ජයග්‍රහණය අපට දැනෙනවා | දිනමිණ


 

ජයග්‍රහණය අපට දැනෙනවා

මධ්‍යම පළාත්  හිටපු ඇමැති, නුවරඑළිය දිස්ත්‍රික්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක, නිමල්  පියතිස්ස

 හිටපු පළාත් සභා ඇමැතිවරයකු විදිහට මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන ඔබගේ ගමන් මාර්ගය පිළිබඳ සඳහන් කළොත්?

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්, පළාත් සභා මන්ත්‍රීවරයෙක් සහ ඇමැතිවරයෙක් විදිහටයි පසුගිය කාලය මම පසු කළේ. 2015 දී හිටපු ජනාධිපතිතුමාගේ පරාජයත් එක්ක නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහින්ද සුළඟේ ආරම්භක පුරෝගාමියා ලෙසත්, මධ්‍යම පළාතේ මහින්ද සුළඟ දෙවැනි රැළිය සංවිධායකයා ලෙසත් ඇවිත් පසුගිය කාලය තුළ නුවරඑළිය දිස්ත්‍රික්කටත්, එහි ජනතාවගේ සේවකයෙක් විදිහටත් විශාල වැඩකොටසක් කරමින් ඇවිත් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වුණා. ගෙවුණ කාලය තුළ පළාත් ඇමැතිවරයෙක් විදිහට කටයුතු කර ජනතාවගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ උදහසට ලක්නොවී මේ කඩඉම තෙක් මම ඇවිත් ඉන්නවා.

 

 

ඔබ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණා. ඒත් පාර්ලිමේන්තු ආසනයක් හිමි කරගන්නට බැරි වුණා?

එදා මනාප 42,000ට ආසන්න ප්‍රමාණයක් මම ගත්තා. ඒ මැතිවරණයේදී අපේ දිස්ත්‍රික්කයෙන් අපේ පක්ෂය ජයග්‍රහණය කළා නම්, මටත් පාර්ලිමේන්තු අවස්ථාව හිමි වෙනවා. අපට මන්ත්‍රීධූර 5ක් හිමි වෙන්නට තිබූ අවස්ථාව 3ට සීමා වෙනකොට ඒ මන්ත්‍රී ධූරය මට අහිමි වුණා. අපේ දිස්ත්‍රික්කයේ මනාප 42,000 ඉක්මවා යන එක අපේක්ෂකයකුට ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි.

 

 

දිස්ත්‍රික්කයේ දෙමළ ජන ප්‍රතිශතය වැඩි නිසා ද ඔබට මන්ත්‍රී ධූරය අහිමි වෙන්නේ?

එක පැත්තකින් ඒ හේතුව තියෙනවා. අනෙක් පැත්තෙන් සිංහල ජනතාවගෙන් එවැනි මනාප ප්‍රමාණයක් ලබා ගැනීම ඉතා අසීරුයි. ඒ ප්‍රමාණය හෝ ගැනීම ගැන මම සතුටුයි. එදා මට පාර්ලිමේන්තු අසුන අහිමි වුණත් ඊට වඩා වැඩි මනාප ප්‍රමාණයකින් මෙවර මැතිවරණය ජයග්‍රහණය කරනවාය කියන විශ්වාසය මට තියෙනවා.

 

 

නුවරඑළිය දිස්ත්‍රික්කයට වත්මන් රජයේ අමාත්‍යවරු දෙන්නෙක් ඔබේ පක්ෂයෙන් ඉල්ලනවා. සමඟි ජනබලවේගයෙන් නමගිය දේශපාලකයන් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ අය ඔබට අභියෝගයක් නෙවෙයි ද?

