විපක්ෂය කොමඩි රඟහලක් | දිනමිණ

විපක්ෂය කොමඩි රඟහලක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ,කළුතර දිස්ත්‍රික් අපේක්ෂක
හිටපු පරිසර රාජ්‍ය අමැති ජයන්ත සමරවීර

මැතිවරණ උණුසුම දිනෙන් දින වැඩි වෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හා සන්ධානගත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද සුදානම විස්තර කළොත්?

ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතාට නොවැම්බර් 16 ලබාදුන් අති විශාල ජනවරමට එතුමා කොරෝනා වසංගත අවධියේම සාධාරණය ඉෂ්ට කළා. එම ජනවරම වටා තව තවත් ජනතාව ඒකරාශි වෙනවා මිසක ඉන් ඉවත් වෙලා නෑ. කොරෝනා වසංගත කාලයේදි ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි කාර්ය ශුර, විනයගරුක, දුර දැක්මක් සහිත, නායකයෙක් නොසිටින්න අපේ රටේ තත්ත්වය ඛේදනීයව අවසන් වීමට අවස්ථාව තිබුණා. ඒ බව අද මේ රටේ ජනතාව දන්නවා. එතුමාගේ බුද්ධිමත් කළමනාකාරීත්වය නොතිබෙන්න අපේ රට අමෙරිකාව පරයන කොරෝනා තත්ත්වයකට මුහුණ දෙන්න ඉඩ තිබුණු බව රහසක් නොවෙයි.

එම නිසා එදා ජයග්‍රහණයට දායක නොවුණු පිරිස් විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ දියුණු පිරිස්, හදවතක් තිබෙන මිනිසුන්, ඔළුවක් තිබෙන පිරිස්, රාජපක්ෂ මහතාට ගෞරවයක් දක්වන පිරිස් එතුමා සමග රොක් වෙලා ඉන්නවා. එනිසා අපිට විශ්වාසයි එළඹෙන ජන්දයේදි ඒ අයගේ හෘද සාක්ෂිය ප්‍රකාශයට පත් වෙනවා. දෙමළ බෙදුම් වාදයේ කේවල් කිරීමට ලක් නොවන, යටත් විජිත වාදින්ගේ මතයට යටත් නොවන, මුස්ලිම් අන්තවාදි කේවල් කිරීමට යටත් නොවන, ඒ වගේම බටහිර එන් ජි ඕ මුදල් හදල්වලින් නොරැවටෙන ජාතික හැඟීමෙන් යුතු ජනතාව භාවිතා කරන ජන්දයෙන් තුනෙන් දෙකක් සහිත බලවත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන්න අපිට හැකිවෙනවා.

කළුතරින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් මන්ත්‍රිධුර අටක් ලබා ගැනීම අපේ වෑයමයි. මන්ත්‍රී ධුර හතක් ඒකාන්තයෙන් ම ලැබෙනවා. එහිදි විජාතික බලවේගවල වුවමනාවන්ට සැකසුණු, දහනම වතාවක් එම බලවේගවලට යටත්ව සංශෝධනය කරන ලද 1978 සම්පාදිත ව්‍යවස්ථාව අහෝසි කරලා, ජාතික සංවර්ධනයට දිරිදෙන අපේ හර පද්ධතීන් නැවතත් මුර්තිමත් කරන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජාතික ආර්ථිකයට පණදෙන නව ව්‍යවස්ථාවක් ගොඩනැඟීමේ බලය ජනාධිපතිතුමාට ලැබෙනවා.

ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න බලා සිටින ආණ්ඩුව කොරෝනාවලට මුහුණ දුන් ආකාරය අසාර්ථක බවයි විපක්ෂය චෝදනා කරනනේ.?

