මැ.කො.ස.ගේ විවරණය...! | දිනමිණ


 

මැ.කො.ස.ගේ විවරණය...!

මැතිවරණ කොමිස‍ෙම් සභාපතිවරයා, මාධ්‍ය ප්‍රධානීන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වීය. එහිදී ඉදිරි මැතිවරණයට අදාළ වැදගත් තොරතුරු රාශියක් හෙළිදරව් කළ අතර ජනතාවට හා ජනමාධ්‍යයට ගැළපෙන ප්‍රධාන සාධක දෙකක් කෙරෙහි අපගේ අවධානය යොමු වෙයි. පළමු සාධකය වන්නේ මැතිවරණය හා ජනමාධ්‍යයේ කාර්යභාරය යන්නය. දෙවන සාධකය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා මහජන සහභාගිත්වය යන්නය. මේ සාධක දෙක රටේ දේශපාලනය කෙරෙහි ද ජාතියේ ඉදිරි ගමන කෙරෙහි ද ඍජු බලපෑමක් ඇති කරන බව අපගේ පිළිගැනීමය. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රබල කතිකාවක් පවතින ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයක සියලු ඡන්දදායකයන් සිය ඡන්දය භාවිත කළ යුතුය. එහෙත් එය එසේ සිදු වන්නේ නැත.

ඡන්ද පොළ වෙත ජනතාව ගෙන්වා ගැනීමේ වගකීම ද ඡන්ද නීති පිළිබඳ මහජනයා දැනුම්වත් කිරීමේ වගකීම ද ජනමාධ්‍ය වෙත පැවරෙන බව කොමිසමේ සභාපතිවරයා අවධාරණය කරයි. එහෙත් එම වගකීම නිසි ලෙස ඉටු නොවන බව ද සභාපතිවරයා පෙන්වා දෙයි. මෙය හුදු විවේචනයක් ලෙස බැහැර කළ නො හැකිය. පුරවැසියා සතු ඡන්ද අයිතියේ වටිනාකම ගැන ද, මැතිවරණ පැවැත්වීමේ වටිනාකම ගැන ද කරුණු දැක්වීමට ජනමාධ්‍ය ඉදිරිපත් වන්නේ කලාතුරකින්ය. දේශපාලන පක්ෂවල හා එම පක්ෂවල නියෝජිතයන්ගේ ප්‍රකාශවලට ප්‍රචාරයක් ලබාදීමට බොහෝ ජනමාධ්‍යවල ඉඩකඩ හා අවකාශය වෙන් වෙයි.

ඉහත තත්ත්වය වෙනස් විය යුතු බව අපගේ ද අදහස වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය වන මූලික කොන්දේසියක් වන්නේ මැතිවරණ පැවැත්වීම ය. නැත හොත් ජනතාවගේ අභිමතයට ඉඩහසර ලබාදීම ය. එහෙත් අපේ රටේ පවතින්නේ මැතිවරණ හැකි තාක් කල් තබන දේශපාලන ක්‍රමයකි. පළාත් සභා මැතිවරණය තවම පවත්වා නැත. පළාත් පාලන මැතිවරණය පැවැත්වූයේ වසර දෙකකට ආසන්න කාලයක් ප්‍රමාද වීමෙන් පසුවය. ආණ්ඩු මෙන් ම දේශපාලන පක්ෂ ද ඊට වගකිව යුතුය. ජනතාව ඒ සම්බන්ධයෙන් ප්‍රබල හඬක් නැංවීමෙන් බැහැර ව සිටීම ද නරක තත්ත්වයකි. මේ සියල්ල සම්බන්ධයෙන් ජනමාධ්‍ය යම් ආකාරයකින් වගකිව යුතුය.

