දෙවන රැල්ලකට ඉඩ දෙන්න එපා! | දිනමිණ


 

දෙවන රැල්ලකට ඉඩ දෙන්න එපා!

ශ්‍රී ලාංකිකයා යනු ඉතා ඉක්මනින් බොහෝ දේවල් අමතක කරන ජාතියකි. රටේ පුරවැසියන් පමණක් නොව; දේශපාලන නායකයෝ ද මේ පුරුද්දට ගොදුරු වී සිටිති. ගිය ආණ්ඩුවේ නායකයෝ රටේ ත්‍රස්තවාදයක් පැවැති බව ද, අන්තවාදයක් පවතින බව ද අමතක කළහ; තිස් අවුරුදු යුද්ධයක් පැවැති බව ද අමතක කළහ. ඒ අනුව පාස්කු ප්‍රහාරයට පාර කැපිණි. ප්‍රහාරය නිසා රටට බලවත් හානියක් සිදු විය. සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලින් පැහැදිලි වන්නේ රටේ හිටපු නායකයන් අවදියෙන් සිටියේ නම්; ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබුණු බවය. අතීතය අමතක කරන අයට පාස්කු ප්‍රහාරය හොඳ පාඩමකි.

යුද්ධය අමතකය. ත්‍රස්තවාදය අමතකය. අන්තවාදය අමතකය. මේ වන විට කොරෝනා වසංගතයත් බොහෝ දෙනෙකුට අමතකය. සමහරු මුහුණු ආවරණ නැතිව ප්‍රසිද්ධ ස්ථානවල හැසිරෙති. තව සමහරු සමාජ දුරස්ථභාවය තඹ දොයිතුවකට නොසලකති. තවත් සමහරු කාර්යාල ඉදිරිපිට ඇති වතුර බේසම දෙස හොරැහින් බලා දෑත ඇඳුමේ පිසදා ගෙන පරිශ්‍රවලට ඇතුළු වෙති. තමන් තමන්ටම වංචාවක් කරගන්නා බව පෙනී යයි. මේ ‍බොරුව කරන්නේ කාට ද? එහි ප්‍රතිඵල භුක්ති විඳින්නෝ කවරහු ද? අපි අපගේම හෘදය සාක්ෂියෙන් විමසා එය දැනගත යුතුය. කොරෝනා වසංගතය මුළුමනින් පරාජය කොට නැත. අපි ඉදිරියෙහි අවදානමක් පවතී.

‍කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන වැදගත්ම සාධකයක් තිබේ. එනම් තවත් වසර කිහිපයක් යන තුරු කොවිඩ්-19 වයිරසය සමඟ ජීවත් වීමට ලෝකවාසීන්ට සිදු වන බවය. ඉතිහාසය දෙස බලන විට පෙනී යන්නේ වසංගත රෝග නිසා ලෝකය විනාශ වූයේ නැති බවය. සිදු වී ඇත්තේ මිනිසා වසංගත සමඟ ජීවත් වෙමින් ඊට එරෙහිව සටන් වැදීමය. මේ ගමන් මගෙහිදී වසංගත පරාජය වූවා මිස මිනිස් සමාජය පරාජයට පත් වූයේ නැත. ඉන් හැඟවෙන අර්ථය වන්නේ සටන් වැදිය යුතු කාලයක් පැමිණ ඇති බවය. කොවිඩ්-19 වයිරසයට එරෙහිව සටන් වැදිය හැක්කේ සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්වලින් සන්නද්ධවීමෙන් පමණි.

කාර්යාලයක් දෙස බලමු! මුව ආවරණ පලඳින අයට වඩා නොපළඳින අය වැඩිය. ප්‍රසිද්ධ ස්ථාන දෙස බලමු! සමාජ දුරස්ථභාවය ඇත්තේම නැත. බස් රථවල, දුම්රියවල එකා පිට එකා නැගී ගමන් කරති. මුව ආවරණ නැතිව සමාජ කාර්යයන්හි යෙදීම වීරකමක් සේ සලකන අය ද සිටිති. මුව ආවරණ නැතිව ප්‍රසිද්ධ ස්ථානවල හැසිරීම දඬුවම් ලැබිය හැකි වරදක් සේ සලකන මුත් එය හරිහැටි ක්‍රියාත්මක නොවන බව පෙනෙයි. කෙනෙකුගේ මුව ආවරණය ඇත්තේ බෙල්ලෙහිය. තව කෙනෙකුගේ මුව ආවරණය ඇත්තේ අතෙහිය. තවත් කෙනෙකුගේ මුව ආවරණය ඇත්තේ සාක්කුවෙහිය; නැතහොත් බෑගය තුළය. එය පුදුමාකාර සෞඛ්‍ය පිළිවෙතකි.