විපක්ෂය එලෙස ආණ්ඩුවට චෝදනා කරන්න පෙර, මීතොටමුල්ලේ ජනතාවට සහන දිය යුතුයි. සාලාව අවි ගබඩාවෙන් විනාශ වු මිනිසුන්ට සහන දෙන්න විපක්ෂය හිතුවේවත් නෑ. සාමසර කන්දේ විපතින් විනාශ වු ජනතාවට සහන දුන්නානම් විපක්ෂයට රෙදි ඇදගෙන කොරෝනා ගැන කතා කරන්න පුළුවන්ද? විපක්ෂයේ නන්දෙඩවිලි ඇරෙන්න ගතයුත්තක් නැහැ. විපක්ෂයේ සජිත් මහතාට තමන් තරග කරන ජන්ද ලකුණවත් මතක නැහැ. එහෙව් එකේ රටේ ජනතාව ගැන මතක තියෙයිද? අද විපක්ෂය රටට විහිළු සපයන කොමඩි රඟහලක් වෙලා.

ආණ්ඩුව බහුතරය ඉල්ලන්නේ ජනතා සහන දෙන්න නොවෙයි, වෙනත් අරමුණු මුදුන්පත් කරගන්න බවයි විපක්ෂය චෝදනා කරන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට නාමයෝජනා බාරදෙනකොට විපක්ෂය ජනතාවට මොකද කිව්වේ, අමෙරිකන් ජාතිකයෙක් මැතිවරණයට ඉදිරිපත් වෙනවා කිව්වා. අධිකරණයට ගිහිල්ලා කිව්වා අමෙරිකානු පුරවැසියෙක් කියලා. ඔබ ජන්දය දෙන්නේ අමෙරිකන් පුරවැසියකුට කියල. ජනතාව ඉදිරියේ ගොතපු කතා හිස් ප්‍රලාප බවට පත්වුණා. දැන් රටට අවශ්‍ය ජාතික සංවර්ධනයකට, නිදහස් රාජ්‍යයකට ඔබින, ජාතියේ සමාජ හර පද්ධතීන් අගයන, සංස්කෘතියට, සියලු ආගම් ජාතීන්ට පිළිගත හැකි බලවත් නව ව්‍යවස්ථාවක් හදන්න අඩිතාලම දමනකොටත් එදා වගේම කොලොප්පම් කතා කියනවා.

රනිල්ලා, සජිත්ලා, චම්පිකලා, අනුරලා, රාජිතලා ජනතාවට විහිළු සපයමින් ඉන්නවා. විපක්ෂයට එල්ල වන දෛවයේ සරදම, ඛේදවාචකය කොතරම්ද කියනව නම්, ජනපතිවරණයේදි අමෙරිකන් පුරවැසියා කියලා ජනාධිපතිතුමාට ගරහපු විපක්ෂයේ සජිත‍්ලා අද එතුමා සමග ආණ්ඩු කරන්න ජනතාවගෙන් ඡන්දය ඉල්ලනවා. ජනාධිපතිවරණයේදි ජනතාවගේ ඇඟිල්ලේ ගාපු තීන්ත වේ‍ෙළන්න කලින් විපක්ෂය ඔවුන්ගේ ස්ථාවරය වෙනස් කරනවා. මේකද විපක්ෂයේ ප්‍රතිපත්තිය. විපක්ෂය කිඹුල් කඳුළු හෙළනවා, රාජිත මහතාගේ කිඹුල් කෝලම ජනතාවට තවම මතකයි. කිඹුල් කෝලමක් ගෙනාවෙත් ජනාධිපතිතුමාට ගරහන්නයි.

ඔබ මාධ්‍ය මගින් ස්වාධීන කොමිෂන් විවේචනය කර තිබුණා. මැතිවරණ කොමිසමට විවිධ පාර්ශ්ව එල්ල කරන චෝදනා සාධාරණද?

