අලුත් ආණ්ඩුව කෙසේ විය යුතු ද? | දිනමිණ


 

අලුත් ආණ්ඩුව කෙසේ විය යුතු ද?

ශක්තිමත් හා ස්ථාවර ආණ්ඩුවක් පැවැතිය යුතුය යන්න පුරවැසියන්ගේ අදහස වෙයි. එම ආණ්ඩුව ජනාධිපතිවරයා සමඟ සමපාතී ලෙස ක්‍රියා කරන, වැඩ කරන ආණ්ඩුවක් බවට පත් විය යුතුය. එලෙසම නාස්තියෙන් දුෂණයෙන් තොරව රට ඉදිරියට ගෙන යෑමටත්, ජනතාවට සහන ලබා දීමටත් එම ආණ්ඩුව සමත් විය යුතුය. විධායකය හා ව්‍යවස්ථාදායකය දෙපැත්තක ගමන් කිරීමෙන් රටට ඇතිවන හානිය හා ජාතියට ඇති වන පාඩුව යහපාලන ආණ්ඩු කාලය හොඳින් පැහැදිලි කර දී තිබේ. එබඳු රාජ්‍ය තන්ත්‍රයක් යළි ගොඩනැඟුණ හොත් ඇති වන විනාශය බරපතල විය හැකිය. පවතින සන්දර්භයට අනුව අත්හදා බැලීම්වලට හෝ කාලය නාස්ති කිරීමට හෝ අවස්ථාවක් නැත.

එළැඹෙන මහ මැතිවරණය තීරණාත්මක එකක් බව ඉතා පැහැදිලිය. එය තීරණාත්මක වන න්‍යායාත්මක සාධක හා ප්‍රායෝගික සාධක ගණනාවක් පවතී. විධායකය හා ව්‍යවස්ථාදායකය එක දැක්මක් යටතට ගැනීම ප්‍රධාන න්‍යායාත්මක සාධකය වෙයි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, ජාතික උරුමය හා රටේ සදාචාරය ආරක්ෂා කිරීම සඳහා ව්‍යවස්ථාවේ ඇතැම් කොටස් සංශෝධනය කළ යුතුව තිබේ. එය තවත් න්‍යායාත්මක සාධකයකි. ප්‍රායෝගික වශයෙන් ගත් කල රටේ ආර්ථිකය, මූල්‍ය ප්‍රතිපත්ති හා වෙළෙඳපොළ යන්ත්‍රණය අපට ගැළපෙන ලෙසින් ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතුව තිබේ. මේ සියල්ල කළ හැක්කේ ශක්තිමත් ආණ්ඩුවක් යටතේය.

කොවිඩ් - 19 වසංගත තත්ත්වය යටතේ රටේ ව්‍යාපාර හා කර්මාන්ත බිඳවැටී ඇත; ස්වයං රැකියා අඩපණය; සංචාරක කර්මාන්තය දුර්වලය; ජනතාව ණය බරින් මිරිකෙන තත්ත්වයකට ඇදවැටී ඇත. ඉදිරි වසර කිහිපය තුළ ලෝක ආර්ථික අර්බුදයක් ඇති වන බවට පුරෝකතන ඉදිරිපත් වී ඇත. ඒ අනුව ලෝක වෙළෙඳපොළ යාන්ත්‍රණයේ ස්වභාවය මුළුමනින්ම වෙනස් විය හැකිය. මීට මුහුණ දීම අභියෝගයකි. ජගත් ආර්ථික පර්යේෂණ ආයතන පෙන්වා දෙන අන්දමට ආර්ථික අභියෝගය ජය ගැනීම සඳහා එකිනෙක රටවල නායකයන් ප්‍රායෝගික වැඩසටහන් සකස් කරගත යුතුය. ඒවායෙහි අභියෝග ද ඔවුන්ම භාරගත යුතුය.

