ඡන්ද නීති කැඩුවොත් ප්‍රජා අයිතියත් අහෝසි විය හැකියි | දිනමිණ


 

ඡන්ද නීති කැඩුවොත් ප්‍රජා අයිතියත් අහෝසි විය හැකියි

මැතිවරණ කොමිසමේ සභාපති - මහින්ද දේශප්‍රිය

අප දේශපාලනයේ නියැළී ඉන්න  හැමෝගෙන්ම  ඉල්ලනවා දේශපාලන  කටයුතුවලට පූජා භූමි යොදා ගන්න එපා කියලා. මේ කාරණයත්  අයුතු බලපෑම් කියන  වරදට යටත් වෙනවා. දැනට මෙවැනි  පැමිණිලි හතරක් අපට ලැබිලා  තිබෙනවා.

 

ඉදිරි මැතිවරණයට මැතිවරණ කොමිසමේ සූදානම, එහිදී ජනතාව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග, පවතින තත්ත්වය මැතිවරණය කෙරෙහි බලපාන ආකාරය ආදිය පැහැදිලි කරමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමඟ කළ සාකච්ඡාවකි.

 

කොවිඩ් වසංගත තත්ත්වය නිසා කල් ගිය මැතිවරණය අගෝස්තු මාසයේ පැවැත්වීමට තීරණය කර තබෙනවා. ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටෙවුවට පසුව පවත්වන පළමු මහ මැතිවරණය එළඹෙන මැතිවරණය, ඒ ගැන මොනව ද ඔබ කියන්නේ?

ඔව්. කොමිසම පිහිටුවූ පසු පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය තමයි මේ තියන්නේ. ඊට ඉස්සරලා ජනාධිපතිවරණය තිබ්බා. ඒකත් මහ මැතිවරණයක්. අපේ රටේ කියලා මැතිවරණ කොමිෂන් සභාවට අමුතුවෙන් ස්වාධීන කියන්ට අවශ්‍ය නැහැ. මැතිවරණ දෙපාර්තමේන්තුව තියෙද්දිත් ස්වාධීනව තමයි තිබුණේ. කවුරුත් ඒකට ඇඟිලි ගහන්න ආවේ නැහැ. කාටවත් ඕනෑ විදිහට වැඩ කළෙත් නැහැ. අපට තියෙන ගැටලුව කොරෝනා වසංගතයත් එක්ක මැතිවරණය කොහොම ද තියන්නෙ කියන එක විතරයි. ඡන්ද පොළේදී මුහුණු ආවරණ දාගෙන ඉන්නට ඕනෑ. දෑත් පිරිසුදු කරගන්න ඕනෑ, මීටරේ දුර තියාගන්න ඕනෑ.

 

 

පසුගිය මැතිවරණවලදී මෙවැනි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒත් වත්මන් තත්ත්වය අනුව මැතිවරණ රාජකාරිය සඳහා නිලධාරින් යෙදවීමේ ගැටලුවක් තිබෙනව ද?

ඡන්ද මධ්‍යස්ථානවලවලට යොදවන නිලධාරින්ගේ වෙනසක් නැහැ. නමුත් සෞඛ්‍ය උපදෙස් සඳහා ඡන්ද පොළවල් දෙකකට වගේ එක නිලධාරියෙක් යෙදවීමට සිදුවෙනවා. විශේෂයෙන් පවුල් සෞඛ්‍ය නිලධාරින්ට ඔවුන්ගේ මෝටර් සයිකලයෙන් යාබඳ ඡන්ද පොළවලට යෑමට සිදුවෙනවා. ඊට අමතරව අපේ සහකාර තේරිම්භාර නිලධාරින් ජංගම මුර රථයෙන් යවනවා වගේ ම, වෛද්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුත් ඡන්ද පොළවල්වලට යවන්න සිදුවෙනවා.

 

 

ඡන්ද අපේක්ෂකයන් විසින් අනුගමනය කළ යුතු ආචාරධර්ම පද්ධතියක් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළා. ඒ අනුව මැතිවරණ අපේක්ෂකයන් කටයුතු කරන බව නිරීක්ෂණය වෙලා තිබෙනවා ද?

ආචාර්ධර්ම තියා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, මැතිවරණ නීති රීතිත් කඩන අපේක්ෂකයන් ප්‍රමාණය වැඩි බවක් පේනවා. අපේක්ෂකයන් නවදහස් ගණනක් ඉන්නවා, නමුත් ඉන් ක්‍රියාකාරිව ඉන්නෙ දහසක් වගේ පිරිසක්. මේ දාහෙන් සියයක විතර අපේක්ෂක පිරිසක් ඉතා තදින් ම නීති කඩන බව පේන්න තියෙනවා.

 

 

පසුගිය කාලවලට වඩා දැන්වීම් ප්‍රචාරණ සහ වේදිකාවල ප්‍රචාරණ අඩු බවක් පේන්න තියෙනවා. නමුත්, අන්තර්ජාල භාවිතය, සමාජ මාධ්‍ය භාවිතය වැඩිපුර දකින්න තිබෙනවා. සමාජ ජාල භාවිතය ගැන ඔබේ නිරීක්ෂණය කවරක් ද?