මේ මොහොත වෙනකොට එස්.බී දිසානායක මහත්තයත්, සී.බී රත්නායක මහත්තයත් ඉන්නෙ මට පහළින්. පසුගිය කාලය පුරා අධ්‍යයනය කරලා බලනකොට ඔය දේශපාලනඥයන් ගැන මහජනතාව තුළ ඇතිවෙලා තියෙන අප්‍රසාදය සුළු පටු නැහැ. එස්. බී මහත්තයා ගත්තොත්, එතුමා නුවරට ගිහින් ආයෙත් නුවරඑළියට ඇවිත් තරග කරනවා. එදා එතුමට තිබුණ ජනප්‍රසාදය යළි හදා ගන්නවා කියන එක ලෙහෙසි පහසු නැහැ. ඒ නිසා දිස්ත්‍රික්කය තුළ ගත්තොත් මට වඩා අභියෝගය තියෙන්නෙ අනෙක් අයට. ඒ නිසා අපේ දිස්ත්‍රික්කයේ මැතිවරණ බල ප්‍රදේශ පහෙන්ම කිසිවෙක් මට අභියෝගයක් වෙලා නැහැ. සමඟි ජන බලවේගය කොහොමත් මට අභියෝගයක් නෙවෙයි. සමඟි ජන බලවේගය දෙකඩ වෙලා තියෙන්නේ. ඔවුන්ට සිංහල ඡන්ද 60000ක් පමණ දිස්ත්‍රික්කයේ තියෙනවා. ඒවත් දැන් අඩුවෙලා ඉවරයි. දමිළ ජනතාව තුළත් ඔවුන් ගැන විශ්වාසයක් දැන් නැහැ.

 

 

නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරනවාය කියන එක ලෙහෙසි පහසු නැහැ. එහෙම තිබියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර නුවරඑළිය ජයග්‍රහණය කරවීමේ වෑයමක් ද ඔබට තියෙන්නේ?

අපට දැන් පේන දේ තමයි, දැනෙන දේ තමයි, වැඩිම ඡන්ද ප්‍රමාණයක් අපේ පක්ෂයට ගැනීමේ හැකියාවක් තියෙනවා. හේතුව පසුගිය ජනපතිවරණයේදී අපි එක් ලක්ෂ හැත්තෑ පන්දහසක් ඡන්ද ලබාගෙන තියෙනවා. මේ මොහොතේ වතුකරයේ දමිළ ජනතාවගේ ස්වභාවය සම්පූර්ණයෙන් ම වෙනස් වෙලා තියෙන්නේ. ඒ දමිළ ජනතාවගේ ඡන්දත් අපට එකතු වුණාම, අලියා හෝ ටෙලිෆෝනය ගන්න ඡන්ද ප්‍රමාණය අබිබවා යෑමට අපට හැකියාවක් තියෙනවා. අපි පොහොට්ටුව දිනවීම සඳහා අපේ කාර්යය අපේ පැත්තෙන් කරනවා වගේම, නියත වශයෙන්ම මේ පාර නුවරඑළිය දිස්ත්‍රික්කය පොහොට්ටුව දිනනවා.

 

 

පළාත් සභාව තුළ ඔබ කාර්යයක්ෂම ඇමැතිවරයෙක් කියලා ඔබ ම කියනවා. එහෙම කියන්න තියෙන සාධක මොනවද?

මධ්‍යම පළාත් සභාවේ හොඳම, ක්‍රියාකාරී අමාත්‍යාංශය විදිහට ආණ්ඩුකාරතුමා විසින් මගේ අමාත්‍යාංශය නම් කළා. ඊට අමතරව මගේ අමාත්‍යාංශයේ නිල කාලය අවසන් වෙනකොට, විගණකාධිපතිවරයා විගණන මත 17ක් ඉදිරිපත් කළා. එහෙම බැලුවා ම විගණකාධිපතිවරයාගේ පැසසුමට ලක්වුණ අමාත්‍යාංශය මෙහෙයවීම කළේ මම. අනෙක් පැත්තෙන් මධ්‍යම පළාතේ සේවා පහක් යටතේ ගොවි ජනතාව ආවරණය කරන, පශු සම්පත් ආවරණය කරන, පරිසරය ආවරණය කරන, මිරිදිය ධීවර ප්‍රජාව ආවරණය කරන විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා මධ්‍යම පළාතෙ ම ගොවි ජනතාවගේ මහගෙදර බවට මගේ අමාත්‍යාංශය මම පත්කර ගත්තා.

