රුසියානු ජාතික තරුණියට අතවර කළැයි කියන සිද්ධිය: තරුණයන් පස් දෙනා 10 දා දක්වා රිමාන්ඩ් | දිනමිණ

රුසියානු ජාතික තරුණියට අතවර කළැයි කියන සිද්ධිය: තරුණයන් පස් දෙනා 10 දා දක්වා රිමාන්ඩ්

කොළඹ ගාලුමුවදොර පිටියේදී රුසියානු ජාතික තරුණියට ලිංගික අතවර කළ බව කියන සහ ඇයගේ මිතුරාට පහර දුන් බව කියන සිද්ධියකට කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කළ තරුණයන් පස් දෙනා ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ 07 නියෝග කළේය.

ආවරණ සහිතව මහේස්ත්‍රාත් නිල මැදිරියට සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේය.

එමෙන්ම එදිනට ආවරණය සහිතව සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට දන්වා සිටියේය.

රුසියානු ජාතික තරුණිය ඇයගේ විදේශ ජාතික මිතුරා සහ තවත් පිරිසක් සමඟ ගාලුමුවදොර පිටියේ සිටින අවස්ථාවේ දී සැකකාර තරුණයන් පිරිසක් ඔවුන්ට හිරිහැර කර ඇති බවත් සිද්ධියට අදාළව තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට සිටින බවත් පොලිසිය මහේස්ත්‍රාත්වරයා හමුවේ දන්වා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඉදිරි දින අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොටුව පොලිසියට මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය.

සිද්ධිය වූ දිනයේ විදේශ තරුණිය ඇතුළු පිරිසට හිරිහැර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබිණි.

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න