මේවා ස්වාධීන කොමිෂන්ද? ස්වාධීන කියන වචනය පවා කෙ‍ෙලසා තිබෙන බවයි අපට වැටහෙන්නේ. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව ගැන මහා බලාපොරොත්තුවක් ජනතාව තියාගෙන හිටියා. කොමිසමේ සාමාජිකයෙක් කියනවා පොහොට්ටුවට ජන්දේ දෙන්න එපා කියලා. එහෙම කියන කොට එම ස්වාධීන කොමිෂන් සභාව පත් කළ ව්‍යවස්ථා දායකයේ සභාපති තිත්ත කසාය බීපු ගොළුවා වගේ ඉන්නවා. කොමිෂමේ සභාපතින් ගොළුවා වගේ ඉන්නවා. සුද්දගේ දේශපාලනය කරන මේ කොමිෂන් පක්ෂපාති බව පැහැදිලියි. අපක්ෂපාති ජනතා පරමාධිපත්‍ය සුරකින ඇත්ත කොමිෂන් සභා මේ රටේ ස්ථාපිත කළ යුතුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ලබන නොවැම්බර් වනවිට අපි ස්වාධීන කොමිෂන්වලට ඒ ගෞරවය දෙන්න කටයුතු කරනවා.

ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනයේ දි රජයේ කාර්යභාරය අතිමහත්. පසුගිය ආණ්ඩුව දැවැන්ත ව්‍යාපෘති රටට හඳුන්වා දි තිබෙනවා. නමුත් මුලික පහසුකමක් වන නිවාස ප්‍රශ්නය වත් නිසි පරිදි විසඳා නැති බවයි සංඛ්‍යා දත්ත පෙන්නුම්කරන්නේ?

අපේ රටේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා අති විශාල වැඩ කොටසක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සමයේ කරමින් ආවා. නාගරිකව තනි තනි නිවාස හදනවා වෙනුවට තට්ටු නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළා. නාගරිකව පවතින සිමිත ඉඩම් ප්‍රශ්නයට මෙය විසදුමක්. ‘’ජන සෙවණ’’ නිවාස දස ලක්ෂයේ වැඩ සටහන යටතේ මේවා ඉදිකරන්න කටයුතු කළා.’’සහස්පුර නිවාස යෝජනා ක්‍රමය’’ ඒ යටතේ ආරම්භ කළා.

ඉඩම තිබෙන නමුත් එම ඉඩම් ඔප්පුවට බැංකු ණයක් ගන්න බැරි ගම්බද ජනතාවට නිවාස තනන්න ණය යෝජනා ක්‍රමයක්ද හිටපු ජනපති රාජපක්ෂ මහතා ආරම්භ කළා. නමුත් යහපාලන ආණ්ඩුව පත්ව සජිත් ප්‍රේමදාස නිවාස අමාත්‍ය ධුරය බාරගත් අවස්ථාවේ සිට එම විද්‍යාත්මක නිවාස යෝජනා ක්‍රමය සම්පූර්ණයෙන් නතර කළා. සජිත් මහතා පත්වූ වහාම අලි මංකඩවල, වැව් තාවුල්ලාවල පමණක් නොව පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් අනුරාධපුරයේ විජිතපුර පවා ඉඩම් ලබාගෙන නිවාස යෝජනා ක්‍රම හදන්න පිඹුරු පත් සැකසුවා.

මේ නිවාස ව්‍යාපෘති හුදු දේශපාලන ප්‍රචාරණයක් පමණයි. හම්බන්තොට ගෙවල් විසිපහක් හදනකොට, යාපනයේ කරෙයි නගර්වල පොස්ටර් ගහනවා. රුපියල් ලක්ෂ හැත්තෑපහයි. එක නිවසකට ණය දෙන්නේ රුපියල් ලක්ෂ තුන ගණනේ. ගෙවල් විසිපහක් විවෘත කරන උත්සවයට ලක්ෂ එකසිය විසි පහක් වියදම් කරනවා. මේ තමයි නිවාස වැඩ පිළිවෙළ ඔළුවෙන් සිටුවිම. නිවාස වැඩ පිළිවෙළ කොතරම් ඔළුවෙන් හිටෙව්වද කිව්වොත් සජිත් ප්‍රේමදාස මහතාට හම්බන්තොටින් ජන්දය ඉල්ලන්න වත් බැරි වුණා. හැමදාම හම්බන්තොටින් ජන්දේ ඉල්ලපු සජිත් 2015 පසුව කොළඹට ආවා. මොකද හම්බන්තොටින් ජන්දය ඉල්ලුවානම් මනාපය වෙනුවට අමනාපයේ පොලු පහර ලැබෙනවා.

