පාසල් දරුවන්ට විකුණන්න ගෙනා ‘පැණි පුවක්’ මාතලේ කඩවල | දිනමිණ

පාසල් දරුවන්ට විකුණන්න ගෙනා ‘පැණි පුවක්’ මාතලේ කඩවල

පසුගිය සමයේ මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් අතර ඉතා වේගයෙන් පැතිර ගිය පැණි පුවක් විශේෂයක් පාසල් ආරම්භ කිරීමෙන් පසු පාසල් දරුවන්ට ලබාදීමේ අරමුණින් ගබඩා කර ඇතැයි මව්පියෝ චෝදනා කරති.

නිසි අනුමැතියක් යටතේ යැයි සඳහන් කරමින් අලෙවි වන මෙම පැණි පුවක් විශේෂයේ එක් පැකැට්ටුවක් රුපියල් දහයක් වන බවත් දරුවන් මේවාට මුදල් වැයකරමින් රැගෙන යන බවත් මව්පියෝ කියා සිටිති.

ඔවුන් නිතර ආහාරයට ගන්නා මෙම පැණි පුවක් වි‍ශේෂ පිළිබඳව කළ සොයා බැලීමේ දී නාඋල නගරයේ පමණක් මෙම පැනි පුවක් පැකට් දිනකට පන්දහසක් පමණ අලෙවි වන බව අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු පැණි පුවක් අලවිකරන නාඋල වෙළෙඳසල් හිමියකු කියා සිටියේ සති පතා පැමිණෙන මෙම පැණි පුවක් පැකට් තමන් පමණක් 3000-3500 පමණ මිලදී ගන්නා බවය.

එක් පැකට්ටුවක් රුපියල් හයක් වැනි මුදලකට ලැබෙන බවත් රුපියල් දහයකට එය අලෙවිකරන බවත් හෙතෙම කියා සිටියේය.

පැණි රස සමග මිශ්‍ර කර ඇති මෙම පුවක් සැපීම සඳහා පාසල් වයසේ දරුවන් ඉතා ප්‍රියකරන බවත් ඒ හේතුවෙන් ඔවුන් ඒවා මිලදී ගන්නා බව ද හෙතෙම කියා සිටියේය.

කුමන ලියාපදිංචියකට යටත් වුවද වසංගතයක් බවට පත්වෙමින් යන පැණි පුවක් සම්බන්ධයෙන් නිසි පරිදි නීතියක් ක්‍රියාත්මක වන්නේ නම් ඕනෑම මොහොතක පැණි පුවක් පැකට් අලවියෙන් ඉවත්වීමට තමන් සූදානම් බවද එම ව්‍යාපාරිකයා කියා සිටියේය.

මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් රැසක් ආසන්නයේ පිහිටි වෙළෙඳසල් තුළ පවතින මෙම පැණි පුවක් විශේෂ සොයා එන පාසල් දරුවන්ගේ සංඛ්‍යාව පසුගිය සමයේ දිනෙන් දින ඉහළ ගිය බව නාඋල සෙසු ව්‍යාපාරිකයෝ ද කියා සිටිති.

මේ වන විටත් නාඋල කලාපයේ පාසල් වල ඇතැම් දරුවන් මෙම පැණි පුවක් පැකට් කිහිපයක් දිනකට ආහාරයට ගැනීමට හුරුවී ඇති බව ද මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළ පිරිස් කියා සිටියහ.

නාඋල සමූහ

 

නව අදහස දක්වන්න