කොරෝනා දෙවන රැල්ලට බොහෝ රටවල් මුහුණ දෙති. චීනය ඊට මුහුණ දුන්නේය. දකුණු කොරියාව ද ඊට මුහුණ දුන්නේය. අමෙරිකාව තුළ පවතින්නේ වසංගතයේ කීවෙනි රැල්ල ද යන්න කිසිවකුටත් කිව නොහැකිය. එබඳු බරපතළ තත්ත්වයක් අමෙරිකාව තුළ පවතී. ජනාධිපති ට්‍රම්ප්ගේ හිතුවක්කාරී පාලනය මීට එක හේතුවක් යැයි සමහරුන් පෙන්වාදී ඇත. අසල්වැසි ඉන්දියාවේ තත්ත්වයද බැරෑරුම් බව පෙනී යයි. වසංගතයේ බරපතළකම අනුව ලෝකයේ දෙවන හෝ තෙවන හෝ ස්ථානය ඉන්දියාවට හිමි වෙයි. අමෙරිකාව එහි පළමු ස්ථානයේ සිටී. මේ රටවලින් ද පාඩම් ඉගෙන ගනිමින් වසංගතයට අප මුහුණ දිය යුතුව තිබේ. ශ්‍රී ලංකාව තුළ කොරෝනා දෙවන රැල්ලක් ආරම්භ වී නැතත් එබඳු අවදානමක් පවතී.

කන්දකාඩු කඳවුරේ සිද්ධිය නිසා කොරෝනා වසංගතයේ දේශීය තත්ත්වය යළිත් වෙනස් වී ඇත. මීට දින දෙකකට කලින් රෝගීන් තුන්සිය ගණනක් අලුතින් හඳුනාගන්නට ලැබී ඇත. එක දිනයක් තුළ රෝගීන් වැඩිම ගණනක් වාර්තා වී තිබුණේ පසුගිය අටවනදාය. මෙය හොඳ තත්ත්වයක් නොවේ. කන්දකාඩු කඳවුර සුවි‍ශේෂ නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස සැලකේ. එහි නිරෝධායනයට ලක් වන පිරිස මත්ද්‍රව්‍ය භාවිතය මත පුනරුත්ථාපනයට ලක් වන කණ්ඩායමකි. ඔවුන් සමඟ ගනුදෙනු කළ යුත්තේ සුපරික්ෂාකාරී ලෙසය. මේ කඳවුරට සේවය ලබා දෙන උපදේශකයකුට ද වයිරසය ආසාදනය වී තිබේ. මෙය අවදානම් සහගත තත්ත්වයක් සේ සැලකිය හැකිය.

ශ්‍රී ලංකාව තුළ කොරෝනා දෙවන රැල්ලක් මතු වන්නේ නම් එය නොසැලකිල්ල හා සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකිරීම නිසා ඇති විය හැක්කක් බව අපගේ පිළිගැනීමය. අප එසේ අවධාරණය කරන්නේ වසංගතය මර්දනය කිරීම සඳහා ගත යුතු සෑම පියවරක්ම රජය ගෙන ඇති බැවින්ය. රාජ්‍ය නිලධාරීන් සේම පොදු ජනතාව ද රජයේ උපදේශන පිළිපදිමින් ක්‍රියා කරන්නේ නම්, රෝගය ව්‍යාප්ත වීමට හේතුවක් නැත. කොරෝනා වසංගතය මර්දනය කොට ජන ජීවිතය යථා තත්ත්වයට ගත් සෑම රජයක්ම සෞඛ්‍ය පිළිවෙත් අකුරටම අනුගමනය කර තිබේ; දැනට ද අනුගමනය කරමින් සිටී. කොරෝනා වසංගතය සමඟ ජීවත්වීම යනු එම සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමය.

අපේ රට හැඳින්වෙන්නේ කොරෝනා වසංගතය සාර්ථකව මර්දනය කරමින් සිටින රාජ්‍යයක් හැටියටය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා එය පිළිගනී. වසංගතය පරාජය කරන අතර ජන ජීවිතය යථා තත්ත්වයට ගැනීමට ද ආර්ථිකය පණ ගැන්වීමට ද ඉතා බුද්ධිමත් ක්‍රියාමාර්ග ගණනාවක් රජය ගෙන තිබේ. විශේෂයෙන් වසංගතය කළමනාකරණයට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග බොහෝ දෙනකුගේ පැසසුමට ලක් විය. කොරෝනා දෙවන රැල්ලක් ඇති වුව හොත් යළිත් අපට මුලට යන්නට සිදුවේ. මුල සිට නැඟී සිටින්නට සිදු වේ. මේ තත්ත්වය මඟහැර යා හැක්කේ රජය මෙන්ම ජනතාව ද තම වගකීම් හා යුතුකම් කෙරෙහි නැවත නැවත සලකා බැලීමෙන්ය.

නව අදහස දක්වන්න