එම හුදු ප්‍රචාරණ නිවාස යෝජනා ක්‍රම වෙනුවට විද්‍යාත්මක නිවා වැඩ පිළිවෙළක් වත්මන් ජනපතිතුමා ආරම්භ කරනවා. එහි එක් පියවරක් ලෙස එක ගමකට එක ගෙයක් වැඩ සටහන යටතේ නිවාස දාහතර දහසක් ඉදිකර තිබෙනවා. ජනතා අයිතියට පැවරිම පමණයි කළ යුතුව තිබෙන්නේ. මැතිවරණ නිති අනුව එය කරනවා. ජනාධිපතිතුමා එක දවසට නිවාස දාහතර දහස් විස්සක් රට පුරා ග්‍රාම සේවා කොට්ඨාසයක් ගානේ හැදුවත් යහපාලන රජයට වසර පහක් ආණ්ඩුව කරලා එම ඉලක්ක සපුරා ගන්න බැරි වුණා.

ජනපතිතුමා පත් වෙලා මාස අටක් වුවත් නිසි යන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවන බවයි විපක්ෂය චෝදනා කරන්නෙ. රජයේ නිලධාරින් අවධිකරන්න ජනපති මැඳුරට කැඳවන්න සිදුවිම එහි එක් පැතිකඩක් බවයි කියවෙන්නේ?

ජනාධිපතිතුමාට මේ මාස අටෙන් නිසි පරිදි රාජ්‍ය යන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න ලැබුණෙ මාස දෙකයි. ජනවාරි අන්තිම වෙනකොට කොරෝනා වසංගතය ආරම්භ වුණා. ආණ්ඩුවට පමණක් නොව ජනතාවටත් කොරෝනා සමග පොර බදන්න සිද්ධ වුණා. මේක අසාමාන්‍ය තත්ත්වයක්. ලෝකයේ බලවත් රටවල් වැනසුණා. අපට වඩා බලවත්, සෞඛ්‍ය පහසුකම්වලින් ඉහළ අමෙරිකාව වගේ රටවලට පවා නිසි ක්‍රමවේද තිබුණෙ නෑ. ඇතැම් රටවල මිනිසුන් මහ මග මරණයට පත් වෙනවා.

නමුත් අපේ රට අඩු සෞඛ්‍ය පහසුකම් රටතේ රටේ සුව විරුවන්ගේ දායකත්වයෙන්, රණ විරුවාගේ, පොලිස් නිලධාරීන්ගේ දායකත්වයෙන්, ග්‍රාම නිලධාරි මහතාගේ සිට සියලු රාජ්‍ය නිලධාරින්ගේ දායකත්වයෙන් කොරෝනා නතර කරන්න ජනාධිපතිතුමාට හැකි වුණා. ලෝකයට එය ආදර්ශයක්. මේ තත්ත්වයවත් විපක්ෂය පිළිගන්න සුදානම් නෑ. මාස හයක් කොරෝනා සටනට මුහුණ දුන්නා. අපේ රටේ සියක් මැරුණා නම් අමෙරිකාවේ ට්‍රම්ප්ට තිබුණු ‍උද්ඝෝෂණය එන්නේ ලංකවේ ජනාධිපති මැඳුර ඉදිරිපිටයි. බටහිර ගැතියන්ට ඕනෑ කළේ කොරෝනාවලින්ම ජනාධිපතිතුමාගේ ගමන නැති කරන්නයි,’’’ගෝඨා ගෝ හෝම්’’ කියන්න බැරිවු නිසා අද විපක්ෂය වියරු වැටිලා.

