ක්‍රීඩා සමාජවලට සල්ලි වැස්සක් | දිනමිණ


 

ක්‍රීඩා සමාජවලට සල්ලි වැස්සක්

ප්‍රින්ස් ගුණසේකර

සභාපති කුසලාන පාපන්දු තරගාවලිය

කණ්ඩායම් 20ක තරග 40කට රුපියල් මිලියන 30ක් වැය කරයි

ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩකයන් සොයා ගැනීම හා කොරෝනා උවදුරෙන් ගිලිහී ගිය ක්‍රීඩාශීලීත්වය යළි නගාසිටුවීම අරමුණු කොට ගෙන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සභාපති කුසලාන පාපන්දු තරගාවලිය නමින් නව පාපන්දු තරගාවලියක් හඳුන්වා දෙයි.

පාපන්දු ඉතිහාසයේ ක්‍රීඩා සමාජයකට හිමිවන විශාල මුදල් කන්දරාවක් සමග මෙම සභාපති කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීම විශේෂත්වයකි. ප්‍රබලතම කණ්ඩායම් 20ක් අතර පැවැත්වන අතර, සෑම කණ්ඩායමකටම රුපියල් ලක්ෂය බැගින් හිමි වේ. ආරාධිත පාපන්දු තරගාවලියේ පළමු වටය කණ්ඩායම් 5 බැගින් කාණ්ඩ 4ක් යටතේ ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර, එම වටයේදී කණ්ඩායමකට රුපියල් ලක්ෂ 8ක් පිරිනැමෙයි.

දෙවැනි වටයට එම කාණ්ඩ 4න් ඉදිරියෙන් සිටින කණ්ඩායම් 2 බැගින් තෝරා ගන්නා අතර, එහිදී කණ්ඩායමකට ලක්ෂ දෙක බැගින් පිරිනමා පිළිමලුන් පිටු දැකීමේ ක්‍රමයට තරග පැවැත්වේ. එම තරග වටයෙන් අවසන් පූර්ව වටයට තෝරා ගන්නා කණ්ඩායම් 2කට ලක්ෂ 2.5ක් හා අවසන් මහා තරගයට සහභාගීවන කණ්ඩායම් දෙකට තවත් රුපියල් ලක්ෂ 5ක් පිරිනැමීමට කටයුතු යොදා ඇත. මේ තත්ත්වය අනුව කණ්ඩායමකට රුපියල් ලක්ෂ 20ක පමණ ආදායමක් හිමි වන බව තරගාවලි කමිටු සභාපති සහරාන් සිංහවංශ මහතා ‘දිනමිණ‘ ට පැවැසීය.

ප්‍රබලතම කණ්ඩායම් 20ක් අතර පැවැත්වන මෙම ආරාධිත පාපන්දු තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය රුපියල් මිලියන 30ක් වැය කිරීමට අපේක්ෂා කරයි. මේ මස 26 වැනිදා තරගාවලිය ආරම්භවන අතර, මාසයක් තුල තරග 40ක් පවත්වා අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. මෙම සියලු තරග කොළඹ සුගතදාස හා රීඩ් මාවත තුරඟ තරග ක්‍රීඩාංගණවලදී පමණක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් සියලු කණ්ඩායම් කොළඹට පැමිණිය යුතු අතර ක්‍රීඩාංගණයේ දොරටු වසා දමා තරගාවලිය පැවැත්වේ. කිසිදු හේතුවක් නිසා මාධ්‍යයට හැර වෙනත් කිසිදු අයකුට තරග පැවැත්වෙද්දී ක්‍රීඩාංගණවලට ඇතුළුවීම තහනම් කොට ඇත. මෙම සියලු තරග ජාතික පාපන්දු පිලේ නව විදෙස් පාපන්දු පුහුණුකරු අමීර් ඇලජික් මහතා හා පාපන්දු තේරීම් කමිටු සාමාජිකයෝ නරඹනු ඇතැයි පැවැසේ.

මෙම තරගාවලියට පෙලිකන්ස්, නිගම්බු යූත් හා අනුරාධපුර සොලිඩ් යන ක්‍රීඩා සමාජ එක් නොවන අතර, ඒ වෙනුවට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, මොරගස්මුල්ල හා නිව් ස්ටාර් යන ක්‍රීඩා සමාජ එක්ව සිටිති. එමෙන්ම පසුගිය චැම්පියන්ස් ලීග් තරගාවලියේදී තහනමකට ලක්වූ කළුතර සුපර් සන් ක්‍රීඩා සමාජයටද මෙම තරගාවලියේ අවස්ථාව හිමිව තිබේ. පසුගිය වසරේ ප්‍රීමියර් ලීග් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා පොලිස් පාපන්දු පිල හා සෙරන්ඩිබ් කණ්ඩායම් දෙකට ද අවස්ථාව හිමිව තිබේ.

සභාපති කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වන කණ්ඩායම් මෙසේය: යුද හමුදාව, කොළඹ පාපන්දු සමාජය, කළුතර බ්ලූ ස්ටාර්, නාවික හමුදාව, රිනවුන්, රත්නම්, අප් කන්ට්‍රී ලයන්ස්, ගුවන් හමුදාව, රෙඩ් ස්ටාර්, වෙන්නප්පුව නිව් යංග්ස්, මාතර සිටි, ජාවාලේන්, සෝන්ඩර්ස්, ශ්‍රී ලංකා පොලිසිය, සෙරන්ඩිබ්, ක්‍රිස්ටල් පැලස්, සුපර් සන්, නිව්ස්ටාර්, ශ්‍රී ලංගම, මොරගස්මුල්ල.

නව අදහස දක්වන්න