ආරච්චිකට්ටුවේ නිදන් හාරන්න ගිය ප්‍රා. සභා මන්ත්‍රී කොටු | දිනමිණ


 

ආරච්චිකට්ටුවේ නිදන් හාරන්න ගිය ප්‍රා. සභා මන්ත්‍රී කොටු

ආරච්චිකට්ටුව, වෛරන්කට්ටුව ප්‍රදේශයේ නිධානයක් ගොඩගැනීමට ගිය හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් පසුගියදා (08) ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි. මේ පිරිසට පුද්ගලයන් දස දෙනකු ඇතළත් වන අතර ඔවුන් වත්තල, බොරැල්ල, රාගම, ආරච්චිකට්ටුව ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවෝ වෙති.

පොලිසිය මේ ස්ථානය වටලන අවස්ථාවේදී මේ පිරිස බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් විශාල වළක් හාරමින් සිට ඇති අතර ඒ ආසන්නයේ බිත්තර, සුර, විවිධ මල් වර්ග, තෙල් වර්ග ඇතුළු භාණ්ඩ රැසක් එහි තිබී ඇත. මෙහිදී පොලිසිය වහා ක්‍රියාත්මක වී සැකකරුවන් මේ ස්ථානයට පැමිණි මෝටර් රථ දෙකක්, බැකෝ යන්ත්‍රය ඇතුළු වළ හැරීමට භාවිත කළ උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට පත් වූ කල්ලියේ නායකයා ලෙස සැලකෙන හිටපු වත්තල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවෙකු වන අතර එහෙත් මොහු පෙනී සිට ඇත්තේ නීතිඥයකු ලෙසිනි.

මේ කල්ලියට යකදුරකුද ඇතුළත්ව සිටි අතර ඔහු විසින් හිටපු මන්ත්‍රීවරයාට මේ නිධානය පිළිබඳ විස්තර ලබා දී සුර කිහිපයක්ද පැලඳ ගැනීමට ලබා දී ඇත.

සැකකරුවන් පසුගියදා (09) හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ආරච්චිකට්ටුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ප්‍රසාද් පූර්ණමාල්

පුත්තලම දිසා සමූහ

නව අදහස දක්වන්න