ආසියානු කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට | දිනමිණ


 

ආසියානු කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

නිරෝෂාන් ප්‍රියංකර

වසරකින් කල් ගිය තරගාවලිය ජූනි මාසයේ

මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය කොරෝනා වසංගතයේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් වසරකින් ලක් දැමීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කරයි.

මේ වසංගත හේතුවෙන් රටවල සංචාරක සීමා කිරීම්, ඒ ඒ රටවල විශේෂිත නිරෝධායන අවශ්‍යතා, මූලික සෞඛ්‍ය අවදානම් සහ සමාජ දූරස්ථභාවය වැනි කරුණු මේ තරගාවලිය පැවැත්වීමට සැලකිය යුතු අභියෝගයක් වී තිබේ. තරගාවලියට එක් වන ක්‍රීඩකයන්, සහායක කාර්ය මණ්ඩලය, වාණිජ හවුල්කරුවන් සහ ප්‍රේකෂකයන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සම්බන්ධ ආරක්ෂාවට ප්‍රමුඛත්වයද දෙමින් මේ තීරණය ගෙන තිබේ.

තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට පිරිනමා ඇති අතර, ඒ අනුව වසරකින් කල් දැමුණු තරගාවලිය ලබන වසරේ ජූනි මාසයේදී පැවැත්වීමට නියමිතය.

මේ වසරේ තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට හිමිව තිබූ අතර, කොරෝනා වසංගතයත්, ඉන්දියාවේ විරෝධයත් හේතුවෙන් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරන ලෙස ආසියානු ක්‍රිකට් කවුන්සිලය මින් පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබිණි. ඒ අනුව තරගාවලිය සැප්තැම්බර් මාසයේදී මෙරටදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු සූදානම් කළ අතර, ඊට රජයේ අවසරයද හිමි විය. රජයේ සහ සෞඛ්‍ය අංශවල කොවිඩ් වසංගතයට අදාළ රෙගුලාසිවලට අනුව තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් සිටියේය.

පාකිස්තාන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනවල එකඟත්වයෙන් මේ තරගාවලියේ සත්කාරකත්වය හුවමාරු වූ අතර, මේ වසර වෙනුවට 2022දී ශ්‍රී ලංකාවට හිමිව තිබූ සත්කාරකත්වය පාකිස්තානයට ලබාදීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ලබන වසරේ තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අතර, 2022 තරගාවලිය පාකිස්තානයේදී පැවැත්වීමට නියමිතය.

තරගාවලිය පිළිබඳ නිල නිවේදනය ආසියානු කුසලාන ක්‍රිකට් කවුන්සිලය විසින් පෙරේදා නිකුත් කළද, ඉන් පෙර ඉන්දීය ක්‍රිකට් සභාපති සව්රව් ගන්ගුලි මහතා ප්‍රකාශ කර සිටියේ මෙවර තරගාවලිය අවංලගු කළ බවයි.

කෙසේ වෙතත් කොරෝනා වසංගතයත් සමඟ ඉන්දියාව මේ තරගාවලිය පැවැත්වීමට මුල සිටම අක­ැමැත්තක් දැක්වූයේ ඔවුනට ඉන්දියාවේ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය වන අයිපීඑල් තරගාවලිය පැවැත්වීමේ අවශ්‍යතාව දැඩිවී තිබීම හේතුවෙනි. එම තරගාවලිය මේ වසරේ නොපැවැත්වේ නම් ඉන්දීය රුපියල් කෝටි 4000කට ආසන්න මුදලක් ඉන්දීය ක්‍රිකට් ආයතනයට අහිමි වෙයි. ඒ හේතුවෙන් ඔවුන් මුල සිටම ආසියානු තරගාවලිය පැවැත්වීමට අක­ැමැත්ත පළ කර අතර, පාකිස්තානය සහ බංග්ලාදේශය ලබන සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී තරගාවලිය පැවැත්වීම පිළිබඳව කැමැත්ත පළ කර තිබිණි.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වීමට කළින් සැලසුම් කර තිබු අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තවමත් ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැත. දැන් ඉන්දියාව ඒ දෙස වැඩි අවධානයක් යොමු කර ඇත්තේ එම තරගාවලියේ තීරණයත් සමඟ අයිපීඑල් තරගාවලිය දින නියම කර ගැනීමේ බලාපොරොත්තුවෙනි.

ආසියානු කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය නිත්‍ය සාමාජිකයන් ලෙස සහභාගී වන අතර, ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමද මීට එක් වෙයි. ඒ සඳහා කුවේට්, සිංගප්පූරුව, හොංකොං හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන කණ්ඩායම් අතර සුදුසුකම් ලැබීමේ තරගාවලිය පැවැත්වෙයි.

මේ තරගාවලිය 2016දී විස්සයි20 තරගාවලියක් ලෙස පැවැති අතර අවසන් වරට 2018දී එක්දින තරගාවලියක් ලෙස පැවැත්විණි. 2016දී මෙන්ම 2018 වසරේදීත් ඉන්දියාව ශූරයන් බවට පත් වූ අතර, එම අවස්ථා දෙකේදීම බංග්ලාදේශයට අනුශූරතාව හිමි විය.

ශ්‍රී ලංකාව මේ තරගාවලියේදී 5 වරක් ශූරයන් බවට පත්ව ඇති අතර, ඉන් අවස්ථා 3කදී සත්කාරකයන් ලෙසද කටයුතු කර තිබේ.

නව අදහස දක්වන්න