සමාජ ජාල ප්‍රචාරණ කටයුතු කරන එක හොඳ වුණත්, ව්‍යාජ ප්‍රචාරණ කටයුතු සිදු කෙරෙනවා. ව්‍යාජ තොරතුරු සමාජගත වෙන එක වැඩිපුර දකින්න ලැබෙන්නේ සමාජ ජාල මාධ්‍ය ප්‍රචාරණවලින්. සාවද්‍ය තොරතුරු, වෛරී ප්‍රකාශ, නිවැරැදි තොරතුරු වැරැදි ලෙස අර්ථ නිරූපණය, ජාති ආගම් දේශපාලන භාවිතය වැනි දේවල් නොකරනවා නම් යහපත්. මේ දේවල් මුද්‍රිත මාධ්‍යයෙන්, විද්‍යුත් මාධ්‍යයෙන් කරනවා නම් ඊට එරෙහිව ක්‍රියාත්මක කිරීමට නීති තියෙනවා. නමුත්, සමාජ මාධ්‍ය තවමත් අපේ නීතියට යටත් වෙලා නැහැ. සමාජ මාධ්‍යයෙන් පතුරුවන අසත්‍ය ප්‍රචාර තමන්ගේ අනුදැනුම ඇතිව, තමන්ගේ සහයකයෝ ප්‍රචාරය කරලා තියෙනවා කියලා ඔප්පු වුණොත් අපේක්ෂකයා දිනුවත් මන්ත්‍රීධුරය අහෝසි වෙන්න පුළුවන්.

 

 

පාර්ලිමේන්තු මැතිවරණවලදී පසුගිය දශක කිහිපයේ අපට දක්නට ලැබුණ ප්‍රධාන කරුණක් තමයි රජයේ නිලධාරින්, රජයේ දේපළ මැතිවරණ කටයුතු සඳහා අවභාවිත වීම. මෙවර මැතිවරණයේදී එය අඩු වැඩි වශයෙන් සිදු වෙනවා කියලා චෝදනා එල්ල වෙනවා?

අනිවාර්යයෙන් ම ඒ තත්ත්වය වැඩියි. මේ ඡන්දෙදී ඒක වැඩිපුර දකින්න තියෙනවා. අපට එන පැමිණිලි අනුව පේනවා කොළඹ ප්‍රදේශයේ පාසල්වල ගුරුවරු, විදුහල්පතිවරු දේශපාලන පක්ෂවල වේදිකාවල ඉන්නවා කියලා. සමහර වෙලාවට ඒ උත්සව දේශපාලන රැස්වීම් නොවෙන්න පුළුවන්. තමන්ගේ පාසලට සහය දෙන උපකාර කරන අයෙක් පිළිගැනීමේ උත්සවයක් වෙන්නත් පුළුවන්. නමුත්, එවැනි කාර්යයකට වුණත් දේශපාලන අයිතිවාසිකම් අහිමි නිලධාරින් මේ වෙලාවේ ඒ කටයුතුවලින් ඉවත් වෙන්න ඕනෑ. උදාහරණයත් විදිහට මම ගත්තොත් අම්බලන්ගොඩ ධර්මපාල විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක්. අපේ පාසලට ගියපු කෙනෙක් ජනාධිපතිවරණයට හරි, පාර්ලිමේන්තු මැතිවරණයට හරි ඉල්ලනවා නම්, ඔහුට උපහාර දක්වන උත්සවයකට මට සහභාගි වෙන්න බැහැ. මේ වෙලාවේ අපේ පාසලේ ආදිශිෂ්‍ය සංගමය එවැනි උත්සවයක් සංවිධානය කළත් පාසලේ විදුහල්පතිවරයාට යන්නත් බැහැ. අද අපට ලැබුණ පැමිණිල්ලක් තමයි එක අපේක්ෂකයෙක්, ප්‍රාදේශීය ලේකම්කාර්යාලයක නිලධාරින් ගෙන්වලා දවල් කෑම දෙනවා. එම පක්ෂයේ ම ඊට ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයා අද රෑ කෑමට ආරාධනය කරලා තියෙනවා. ඒ අවස්ථාවට නිලධාරින් සහභාගී වීම සම්පූර්ණයෙන් වැරැදියි.

 

 

1931දී ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණට පස්සේ කාන්තා නියෝජනයක් තිබුණා. ඒත්, වත්මන වන විට කාන්තාවන් පාර්ලිමේන්තුව නියෝජනය වීම ඉතා ම අඩුයි. ඒ ගැන ඔබේ අදහස මොකක් ද?