 

 

නුවරඑළිය කියන්නේ බොහෝ දුෂ්කරතාවලට ලක්වෙන ජන ජීවිත ඇති දිස්ත්‍රික්කයක්. දරිද්‍රතාවෙන් පෙළෙන, පාසල්වලට සහ සෞඛ්‍ය සේවාවලට අවම පහසුකම් ලැබෙන දිස්ත්‍රික්කයක ඔබ මහ මැතිවරණ අපේක්ෂකයකු විදිහට ජන ජීවිත ගොඩනඟන්න සැලැසුම් කළ වැඩපිළිවෙළ මොකක් ද?

මම‍, දේශපාලනඥයෙක් විදිහට නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිශ්චිත වශයෙන් හඳුනාගත් ප්‍රශ්න ටිකක් තියෙනවා. අපේ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් කෘෂිකර්මාන්තය පදනම්කරගත් වෘත්තින් නියැලෙනවා. අද වෙනකොට ගොවි ජනතාව මුහුණ දෙන මූලික ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අපේ පැත්තෙන්, රජයක් විදිහටත්, පාර්ලිමේන්තු අපේක්ෂකයෙක් විදිහටත් ඒ ජනතාවත් එක්ක සමීපව කතා බහ කරල තියෙනවා. ජනතාවගේ අදහස් හා යෝජනා අරගෙන ඒවාට ගැලපෙන ආකාරයේ වැඩසටහන් දියත් කරලා තියෙනවා. ඇතැමකුට ඉඩම් ප්‍රශ්න තියෙනවා. වනජීවී කලාපවලට අරගෙන තියෙන සමහර තැන් ගැන ගැටලු තියෙනවා. ඉතා බරපතළ විදිහට ගොවි ජනතාවට දැනුන ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් දීමේ අවශ්‍යතාවයක් අපට තියෙනවා. කුඩා තේ වතු ගොවියෝ දිස්ත්‍රික්කය පුරා ම ඉන්නවා. ඒ අයට නිශ්චිත වැඩපිළිවෙළක් දියත් කරනවා. අපනයන බෝග වගාකරුවන්ට තියෙන ප්‍රශ්නත් අපි හඳුනාගෙන තියෙනවා. මේ හැම අංශයක් ම ආවරණය පරිද්දෙන් හා රටේ නිෂ්පාදන ආර්ථිකයට දායක ක්‍රමවේදත් ගොඩනඟන්නෙ කොහොමද කියලත් අපි අපේ දිස්ත්‍රික්කයේ අඩුපාඩුත් හඳුනාගෙන තියෙනවා.

 

 

ඔබ නියෝජනය වන්නේ ජාතික නිදහස් පෙරමුණ, එහි නායකයා විමල් වීරවංශ. හිටපු ජනපතිවරයා පරාජය වුණාට පස්සේ, මැදමුලනට ගිහින් ආයෙත් දේශපාලන වේදිකාවට ගෙනාවේ ඔහුය කියලා කිහිප අවස්ථාවක කියලා තිබුණා, MMC ගිවිසුම ගැන බරපතළ විවේචන එල්ල කළෙත් ඔහු. මොක ද ඒ ගැන කියන්නේ?

