දිල්රුක්ෂි ඩයස් එජාප හස්තයක් හිටපු ආණ්ඩුකාර බෝගොල්ලාගම ජනපති කොමිසමට කියයි | දිනමිණ

දිල්රුක්ෂි ඩයස් එජාප හස්තයක් හිටපු ආණ්ඩුකාර බෝගොල්ලාගම ජනපති කොමිසමට කියයි

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන හස්තයක් බව නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ දේශපාලන පළි ගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (07) දින සාක්ෂි ලබා දෙමිනි.

2006 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති වෙළෙඳ හා ආයෝජන සමුළුවකට සහභාගි වීමට තමා එහි ගිය අවස්ථාවේ බ්‍රිතාන්‍ය පවුම් 5,600ක් දින 03ක දී වැය කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම තමාට එරෙහිව නඩු පැවරීම දේශපාලන බලපෑම් මත සිදු කර ඇතැයි සාක්ෂිකරු එහි දී ප්‍රකාශ කළේය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තමා එම චාරිකාවේ දී දින 03ක දී බ්‍රිතාන්‍ය පවුම් 2,000ක් පමණක් වැය කර තිබූ බවයි.

සත්‍ය තොරතුරු වසන් කරමින්, දේශපාලන බලපෑම් හමුවේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සිදු කළ එම කටයුත්ත නිසා තමාගේ කීර්තිනාමයට මෙන්ම ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් තමාට හිමි විය යුතු වරප්‍රසාද රැසක් අහිමි වූ බව සාක්ෂිකාර රෝහිත බෝගොල්ලාගම මහතා අවධාරණය කළේය.

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, දේශපාලන බලපෑම් හමුවේ රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයන්ට විවිධ සාවද්‍ය චෝදනා ගොනු කරමින් නඩු පවරා ඇති අවස්ථා දැක්වෙන හඬ පට කිහිපයක් සාක්ෂිකාර රෝහිත බෝගොල්ලාගම මහතා කොමිසමට සාක්ෂි ලෙස ඉදිරිපත් කළේය.

ඒ අනුව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමඟ කළ දුරකථන සංවාදයක හඬ පටයක් කොමිසම හමුවේ වාදනය කළේය.

එම හඬ පටය අනුව දිල්රුක්ෂි ඩයස්, නිශ්ශංක සේනාධිපති මහතා හමුවේ කියා සිටියේ " මම නීතිය කඩන්නත් දන්නවා. හදන්නත් දන්නවා. කාලකන්නි දේශපාලන බලපෑම් නිසා මේවා කරනවා. නැතිනම් මම නඩු දාන්නේ නැහැ යන්නයි. "

තමා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී, රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල ඇමැති ධුරයක් දැරීම හේතුවෙන් තමාට දේශපාලනික වශයෙන් බලපෑම් කිරීමට යහපාලන ආණ්ඩුව එලෙස කටයුතු කළ බව සාක්ෂිකාර රෝහිත බෝගොල්ලාගම මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

අසේල ලියනගේ

නව අදහස දක්වන්න