යහපාලනයෙන් ජනතා බලාපොරොත්තු ඉටු කරන්න බැරි වුණා | දිනමිණ


 

යහපාලනයෙන් ජනතා බලාපොරොත්තු ඉටු කරන්න බැරි වුණා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමට අවශ්‍ය උගත්, බුද්ධිමත් කණ්ඩායමක් තෝරා ගැනීමේ පූර්ණ අයිතිය ජනතාව සතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ දිස්ත්‍රක් පාර්ලිමේන්තු අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී පසුගිය 04 දා පැවති කොළඹ දිස්ත්‍රික් වෘත්තියවේදීන්ගේ හමුවට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය.

පසුගිය ජනාධිපතිවරණයේ දී සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය දේශපාලන විපර්යාසයක් වුණා. ඒ පිරිහුණු දේශපාලනයේ දේශපාලඥයකු නොවන ගෝඨාභය රාජපක්ෂ මහතා තෝරගන්න ජනතාව කටයුතු කළා. එය මෙරට ජනතාව ලද ජයග්‍රහණයක් කියලා අප පිළිගත යුතුයි. ශ්‍රී ලංකා දේශපාලනයේ විවිධ දේශපාලන භුමිකා ඉටු කරන්න සිදු වුණ වකවානු මට තිබුණා. රැල්ලට යන දේශපාලනයෙන් ඔබ්බට යමින් රැල්ලට විරුද්ධව කටයුතු කරන එක අපහසු වුවත්, ඒ සියලු ආණ්ඩු තුළ මට ගැටුම් ඇතිකර ගන්න සිදු වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්කත් මම ගැටුම් ඇති කරගත්තා. ඒ මගේ කෝප් වාර්තාවේ දූෂිතයෝ ආණ්ඩුවට ගන්න එපා කිව්වම, ඒ අනතුරු ඇඟවීම නොතකා කටයුතු කිරීම නිසා මට එළියට යන්න සිදු වුණා. අවසානයේ එම අයගේ ක්‍රියාකලාපය නිසාම ජනතාව එම ආණ්ඩුවට දඩුවම් කළා.

ඒ වාගේම අපි යහපාලන ආණ්ඩුවක් හදලා කල්පනා කළා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට වැඩිය හොඳ කල්ක්‍රියාවෙන් යුතු, ජනතාවට වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක් හදන්න. හැබැයි ඒ ආණ්ඩුව හදලා දෙවැනි සතියේ ඉඳලා අගමැතිවරයාගේ පළවෙනි කැබිනට් පත්‍රිකාව වූ අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවට පත්කරන කැබිනට් පත්‍රිකාවේ සිට, මට ලොකු යුද්ධයක් කරන්න සිද්ධ වුණා. ඒ වගේ ම දේශපාලන දඩයම් නතර කිරීමට වෙහෙසක් ගත්තා. රටේ ජාතික සමඟිය ආරක්ෂා වන අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරන්න උත්සාහ ගත්තත්, අවස්ථාවදී දේශාපාලනය නිසා එය ඉතා අසීරු කාර්යයක් බවට පත් වුණා. නීති කේෂ්ත්‍රයේ සුවිශේෂ වෙනස්කම් ප්‍රමාණයක් මට කරන්න පුළුවන් වුණා. එහෙත් එසේ ආරම්භ කරන්න තිබුණ කටයුතු අවසාන මොහොතේ එදා අගමැති කාර්යාලයෙන් පැමිණි ඒ ලිපිගොනුව ගෙන ගියාට පස්සේ, එම ව්‍යාපෘතිය නතර වුණා. ඒ අණ්ඩුවේ මට එරෙහිව ක්‍රියාත්මක වුණ විරෝධතා හේතුවෙන් මම දේශපාලනයෙන් සමුගන්න අවසන් තීරණය ගෙන තිබුණත්, අවසානයේ අපට අනාගතය පිළිබඳ සුබදායකව බලන්න පුළුවන්, නායකත්වයක් මතුවෙන කොට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මා නැවත දේශපාලන කටයුතුවලට ඉදිරිපත් වුණා. මම හිතනවා අපට මේ ලැබී තියෙන්නේ අවසාන අවස්ථාව වෙන්න පුළුවන් කියා. මේ රටට අවශ්‍ය සංවර්ධන කටයුතු මේ අවස්ථාවේ කරගත්තේ නැත්තම්, අපේ අනාගත දරු පරම්පාරව පිළිබඳ සුබවාදීව බලන්න බැරි වේවි. ඒ මහතාට හොඳ දර්ශනයක්, ජාතික සමඟිය ඇති කරන්න ලොකු වුවමනාවක්, කැපවීමක් තිබෙන අතර අධ්‍යාපනය, සෞඛ්‍ය දියුණු කරන්න ලොකු වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සුදුසු කණ්ඩායම තෝරා ගැනීම ජනතාව සතුයි.

චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න