ගෞරවනීය-ඵලදායී-ඍජු තීන්දු ගන්නා රාජ්‍ය සේවකයකු බිහි කිරීම අත්‍යවශ්‍යයි | දිනමිණ


 

ගෞරවනීය-ඵලදායී-ඍජු තීන්දු ගන්නා රාජ්‍ය සේවකයකු බිහි කිරීම අත්‍යවශ්‍යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ආචාර්ය නාලක ගොඩහේවා

ගෞරවනීය සහ ඵලදායී ඍජු තීන්දු තීරණ ගත හැකි රාජ්‍ය සේවකයකු සහ රාජ්‍ය සේවාවක් මෙරටේ ඇති කිරීම නව රජයේ ප්‍රමුඛ කාර්යයක් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක, ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ පසුගිය දා ගම්පහ පැවති ජන හමුවකදීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ රාජ්‍ය සේවකයාගේ පිට කොන්ද කඩමින් එම සේවය හෑල්ලුවට ලක් කළා. එහෙත් වත්මන් රජය පැමිණි මොහොතේ සිට යළි එම තත්ත්වය වෙනස් කර රාජ්‍ය සේවය ගෞරවනීය සේවයක් බවට පත් කළා.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද රාජ්‍ය නිලධාරියකු ලෙස හසල දැනුමක් සහ අත්දැකීම් ඇති නායකයෙක් නිසා ඔහු සෑම විටම රාජ්‍ය සේවකයාට නිසි තැන දෙමින් ගිලිහී ගොස් තිබු ගෞරවය නැවත ලබා දෙමින් සිටිනවා. කොරෝනා වසංගතය ද නිසි ලෙස පාලනය කර ගත හැකි වූයේ රාජ්‍ය සේවකයන්ට ඔවුන්ට අවශ්‍ය පරිදි නිදහසේ තීන්දු තීරණ ගැනීමට ඉඩ ලබා දුන් නිසයි. රටක් ඉදිරියට යෑමට නම් සුදුසු පුද්ගයාට සුදුසු තැන ලබා දිය යුතුයි. මට ද රාජ්‍ය සේවයේ බොහෝ අත්දැකීම් තිබෙනවා. උගත්, බුද්ධිමත් සහ සංවර්ධනයට දායකත්වයක් ලබා දිය හැකි පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවීමට සිය කතිරය පාවිච්චි කරන්න.

යහපාලන ආණ්ඩුව ඇවිත් මුලින්ම පළිගන්න පටන් ගත්තේ රාජ්‍ය සේවකයන්ගෙන්. රාජ්‍ය සේවකයන් හිරේ දැම්මා. විවිධ බලපෑම් කළා. එ්කෙන් වුණේ රජයේ සේවකයන් තීන්දු තීරණ ගන්න, වැඩ කරන්න බිය වීමයි. දවසින් දවස රාජ්‍ය සේවය බිඳ වැටෙන්න ගත්තා. දක්ෂ නිලධාරීන් නිහඬ වුණා.

මේ නිසා තමයි අපිටත් සිදු වුණේ මේ අසාධාරණයට එරෙහිව නැඟී සිටින්න. ඒ ගැන අපි කිහිප දෙනෙක් දිගින් දිගටම සාකච්ඡා කර ‘වියත් මඟ‘ නිර්මාණය කළා. ඊට නායකත්වය දෙන්න ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කර ගත්තා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි ජනතාව අතරේ පවා කතාබහක් ඇති වෙන්න ගත්තේ පාර්ලිමේන්තුවට යා යුත්තේ උගත්, බුද්ධිමත් පුද්ගලයන් කියලා.

අද ඇතැම් පුද්ගයන්ගේ කතාබහ දිහා බලන්න. ඒ අයට පාර්ලිමේන්තුවක් තියා ගමේ සමිතියක නිලතලයකටවත් ගැළපෙන්නේ නෑ. අපි කුමන තැනකට කවුරුන් පත් කර ගත්තත් ඒ කෙනාගෙන් සමාජයට වගේම රටට වැඩක් ගන්න පුළුවන්කම ලැබෙන්න ඕනැ. ඒ නිසා මම ජනතාවගෙන් ඉල්ලන්නේ මෙවර කතිරය භාවිත කරද්දී දෙවරක් සිතා නිවැරැදි කෙනාම තෝරා පත් කර යවන්න කටයුතු කරන්න කියලා.

නුවන් කොඩිකාර

නව අදහස දක්වන්න