රවීට එරෙහි වරෙන්තුවට අතුරු තහනම් නියෝගයක් | දිනමිණ

රවීට එරෙහි වරෙන්තුවට අතුරු තහනම් නියෝගයක්

මහ බැංකු බැඳුම්කර වෙන‍්දේසි දෙකකදී රුපියල් බිලියන 51.98ක මුදලක් සාවද්‍ය සාපරාධී පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමැති රවි කරුණානායක ඇතුළු සැකකරුවන් හත්දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තු නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (7) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඉකුත් මාර්තු මස 06 වැනිදා එම වරෙන්තු නියෝගය නිකුත් කිරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය අවසන් වනතෙක් මෙම අතුරු තහනම් නියෝගය බලපැවැත්වේ.

මහ බැංකු බැඳුම්කර සිද්ධි සම්බන්ධයෙන් පවත්වන කිසිදු විමර්ශනයකට මෙම අතුරු තහනම් නියෝගය බාධාවක් නොවෙන බව විනිසුරු මඬුල්ල සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම සැකකරුවන් ඕනෑම අවස්ථාවක කැඳවා ප්‍රකාශ සටහන් කරගත හැකි බවද, එවැනි කැඳවන ඕනෑම අවස්ථාවක එහි පෙනී සිට ප්‍රකාශ ලබාදීමට ඔවුන් කටයුතු කළ යුතු බවද අභියාචනාධිකරණය සඳහන් කළේය.

මෙම විමර්ශනවලට අදාළව අවශ්‍ය අවස්ථාවක නියෝග නිකුත් කිරීමේ බලය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඇති නමුත් කිසිදු අවස්ථාවක සැකකාර පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග කළ නොහැකි බව ද අභියාචනාධිකරණය සඳහන් කළේය.

හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු හත්දෙනකු ගොනුකළ රිට් පෙත්සම් හතක් විභාගයට ගැනීමට තීරණය කරමින් අභියාචනාධිකරණය මෙම නියෝගයන් නිකුත් කෙළේය.

මෙම පෙත්සම් විභාගයේදී කරුණු දැක්වීම සඳහා අධිකරණය හමුවෙහි පෙනී සිටින ලෙස පෙත්සමෙහි වගඋත්තරකරුවන් ‍වන වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට නියම කරමින් නොතිසි නිකුත් කරන ලදී.

විරෝධතා සලකා බැලීම සඳහා පෙත්සම අගෝස්තු මස 23 දින කැඳවීමට නියම වූ අතර ප්‍රති විරෝධතා සලකා බැලීම සැප්තැම්බර් මස 29 දින සිදු කිරීමට නියම කෙරිණි.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස්, ශීරාන් ගුණරත්න, සෝභිත රාජකරුණා යන ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලෙහි ඒකමතික තීරණය මත මෙම නියෝගයන් කරණ ලදී.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකකරුවන් වන හිටපු මුදල් ඇමැති රවි කරුණානායක, පර්පචුවෙල් ‍ෙ‍ට්‍රෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස්, එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන, එහි හිමිකරු ජෙෆ්රි ජෝශප් ඇලෝෂියස්, චිත්ත රංජන් හුළුගල්ල, මහ බැංකු සේවකයන් වන එස්. පදුමනාපන් සහ බදුගොඩ හේවාගේ ඉන්දික සමන් කුමාර විසින් මෙම පෙත්සම් ගොනුකර තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව මෙම හත්දෙනා ඇතුළු එකොළොස්දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් ඉකුත් මාර්තු මස 06 වැනිදා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙළේය.

මහේස්ත්‍රාත්වරයා පක්ෂග්‍රාහීව කටයුතු කරමින් මෙම වරෙන්තු නියෝගය නිකුත් කර ඇති බවට පැමිණිලි කරමින් සැකකරුවන් හත්දෙනකු විසින් අභියාචනාධිකරණයට පෙත්සම් හතක් ගොනු කළේ ඉන් අනතුරුවය.

මෙම පෙත්සම් සම්බන්ධ මූලික කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහනය ලබා දෙනවාද නැද්ද යන්න ඊයේ (07) ප්‍රකාශ කිරීමට මීට පෙර තීරණය කළේය.

ඒ අනුව මෙම නියෝග නිකුත් කරන ලදී.

ජනාධිපති නීතිඥවරුන් වන ෆයිස් මුස්තාපා, ගාමිණී මාරපන ඇතුළු පිරිසක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

නෙල්කා මැදගෙදර

නව අදහස දක්වන්න