මරණ සීයක් ඇති කරගන්න මේ අය නොකරපු දෙයක් නැ. කොරෝනා ගණන් ගන්නේ නෑ කියපු සජිත් මහතා කිව්වා තමන් එක් දිනකදි රැස්විම් 17 ක් කළා කියලා. මෙහෙම කරලා කොරෝනා වසංගතය ජනතාව ඉදිරියේ ගණන් නොගත්තේ ඇයි? රජය කොරෝනා මැඬලිමට යොමුවන එක වැලැක්වීමට, ජනතාව ඊට දක්වන සහාය අඩු කිරීමට ඔවුන්ට ඕනෑ කළා . මානසික බාධා පැමිණ වීමට ඔවුන් උත්සාහ කළත් එය කරන්න බැරි වුණා. හමුදාව ප්‍රමුඛව යන්ත්‍රණය හදනකොට හමුදාපති කොහොමද සෞඛ්‍ය දන්නේ, ත්‍රිවිධ හමුදාවට කොරෝනා මඬින්න පුළුන්ද කියලා මතයක් හදන්න හැදුවා. මේක හමුදා රාජ්‍යයක්ද කියලා ප්‍රශ්න කළා. මේ සියල්ල ව්‍යර්ථ වුණාම කොරෝනා සංඛ්‍යා ලේඛන හංගනවා කියලා රජයට චෝදනා කළා.

මේ සියල්ල අතේ පත්තු වුණාම සජිත් කිව්වා මම ජනතාට රුපියල් හැට දහසක් දෙනවා කියලා. හැට දහසේ කතාව කිව්වොත් ජනතාව තමන්ගේ ඔළුව පරීක්ෂා කරන්න හදයි කියලා පසුව එය විසි දහසට බැස්සුවා. ජනතාව ගැන කතා කරන මේ විපක්ෂය, ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්න තියෙන ණය ගෙවන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරකයටවත් අත ඉස්සුවේ නෑ. තමන්ගේ බඩ ගෝස්තරය වෙනුවෙන් ජනතාවගේ දුක ගසාකන්න දඟලන විපක්ෂය තමයි අද මෙහෙම කතා කරන්නේ. ඒ වගේම අද හැම පැත්තකින්ම ජනාධිපතිතුමාගේ ගමන වළක්වන බලවේග තිබෙනවා. රාජ්‍ය නොවන සංවිධානවල පමණක් නොවෙයි රටේ ඇතැම් නිලධාරින් පවා මේ තුළ ඉන්නවා. මහ බැංකුවේ සිදුවුණේ ඒක. අපි එය අවබෝධ කරගෙන ඉන්නවා.

බැඳුම්කර සිද්ධිය පිළිබද පරික්ෂණ ගණනාවක් කළා. පාර්ලිමේන්තු කෝප් කමිටුව, ජනපති විමර්ශන කොමිසම ඊට නිදසුන්. හොරුන්ට දඬුවම් දෙන්න පැවැති විමර්ශන හෝ පරීක්ෂණ ප්‍රමාණවත් නැද්ද?

මහ බැංකු මංකොල්ලයට පසුගිය දවස්වල ඇල් මැරුණු පරීක්ෂණ ගියා. එම පරික්ෂණවලින් උත්සාහ කළේ බොහෝ විට සැබෑ වගඋත්තරකරුවන් නිදහස් කරන්න. කෝප් කමිටු වාර්තාවෙන් නියම වගඋත්තරකරුවෝ හෙළි වුණේ නෑ කිවුවොත් වඩා නිවැරදියි. දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් ඉදිරි නිතිමය පියවර ගන්නවා. නමුත් එය හුදු දේශපාලන දඩයමක් ලෙස නොවෙයි, මහ බැංකු කොල්ලයට පමණක් නෙවෙයි, සෙසු වැරදිවලටත් නීතිය ක්‍රියාත්මක කරන්න අදාළ අංශවලට නිදහස තිබෙනවා. ඒවා කිසි ලෙස වත් බුරුල් වෙලා නෑ; දියාරු වෙලා නෑ

රෝෂන් තුෂාර

නව අදහස දක්වන්න