ශ්‍රී ලංකාව තුළ ඇත්තේ ජනමාධ්‍ය සමාජයක් යැයි මතයක් පවතී. එහි අර්ථය වන්නේ පොදු ජනයාගේ සිතුම් - පැතුම් ආකල්ප හා මතවාද ජනමාධ්‍ය විසින් තීරණය කරනු ලබන බව ය. එම අදහසට අනුව ඡන්ද පොළට ජනතාව ගෙන්වා ගැනීම සඳහා මාධ්‍ය මෙහෙයුමක් ජනමාධ්‍ය ආයතන ආරම්භ කළ යුතුය. ඡන්දදායකයන්ගෙන් 80% ක් ඡන්දය පාවිච්චි කරන්නේ නම්; එය සතුටුදායක තත්ත්වයක් බව සභාපතිවරයා පෙන්වා දෙයි. එහෙත් මෙරට මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමේ ප්‍රතිශතය 70% ඉක්මවන්නේ කලාතුරකින්ය. මේ තත්ත්වය වෙනස් කිරීමේ හැකියාව ජනමාධ්‍යයට තිබේ. අපි එය පිළිගනිමු. ඒ සඳහා නිර්මාණාත්මක සහභාගිත්වයක් දැක්වීමට සෑම මාධ්‍ය ආයතනයක්ම ඉදිරිපත් විය යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදය මිල අධික බවත්, ඒකාධිපතිවාදයට මිල අඩු බවත් කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙයි. එය කදිම ප්‍රකාශයකි. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රවේශ වන්නේ ක්‍රමික ගමනකින් පසුවය. 1910 මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගින් ජනගහනයෙන් 4% කට පමණ ඡන්ද අයිතිය ලැබිණි. 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගින් එම තත්ත්වය තවදුරටත් පුළුල් විය. 1947 කෝල්බෲක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගින් ඡන්ද අයිතිය වඩාත් පුළුල් විය. අද වන විට වයස අවුරුදු 18ට වැඩි සියලු පුරවැසියන්ට ඡන්ද අයිතිය හිමි වේ. එය ප්‍රජාතන්ත්‍රීය අයිතියක් වන අතර පුද්ගලයාට ලැබෙන වටිනාකමක් ලෙස ද සැලැකිය හැකිය. මේ වටිනාකම සුරක්ෂිත කළ යුතුව තිබේ.

රටේ අනාගතය යනු ජනතාවගේ අනාගතය යි. එම අනාගතය තීන්දු කරන ප්‍රධාන බලවේගය වන්නේ දේශපාලනයයි. ආර්ථිකය, සමාජ ක්‍රමය, අධ්‍යාපනය, සදාචාරය යන සෑම අංශයකම ඉදිරි පැවැත්ම ඇත්තේ දේශපාලනය මතය. එකී දේශපාලනයට ජනතාව හවුල් විය යුත්තේ ඡන්දයේ මාර්ගයෙන්ය. තමන් කැමැති අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට පත් කිරීමටද, අකැමැති පුද්ගලයන් පරාජය කිරීමට ද භාවිත කළ හැකි ආයුධය ඡන්දය වෙයි. මැතිවරණයක දී තම ඡන්දය භාවිත නොකර සිටීම එක අතෙකින් ජාතික අපරාධයක් සේ සැලැකිය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වන්නේ මැතිවරණ සඳහා පොදු ජනයාගේ සහභාගිත්වය වැඩි වූ තරමටය.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක නිදහස ජනමාධ්‍ය සම්ප්‍රදායක් පවතින්නේ යැයි කියූව ද ශ්‍රී ලංකාව තුළ වරින් - වර එය බිඳී ගොස් තිබේ. එකිනෙක ආණ්ඩු අඩු-වැඩි වශයෙන් ජනමාධ්‍යයට බලපෑම් සිදු කර ඇත. එහෙත් අද වනවිට ජනමාධ්‍යය නායකයන්ගේ බලපෑමෙන් නිදහස් යැයි සහතික වශයෙන් කිව හැකිය. ඒ අනුව සියලු පක්ෂවලට සමාන ඉඩ-කඩ හා අවකාශ ලබාදීමේ ගැටලුවක් මතු වන්නේ නැත. රාජ්‍ය මාධ්‍ය පවා ස්වාධීන ලෙස ක්‍රියා කරන ආකාරයක් දකින්නට ලැබේ. මේ නිදහස් පරිසරය භාවිත කරමින් ම ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම හා මැතිවරණයේ වැදගත්කම ජනතාවට කියා දෙන්නට පුළුවන. එය දේශපාලන ක්‍රමයට අලුත් ප්‍රවේශයක් වන්නටත් පුළුවන.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ මැතිවරණ විවරණය අප කාටත් එක සේ වැදගත්ය. ඇතැම් ජනමාධ්‍යකරුවන්ගේ අවධානය යොමු වන්නේ කොමිසමේ නියෝජිතයන්ගේ ප්‍රකාශ හා වෙනත් වල්පල් කෙරෙහි ය. ඕපාදූප ජනමාධ්‍යයට අවශ්‍ය බව ඇත්තකි. එහෙත් එම ඕපා-දූප පළ කරන අතරම ජාතික වගකීම් ඉටුකිරීමට ද ජනමාධ්‍ය බැඳී සිටී. අපගේ අදහසට අනුව සභාපතිවරයාගේ විවරණය ජනමාධ්‍යකරුවාගේ බුද්ධියට ආමන්ත්‍රණය කරයි. මාධ්‍යකරුවා ප්‍රජාතන්ත්‍රවාදය දෙසත් පොදු ජනයාගේ අයිතිවාසිකම් හා යුතුකම් දෙසත් ආපසු හැරී බලන්නට උත්තේජනයක් ඉහත විවරණයෙන් ලබා ඇත.

 

 

නව අදහස දක්වන්න