ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයන් අතර කිසිදු ගැටුමක් නෑ | දිනමිණ


 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂකයන් අතර කිසිදු ගැටුමක් නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ අනුරාධ ජයරත්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් අතර කිසිදු ගැටුමක් නොමැති බවත්, මනාප ක්‍රමයේ ඇති වන ගැටලු අද පමණක් නොව මේ මැතිවරණ ක්‍රමය ආරම්භ වූ දිනයේ සිටම පැවති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ අනුරාධ ජයරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවැසුවේ මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

එකල මනාප ගැටුම් ගහ මරා ගැනීම් දක්වා ඉහළ ගියා. නමුත් අද එවැනි තත්ත්වයක් දක්නට නෑ. මේ වන විට එය ක්‍රියාත්මක වන්නේ වචන හරඹයක් ලෙසින්. මනාප තරගයේ දී මේ ආකාර මත ගැටුම් ඇති වන්නේ එකම පක්ෂයේ අපේක්ෂකයන් අතර. ජනතාව අවශ්‍ය වෙලාවට බුද්ධිමත්ව තීරණය කර තමන්ගේ ඡන්දය භාවිත කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද නිවැරැදි මාවතට වැටී තිබෙනවා. දැන් කළ යුත්තේ සියලු දෙනා එකට එකතු වී තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබාගෙන ජනපති ශක්තිමත් කිරීමයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ලෙස කටයුතු කරද්දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහිතව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයේ කටයුතු කරන ආණ්ඩුවක් ගොඩනැඟීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව සිටින සියලු පක්ෂ කටයුතු කළ යුතුව තිබෙනවා.

MCC ගිවිසුම රටේ ව්‍යවස්ථාවට පටහැණි එකක් බව ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර තිබෙනවා. කිසිදු අයුරකින් ව්‍යවස්ථාවට පටහැණිව තීරණ ගැනීමට ජනපති හෝ අගමැති කටයුතු කරන්නේ නෑ.

මගේ පියාණන් වූ දි. මු. ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 වන සාමාජිකයා. ඒ මහතා මිය ගියේ ද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු ලෙසින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක මතයක සිට කටයුතු කිරීම පිළිබඳව ඒ මහතා එදා සිට සිහින දුටුවා.

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න