විමල් වීරවංශ මැතිතුමා කියන්නේ ජාතිකවාදී නායකයෙක්. මාතෘභූමිය ගැන ඇත්ත වුවමනාවෙන් කතා කරන්නෙ එතුමා. දෙස් විදෙස් බලවේගවල කුමන්ත්‍රණ වේලාසන් හඳුනාගෙන ඒවා ආපස්සට හරවලා ජනතා ජයග්‍රහණ අත්කර දෙන්න මූලිකත්වය ගන්න නායකයෙක්. මෑත ඉතිහාසය ගත්තාම දේශපාලනයේ සිදු වූ පරිවර්තනය සිදුකරන්න දායක වුණ ප්‍රබල පතාක යෝධයෙක් ලෙස කටයුතු කළෙත් එතුමා. වත්මන් රජය නිවැරැදි මඟ අරන් යන්න සහ වත්මන් ජනපතිවරයාට ප්‍රබල ම රැකවරණයක් ලබා දෙන්නේ අපේ පක්ෂය. රජයක් විදිහට ගත්තොත් මාතෘභූමියට හානියක් නොවන ආකාරයට, ජනතාවාදී පාලනයක් ඉස්සරහට යනවා. ජනතාවට අහිතකර කවර හෝ ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් එය වළක්වාලීම අපේ අරමුණ වගේම, වත්මන් පාලනය බිහි කරගන්න ඇපකැප වුණ අප රජයක් විදිහට වගකීමෙන් වැඩකරන්න කටයුතු කරනවා.

 

 

වත්මන් රාජ්‍ය පාලනය යහපත් කියලා පැසසුම් නැඟෙද්දී මධ්‍යම පාන්තිකයන්, රාජ්‍ය නිලධාරීන් තරමක නොසතුටෙන් ඉන්න බවක් පේනවා. රට ගොඩනඟන්න එය බාධාවක් නොවෙයි ද?

විශේෂයෙන්ම අප පිළිගන්න එක කාරණයක් තමයි, රාජ්‍ය යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක වෙන මාෆියාවක් තියෙන වග. දේශපාලකයාට සාපේක්ෂව සංවිධානාත්මකව ඇතැම් රාජ්‍ය නිලධාරින් කරන අකටයුතුකම් හෙළි වෙනවා අඩුයි. වත්මන් ජනපතිවරයා පත් වුණේ, පසුගිය කාලය පුරාවට ම අත්දැකපු අමිහිරි අත්දැකීම් රාශියක් එක්ක. ඒ වගේ ම රටේ නායකයාට ලක්ෂ 69ක් ඡන්දෙ දුන්නේ, මේ රටේ මහජනතාවට වෙනත් කිසිදු නායකයකුගෙන් කරගන්නට බැරි වූ කාර්යය භාර්යයක් රට වෙනුවෙන් ඉටු කරගන්න. එතැනදී ජාතික ආරක්ෂාව, රණවිරු ආරක්ෂාව, බුදු දහම රැකීම, රටේ ආර්ථිකය නිසි මඟ රැගෙන යාම, හොරා කාපු කොමිස් ගහපු ඒවාට තිත තියන්න පුළුවන් රාජ්‍ය පාලනයක් රැගෙන යාවි කියන විශ්වාසය මත ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රටේ මිනිස්සු ජනාධිපතිවරයා ලෙස පත් කර ගත්තා. ඒ නිසා ජනපතිතුමාට බරපතළ වගකීමක් තියෙනවා. ජනතා අපේක්ෂාව ඉටු කිරීමේදී මහ බැංකුවේ කියලා නැහැ, වැඩ නොකරන නිලධාරියෙක් ඉන්නවා නම්, ගෙදර යවන්න ඕනෑ. එහෙම නැතිවුණොත් ජනපතිවරයාගේ ඉදිරි දැක්ම ප්‍රායෝගිකව මේ මහ පොළොවේ යථාර්ථයක් කරන්න හැකි වෙන්නේ නැහැ. රටේ ප්‍රශ්න විසඳන්න නම් නිවැරැදි දේ කරන්න රාජ්‍ය නිලධාරිනුත් පෙළගැහෙන්න ඕනෑ.

 

 

ඔබතුමන්ලා 2/3ක ජනතා වරමක් ඉල්ලනවා. ජනපතිවරයාගේ ගමන් මඟ සහ ක්‍රියාත්මක වෙන ආකාරය ගැන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවට අවබෝධයක් තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවාද?