දකුණු ආසියාවේ ඉහළම ආර්ථික සංවර්ධන වේගයක් සටහන් කරගෙන සිටි ශ්‍රී ලංකාව දැන් පවතින්නේ කලාපයේ අඩුම ආර්ථික සංවර්ධන වේගය සටහන් කරන රාජ්‍යය හැටියටය. ආර්ථිකය බිඳවැටුණේ යහපාලන ආණ්ඩු සමය තුළය. 2014 ආර්ථික වෘද්ධිය හා 2019 ආර්ථික වෘද්ධිය නිරීක්ෂණය කරන කෙනකුට එය පැහැදිලි වනු ඇත. 2014 අවසන් කාර්තුවේ වාර්ෂික ආර්ථික වෘද්ධිය 6% ඉක්මවා තිබිණි. 2019 අවසන් කාර්තුවේ එය 1.2% දක්වා පහත බැස තිබිණි. පාස්කු ප්‍රහාරය, දේශපාලන ආරවුල් පමණක් නොව, සාර්ථක සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක නොවීම ද ඊට හේතු ලෙස දැක්විය හැකිය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ඡන්ද රැස්වීම්වලදී කියා සිටින්නේ ජනාධිපතිවරයා සමඟ එකට වැඩ කළ හැකි, ඔහුගේ ආර්ථික දර්ශනය පිළිගන්නා ආණ්ඩුවක් පිහිටුවීමට වගබලා ගන්න යන්නය. එය හුදු දේශපාලන කතාවක්ම නොව, රටේ අනාගතය සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බලන විචාරාත්මක කියමනක් වෙයි. රටේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකෙන් එකක් වන එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩී ඇත. කොටස් දෙකම බටහිරට ගැති නව ලිබරල් චින්තනය පිළිගනී. එහෙත් ජනාධිපතිවරයාගේ ආර්ථික හා දේශපාලන දැක්ම දේශීයත්වයට නැඹුරු වී ඇත. එය ජනතාවට සමීප ප්‍රායෝගික වැඩපිළිවෙළකි. මේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා හැක්කේ ජාතික චින්තනයට මුල් තැන දෙන අයට පමණි.

නූතන ලෝකය වෙනස්ය; වෙළෙඳපොළ වෙනස්ය; පුරවැසියන්ගේ චින්තනය ද වෙනස්ය. ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ආර්ථික ප්‍රතිපත්ති ගොඩනඟාගෙන ඇත්තේ නූතන ලෝකය ද අනාගත ශ්‍රී ලංකාව ද හොඳින් වටහාගෙනය. කොරෝනා වසංගතයට ශ්‍රී ලංකාව මුහුණ දුන් ආකාරයෙන් පෙනී යන්නේ ජනාධිපතිවරයාගේ පාලනයෙහි ඇති දුරදක්නා බවය.

සැබෑ නායකයකු නම්, ඔහු ළඟ ප්‍රධාන ලක්ෂණ දෙකක් තිබිය යුතු බව කියති. පළමු ලක්ෂණය වන්නේ ඕනෑම ගැටලුවකට විසඳුමක් නායකයා සතු වීමය. දෙවන ලක්ෂණය වන්නේ නායකයා නිරන්තරයෙන් ජනතාවට ඇහුම්කන් දෙන පුද්ගලයකු වීමය. ගෝඨාභය මහතාට එකී ලක්ෂණ දෙකම ඇති බව පෙනෙයි. කොරෝනා වසංගතය ජය ගැනීම, පාතාලය මර්දනයට පියවර ගැනීම හා බිඳවැටුණු ආර්ථිකය පුනර්ජීවනයට ගෙන ඇති පියවර ඔස්සේ ද පෙනී යන්නේ ඕනෑම අභියෝගයක් හමුවේ නොසැලී ක්‍රියා කිරීමට රාජ්‍ය නායකයා සමත් වන බවයි. ජනතාවට ඇහුම්කන් දීම ගෝඨාභය මහතාගේ විශේෂ ලක්ෂණයකි. ජනාධිපතිවරයා මේ දිනවල ගමෙන් - ගමට යමින් ජනතා ගැටලු නිරීක්ෂණය කරයි. එය සාධනීය ලක්ෂණයකි.

අනාගත ශ්‍රී ලංකාව පිළිබඳ‍ බොහෝ අපේක්ෂා අපේ පුරවැසියන්ට තිබේ. ඒ අපේක්ෂා අතර ප්‍රධාන වන්නේ තරුණ පරම්පරාවට යහපත් ජීවිතයක් යන්නය. යහපත් ජීවිතයක් සඳහා ආර්ථිකය ශක්තිමත් විය යුතුය; ජාතික ආරක්ෂාව තහවුරු විය යුතුය; ජනතාවට සැනසිල්ලේ ජීවත්වීමට අවකාශය තිබිය යුතුය. මේ සියල්ල තීරණය වන්නේ දේශපාලනය අනුවය. දේශපාලන බලයේ අයිතිකරුවන් වන ඡන්දදායකයා රටට අවශ්‍ය දේශපාලනය තීන්දු කළ යුතුය.

නව අදහස දක්වන්න