දෙවිනුවර ඇසළ පෙරහර දේවාල භූමියේදී | දිනමිණ


 

දෙවිනුවර ඇසළ පෙරහර දේවාල භූමියේදී

රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන මාතර, දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය කොරෝනා කාර්යසාධක බළකායේ උපදෙස් අනුව මූලික චාරිත්‍ර විධිවලට පමණක් සීමා කරමින් ජූලි මස 28 වැනි අඟහරුවාදා සවස 5.14ට යෙදෙන සුභ මොහොතින් පළමු වැනි පේළි පෙරහරත් සමඟ ආරම්භ කිරීමට නියමිතව ඇත.

මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති රැස්වීමකදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙවර දෙවිනුවර පෙරහර මංගල්‍යය බැතිමතුන්ගෙන් තොරව දේවාල භූමිය ඇතුළත පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

දින හයක් පුරා සන්ධ්‍යා භාගයේදී ජූලි මස 28 වැනි දින සිට අගෝස්තු මස 02 වැනි දින දක්වා පේළි පෙරහර පැවැත්වීමට නියමිතය. නිකිණි පුර පසළොස්වක පොහොය යෙදෙන අගෝස්තු මස 03 වැනි සඳුදා දින සවස 5.03ට යෙදෙන සුභ මුහුර්තියෙන් දක්ෂිණ දිසාභිමුඛව දේවලයෙන් පිටත්ව දේවාල භූමියේ පමණක් ඉතා උත්කර්ෂවත් අන්දමින් රන්දෝළි මහ පෙරහර සංචාරය කෙරේ.

චන්ද්‍රබාහු නම් ආක්‍රමණිකයාගෙන් රට බේරා ගැනීම සඳහා දෙවිනුවර උත්පලවර්ණ දෙවියන්ට වූ භාරයක් ඔප්පු කරනු වස් දෙවන පරාක්‍රමබාහු රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 1257 දී ප්‍රථම වරට ආරම්භ කරන ලද දෙවිනුවර ඇසළ මහ පෙරහර මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ 763 වැනි වරට ය.

අගෝස්තු 10 වැනි සඳුදා තුන්යම් රාත්‍රිය මුළුල්ලේ දේව තොවිලය නොහොත් කෝල්මුර යාගය පවත්වා ගිනි පාගා අගෝස්තු මස 11 වැනි අඟහරුවාදා පෙ.ව. 11.00ට දේව දානය පැවැත්වීමෙන් අනතුරුව ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු නිමාවට පත් කිරීමට නියමිතය.

තමරසිරි විජේසේකර - දෙයියන්දර සමූහ

නව අදහස දක්වන්න