මේ මොහොතේ බිම් මට්ටමේ එක්සත් ජාතික පාක්ෂිකයෝ විශාල ප්‍රමාණයක් අපත් එක්ක අත්වැල් බැඳගනිමින් ඉන්නවා. අපේ පාක්ෂිකයනුත් මේ ආරම්භ කළ පරිවර්තනය ගැන දැඩි විමසීමකින් සහ අවදානයකින් පසුවෙනවා. ඒ නිසා අපේ ඡන්ද දායකයන් විශාල ප්‍රමාණයක් ජනපතිවරයාගේ වැඩපිළිවෙළ අනුමත කරලා තියෙනවා. කොරෝනා වසංගතය හමුවේ රාජ්‍ය නායකයාගේ භාවිතාව ගැන විශාල ඇගයීමක් ජනතාවට තියෙනවා. බිම් මට්ටමේ මැතිවරණ මෙහෙයුම ක්‍රියාත්මක කරද්දී, එජාපයේ ප්‍රාදේශීය නායකයෝ නිතරම කියනවා, කොරෝනා වසංගතය එනකොට ගෝඨාභය මහත්තයා නැතිව, යූඑන්පී අපේ නායකයෝ හිටියා නම්, මේ වන විට මේ රටේ පුරවැසියෝ ලක්ෂ ගණනක් ජීවිත පූජා කරලා කියලා. සහන සැලසීමේදීත් එතුමා පක්ෂ, පාට නොබලා කටයුතු කළ ආකාරය ගැන විශාල පැහැදීමක් තියෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා සෑම මැතිවරණ කොට්ඨාසයකම එජාප පාක්ෂිකයන් විශාල පිරිසක් දැන් අපිත් එක්ක එකතුවෙලා ඉන්නවා. රට රකින්න නම් රට හදන්න නම් මේ නායකයත්වය රටට ඕනෑ කියලා එජාප පාක්ෂිකයන් ම කියන එක ගැන සතුටුයි.

 

 

දිස්ත්‍රික්කයේ ජනතාවට කියන්න තියෙන්නෙ මොකක් ද?

නුවරඑළිය දිස්ත්‍රික්කය කියන්නේ 1977 ඉඳලා සියලු දේශපාලකයන්ගෙන් බැට කාපු දිස්ත්‍රික්කයක්. 1977ට කලින් හිටපු මහජන නියෝජිතයෝ මේ මැතිවරණ කොට්ඨාස පහටම ලබාදීපු ආදර්ශය 1977න් පස්සේ බලයට පත්වුණ කිසිම දේශපාලන නියෝජිතයෙක් දිස්ත්‍රික්කයට දීලා නැහැ. දිස්ත්‍රික්කයට යම් පවතින දෙයක් කළා නම් ඒ කළේ 1977ට කලින් හිටපු මහජන නියෝජිතයෝ. එතැනින් පස්සේ දේශපාලකයා ව්‍යාපාරික දේශපාලකයා වුණා වගේම, හිටපු කිසිම පාර්ලිමේන්තු දේශපාලකයෙක්ගෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව බලාපොරොත්තු වුණ කිසිවක් ලැබුණේ නැහැ. පසුකාලීනව දේශපාලකයා දිස්ත්‍රික්කයට සියලු දේ අහිමි කළා මිසක් පාක්ෂිකයා බලාපොරොත්තු වූ දේවල් කෙරුණේ නැහැ. ඒ නිසා අපේ දිස්ත්‍රික්කයේ ජනතාව සෑම අතකින්ම තවමත් බැට කමින් ඉන්නවා. මේ වන වෙනකොට අනෙකුත් දිස්ත්‍රික්ක හා සංසන්දනය කරලා බලද්දී නුවරඑළිය දිස්ත්‍රික්කය ආණ්ඩුවක් නියෝජනය නොකරපු තරම් පිරිහීමක් සිදුවෙලා තියෙනවා. අපේ දිස්ත්‍රික්කයේ නායකයෝ අලුත් දැක්මක් සහිතව වැඩ කළා නම් අද මේ දිස්ත්‍රික්කයට මෙහෙම වෙන්නෙ නැහැ.

 

 

 

නව අදහස දක්වන්න