තරග අතරතුර නේපාලයේදී ඉන්දියාවෙන් මෙරට නිලධරයකුට පාපැදි 2ක් දීම අල්ලසක් දැයි විමර්ශනයක් | දිනමිණ

තරග අතරතුර නේපාලයේදී ඉන්දියාවෙන් මෙරට නිලධරයකුට පාපැදි 2ක් දීම අල්ලසක් දැයි විමර්ශනයක්

දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේදී තරග පාවාදීම සම්බන්ධ චෝදනාව

වගකීම් විරහිත නිලධාරීන්ට එරෙහිව වැරැදි වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව කටයුතු කරන ලෙස කමිටු නිර්දේශ

අවලංගු වීමට ගිය පාපැදි ඉසව්වකට ශ්‍රී ලංකාව ඇතුළත් කිරීමෙන් තරගය පැවැත්වීමට නිලධරයකු සහාය වෙලා

නේපාලයේ කත්මන්ඩු නුවර පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ අතරතුරදී ඉන්දියාවේ පාපැදි කණ්ඩායමේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරියකුට වොට් වර්ගයේ අනර්ඝ තත්ත්වයේ පාපැදි දෙකක් පරිත්‍යාග කිරීමේ සිද්ධිය හා නේපාලයේදී සිදු වූවේ යැයි කියන තරග පාවාදීමේ චෝදනා අතර යම් සම්බන්ධතාවක් ඇත්ද යන්න පිළිබඳ කරුණු විමර්ශනය කෙරෙයි.

දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ සඳහා ශ්‍රී ලංකා සහභාගීත්වය හා ප්‍රතිඵල සමාලෝචනය කිරීමට ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි පත් කළ කමිටු වාර්තාවේ විශේෂ විමර්ශනයක් සිදු කළ යුතු යැයි පෙන්වා දුන් කරුණු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ඒස්. රුවන්චන්ද්‍ර මහතා විසින් පත් කළ විශේෂ කමිටුව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපතිවරයාගෙන් මේ පිළිබඳ ප්‍රකාශයක් ලබාගෙන ඇත. එහිදී පාපැදි සම්මේලනයේ සභාපති එන්. කරුණාරත්න මහතා පවසා ඇත්තේ ඉන්දීය කණ්ඩායමෙන් නේපාලයේදී පාපැදි දෙකක් ලැබුණු බව සැබෑවක් වුවද, එම පාපැදි භාර ගැනීම හා දකුණු ආසියා ක්‍රීඩා උලෙළ අතර, කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

මෙලෙස දකුණු ආසියා ක්‍රීඩා උලෙළ අතරතුරදී පාපැදි දෙකක් භාර ගැනීම සම්බන්ධ පොලිස් විමර්ශනයක් පැවැත්වෙන බවද කරුණාරත්න මහතා විශේෂ විමර්ශන කමිටුවට දැනුම්දී තිබේ. එම පාපැදි දෙක ආසියානු සම්මේලනයේ සභාපතිවරයා විසින් සාග් ක්‍රීඩා උලෙළට පෙර ඉන්දියාවේදී භාර දුන් බවත් ඒවායේ බර අධික වීම නිසා ශ්‍රී ලංකාවට ගෙන ඒමට නොහැකි වූ බවත් පවසා ඇත. එබැවින් ඉන්දීය පිල නේපාලයට පැමිණෙද්දී එම පාපැදි දෙක රැගෙනවිත් ශ්‍රී ලංකා පිලට ලබාදුන් බව කරුණාරත්න මහතා විශේෂ විමර්ශන කමිටුව හමුවේ හෙළිදරව් කොට ඇත.

එහෙත් ඉන්දියාව, බංග්ලාදේශය හා නේපාලය පමණක් සහභාගී වීමට සිටි පාපැදි ඉසව්වක් අවලංගු වීමට තිබියදී ශ්‍රී ලංකාව එම ඉසව්වට අවසන් මොහොතේ ඇතුළත් වීම මඟින් තරග ඉසව්ව ක්‍රියාත්මක කිරීමට සහාය දැක්වීම සම්බන්ධව විශාල ආන්දෝලනයක් ඇති වී පාවාදීමේ චෝදනා එල්ල වී තිබේ. මවුන්ටන් බයික් ඩවුන් හිල් ඉසව්වට හිස් වැසුමක්, පෙර පුහුණුවක් හෝ කිසිදු සූදානමක් නැතිව නේපාලයට ගොස් සිටි ශ්‍රී ලංකා පාපැදි ක්‍රීඩකයකු මේ ඉසව්වට අවසන් මොහොතේ ඇතුළත් කිරීමට ප්‍රධාන පුහුණුකරු කටයුතු කළද, පසුව තරගය ආරම්භ කරන ස්ථානයට ගොස් තරගයට සහභාගී නොවන බව පැවැසූවේ කවර හේතුවක් නිසාද යන්න ප්‍රශ්නාර්ථයක් වී තිබේ.

විමර්ශන කමිටුවේ තීන්දුව වී ඇත්තේ මේ තරග ඉසව්වට අවශ්‍ය පාපැදියක්, ආරක්ෂක හිස් වැසුම් හෝ කිසිදු පූර්ව පුහුණවීමක් නැතිව ගනු ලැබූ මේ තීරණය වගකීම් විරහිත එකක් බවය. ජාතික ඔලිම්පික් කමිටුවේ අවසරයකින් තොරව ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත් කිරීමට නොහැකි අතර, එවැනි විධිමත් අවසරයක් නැතිව සත්කාරක නේපාලය තරග ඉසව්වට ක්‍රීඩකයා භාර ගත්තේ කෙසේද යන්න ගැටලුවක් බවද විමර්ශන කමිටුව පෙන්වා දෙයි. තරග පාවාදීමට සාක්ෂි නොමැති වුවද වගකීම් විරහිතව ක්‍රියා කළ නිලධාරීන්ට සුදුසු අවවාදයක් කරන ලෙසත් ක්‍රීඩාවලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව කටයුතු කරන ලෙසත් විමර්ශන කමිටුව නිර්දේශ කොට ඇත.

 

ප්‍රින්ස් ගුණසේකර

 

නව අදහස දක්වන්න