නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා නිවැරැදි තීන්දුව නොගත්තේ නම් අදටත් අපි ප්‍රභාකරන්ගේ වහල්ලු. මේ රාජපක්ෂ පවුල කියන්නේ අපේ රට ආරක්ෂා කරන මුර දේවතාවන් බඳු පවුලක්.

නව අදහස දක්වන්න