බෞද්ධ පදනම සජිත්ට අමතකයි! | දිනමිණ


 

බෞද්ධ පදනම සජිත්ට අමතකයි!

සමඟි ජන බලවේගය උතුරු - නැ‍ඟෙනහිර ඡන්ද කොල්ලකා ගැනීම සඳහා විවිධ උපායමාර්ග ‍ෙයාදන බව පෙනෙයි. ඔවුන්ගේ ඇතැම් යෝජනා රට බෙදීමට හා ජාතීන් අතර වෛරය ව්‍යාප්ත කිරීමට හේතුවක් වන බව ද පෙනෙයි. රටේ උගත් පරපුර මේ තත්ත්වය විග්‍රහ කොට ජනතාව දැනුම්වත් කිරීම සිදු විය යුතුය. එක්සත් ජාතික පක්ෂය මෙන්ම යහපාලන ආණ්ඩුව ද අන්තවාදය හා බෙදුම්වාදය ශක්තිමත් වන සේ ක්‍රියා කර ඇතැ’යි යන්න ඉතිහාසය විමර්ශනය කරන ඕනෑම කෙනකුට පැහැදිලි වන කාරණයකි. යහපාලන ආණ්ඩුව සංහිඳියාව ඇති කරන්නට වෑයම් කළේ යුද ජයග්‍රහණයේ නියමුවන් වූ රණවිරුවන්ට දඬුවම් දෙමින්ය. යහපාලනයේ දේශපාලන ඉලක්කය එයින් වටහා ගත හැකිය.

සමඟි ජන බලවේගයේ දේශපාලන යෝජනා ගැන අගමැතිවරයාගේ දැඩි අවධානය යොමු වී ඇත. එම යෝජනා ප්‍රතික්ෂේප කරන මහින්ද රාජපක්ෂ මහතා එහි ඇති අනතුර ගැන ද පහදා දෙයි. සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ගිය ජනාධිපතිවරණයේදී ද උතුරු - නැ‍ඟෙනහිරින් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේ ද ව්‍යාජ දේශපාලන පොරොන්දු ගණනාවක් දෙමළ ජනතාව හමුවේ තබමින්ය. ඒ වන විට සමඟි ජන බලවේගයක් තිබුණේ නැත. සජිත් ප්‍රේමදාස මහතාගේ පියා කොටි ත්‍රස්තවාදීන්ට ආයුධ සැපයූ බව ද, මුදල් සැපයූ බව ද, ප්‍රකට කාරණයකි. එයින් දෙමළ ත්‍රස්තවාදයත්, බෙදුම්වාදයත් වඩාත් ශක්තිමත් විය. දැන් පියා කළ දේම වෙනත් විලාසයකින් පුතා කරන්නට යන්නේ දැ’යි සැකයකි.

බෙදුම්වාදයට, අන්තවාදයට හා ත්‍රස්තවාදයට දකුණේ ජනතාවගෙන් 99%ක්ම විරුද්ධය. උතුරේ හා නැ‍ඟෙනහිර ද ප්‍රබුද්ධ ජන කොටස් බෙදුම්වාදයට විරුද්ධ ය. ශ්‍රී ලංකාව කැබැලි කළ හොත්; රටත් - ජාතියත් එයින් ම විනාශ මුඛයට යනු ඇත. ජාතීන් අතර සමඟිය හා සාමදානය ඇති කළ හැක්කේ රට බෙදීමෙන් නොව; සංවර්ධනය සමාන්තර ලෙස සෑම කලාපයකට ම බෙදා දීමෙන්ය. මේ සත්‍යය වටහාගත නොහැකි දේශපාලකයා එක්කෝ පල් මෝඩයෙකි. නැත හොත් ශූර කපටියෙකි. සජිත් ප්‍රේමදාස මහතා මෙයින් කුමන ගණයකට වැටෙන්නේ ද යන්න රටේ ජනතාව තීන්දු කළ යුතුය. ඉදිරි මහ මැතිවරණයේදී ජනතාවට එම තීන්දුව ගත හැකිය.

අගමැතිවරයා සිය ඡන්ද රැස්වීම්වල දී කියාගෙන යන්නේ උතුරේ හා නැ‍ඟෙනහිර ජනතාව තම පක්ෂයට ඡන්දය දුන්නත් - නැතත් තමන්ගේ රජයක් යටතේ එම පළාත්වලට සමාන සංවර්ධනයක් ලබා දෙන බව ය. දකුණට ලබා දෙන සංවර්ධන ප්‍රතිලාභ ඒ අයුරින් ම උතුරට හා නැ‍ඟෙනහිරටත් ලැබිය යුතුය යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ප්‍රතිපත්තිය වී තිබේ. මහින්ද රාජපක්ෂ පාලන තන්ත්‍රය යටතේ උතුරට හා නැ‍ඟෙනහිරට සමාන ලෙස සලකා තිබේ. “නැ‍ඟෙනහිර නවෝදය” හා “උතුරු වසන්තය” යන සංවර්ධන වැඩසටහන් ඊට නිදසුන් ලෙස පවතී. නිදහසින් පසු උතුර හා නැ‍ඟෙනහිර දියුණුව උදෙසා ක්‍රියාත්මක වූ හොඳම වැඩසටහන් දෙක ලෙස ඒවා හැඳින්විය හැකිය.

ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයකි යන මතය හේතු - සාධක සහිතව ගොඩනැඟුණු යථාර්ථවාදී අදහසකි. එය අනාථ කිරීමට ගිය පුද්ගලයන්, ආයතන පමණක් නොව; ජන සමූහ පවා ඉතිහාසය පුරා පරාජයට පත් වූහ. කදිම නිදසුන ගිය වර ජනාධිපතිවරණයයි. බෞද්ධ ඡන්ද පදනම මත පමණක් රාජ්‍ය නායකයා පත් කිරීමට පොදුජනයා සමත් වූහ. ඒ පෙළගැස්ම දේශපාලනික වශයෙන් ඉතා වැදගත්ය. බෞද්ධ දර්ශනය හා බෞද්ධ සංස්කෘතිය තුළ ඇත්තේ අනෙකුත් ජාතීන්ට හා අනෙකුත් ආගම්වලට යුක්තිය හා සාධාරණත්වය ලබා දෙන ප්‍රතිපත්තියකි. මෙය දකුණේ දේශපාලකයන් වඩාත් හොඳින් වටහා ගත යුතුව තිබේ. එහෙත් එක්සත් ජාතික පක්ෂය එය වටහා ගත්තේ නැත. සමඟි ජන බලවේගය ද එය වටහා ගෙන නැත.

සමඟි ජන බලවේගයට හා එහි නායකයාට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති හා දැක්ම හැරෙන්නට වෙනත් අලුත් ද‍ර්ශනයක් ඇති බවක් පෙනෙන්නට නැත. සජිත් ප්‍රේමදාස මහතා රටට ගැළපෙන ආර්ථික දැක්මක් ඉදිරිපත් කර නැත. ඔහු යන - යන තැන දී එක - එක ආර්ථික උපායමාර්ග ගැන කතා කරනු දැක ගත හැකිය. ඔහුගේ එක ප්‍රකාශයකින් තව ප්‍රකාශයක් බිඳී යයි. දේශපාලන කතා තුළ ද ඊට වැඩි දෙයක් නැත. දකුණේදී එකක් කියන සජිත් මහතා උතුරේදී තවත් එකක් කියන බව පෙනෙයි. ඔහු ප්‍රතිපත්තියකට, දැක්මකට අනුව නොව, ඡන්ද ගොඩක් බලාගෙන දේශපාලන කතා කියාගෙන යන බව පැහැදිලිය. ජනතාව මේ දෙස විමර්ශන බුද්ධියෙන් බැලිය යුතුය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම සජිත් ප්‍රේමදාස මහතා ද අනුගමනය කරනුයේ බටහිර නව ලිබරල් දේශපාලන ආර්ථික ප්‍රතිපත්තියයි. ඉන් එහා දැක්මක් හා චින්තනයක් දෙදෙනාට ම නැත. නව ලිබරල්වාදයට ලෝක ගැටලු විසඳීමේ උපාය මාර්ග නැති බව කොරෝනා වසංගතය හොඳ හැටි පැහැදිලි කර දී තිබේ. අමෙරිකාව මෙන්ම යුරෝපය ද කොරෝනා වසංගතය හමුවේ පරාජිත රාජ්‍යයන් බවට පත් වී ඇත. නව ලිබරල්වාදය ලෝකයේ සමාජ - ආර්ථික ගැටලු උත්සන්න කරන්නේ යැයි කීර්තිමත් විචාරකයකු වන නොම් චොම්ස්කි කියා ඇත. මානව හිමිකම් හා බලය බෙදීමේ උපායමාර්ග ඔස්සේ රටවල් කඩා වෙන් කිරීමත් නව ලිබරල්වාදයේ එක් ප්‍රවණතාවකි. සජිත් ප්‍රේමදාස මහතා අනුගමනය කරන්නේ ද එම ප්‍රතිපත්ති මිස අන් දෙයක් නොවේ.

බෙදුම්වාදය කා විසින් කුමන ආකාරයකින් ගෙන එනු ලැබූව ද එය මුළුමනින්ම පරාජයට පත් කළ යුතුය.

නව අදහස දක්වන්න