මේ කාරණය සම්බන්ධයෙන් අපේ රටේ මව්පියන්ට සහ ගුරුවරුන්ට චෝදනා කරන්නට ඕනෑ. ගැහැනු ළමයින්ට පොදු කටයුතුවලට සහභාගි කරනවන්න පුළුවන් සමාජීය වටපිටාව හදලා නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත්, කාන්තා විමුක්තිය ගැන ඉතා ම හොඳින් කතා කරන පිරිමියෙක් වුණත්, ගැහැනියක් වුණත් තමන්ගේ පුතා දේශපාලනය කරන ගැහැනු ළමයෙක් කසාඳ බඳිනවට කැමැති නැහැ. දේශපාලනයට නෙවෙයි, ආදි ශිෂ්‍ය සංගමයකට වුණත් එකම පාසලේ කොල්ලයි කෙල්ලයි කසාඳ බැන්දට පස්සෙ කොල්ලා යනවා, කෙල්ලට ගෙදර වෙලා ළමයි බලාගෙන ඉන්න කියනවා. ඒක තමයි තියෙන ප්‍රශ්නය. තව උදාහරණයක් අරන් බලන්න, වෛද්‍යවරුන්ගේ සංගමය, නීතිඥවරුන්ගේ සංගමය, පරිපාලන නිලධාරින්ගේ සංගමය වගේ සංගම්වල කාන්තාවෝ කොයි තරම් අඩුවෙන්ද ඉන්නේ. අඩුම ගානේ අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේවත් ගැහැනු ළමයි දකින්න ලැබෙනවා අඩුයි. මේ ප්‍රශ්නය තමයි කාන්තා නියෝජනයට තියෙන්නේ. ඒ නිසා මේ කාරණය නීතියෙන් කාන්තා නියෝජනයක් තිබිය යුතුයි කියලා දැම්මොත් අනිවාර්යයෙන් ම කාන්තා නියෝජනය ලැබෙනවා.

 

 

කොහොම නමුත්, මෙවර මැතිවරණ ව්‍යාපාරයේදී දකින්න ලැබෙන තවත් කාරණයක් තමයි අපේක්ෂකයා ගමන් කරන රථයේ පමණක් මනාප අංක ප්‍රදර්ශනය. අපේක්ෂකයන් නඟන චෝදනාවක් තමයි මනාප අංක ප්‍රචාරණයට එය බාධාවක් බව?

ඒක මැතිවරණ නීතියක්. අපේ රටේ මිනිස්සු ගොඩක් වෙලාවට හිතන්නේ නීති කඩන්න ඕනෑ කියලයි. වෙනදාට වඩා මේ පාර මනාප අංක ප්‍රදර්ශනය අපේක්ෂකයා ඉන්න වාහනේ පමණක් සිදුවෙනවා. එහෙම නොවන තැන්වල පොලිසිය දාලා පරික්ෂා කරලා අපේක්ෂකයා නැත්නම් ගලවනවා. ඒ වගේ ම ඉතා නරක පූර්වාදර්ශය තමයි මුහුණු ආවරණවල මනාප අංක ගහලා දෙන එක. ටී ෂර්ට් ගහලා දෙනවා. ටී ෂර්ට් ගැහැනු ළමයි ඇදගෙන පාරේ ගියොත් අපට ඒක ගලවන්න බැහැ. ඒ වෙලාවට කරන්න තියෙන දේ තමයි ඒ අය අත්අඩංගුවට අරගෙන කවුද මේ ඇඳුම දුන්නේ කියලා හොයලා බලන එක. ඒ ඕනෑම දෙයක් රැස්වීම් භූමියේ ඇදගෙන ඉන්න පුළුවන්. රැස්වීම් නොමැති ස්ථානවල ඒවා ඇදගෙන යන්න බැහැ. අපි පොලිසියට උපදෙස් දීලා තියෙනවා එහෙම පාරේ යන අය අල්ලන් ගිහින් නඩු දාන්න කියලා. රුපියල් සියයක හෝ දෙසියක දඩයක් වුණත් මැතිවරණ වරදකට වරදකරු වුණොත් ප්‍රජා අයිතිය අහෝසි වෙනවා. ඊට පස්සෙ දුන්න කෙනා අපේක්ෂකයෙක් වුණා නම් සංග්‍රහ කිරීමේ වරදට අපේක්ෂකයාගේ පාර්ලිමේන්තු අසුන අහිමි කරන්න පුළුවන්.

 

 

මැතිවරණ වියදම රුපියල් කෝටි හයසියක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබුණා. දැන් එය කෝටි 1000ක් කියලා තක්සේරු කර තියෙනවා. එවැනි වියදමක් කරලත් පවතින වසංගත තත්ත්වය නිසා ජනතාව ඡන්ද පොළට ඒවිද කියන සැකය මතු වෙන්නෙ නැද්ද?

නැවතත් කන්දකාඩු පොකුර මතුවුණා. ඒ තත්ත්වය සමාජය තුළට පැතිරිලා නැහැ කියලා වාර්තා වුණොත්, ගැටලුවක් නැහැ. ඒ සිද්ධිය වාර්තා වෙනතුරුම ඡන්ද පොළවලට 80%ම පැමිණෙයි කියන බලාපොරොත්තුව අපට තිබුණා. මේ වසංගත පොකුර නැවත අප නිවන්නට ඕනෑ. අපි විශ්වාස කරනවා මේ තත්ත්වය යහපත් අතට හැරිලා 80%ම ඡන්ද පොළට ගේන්න පුළුවන් වෙයි කියලා.

 

 

විදෙස් රටවල මැතිවරණය පැවැත්වීමේදී ඡන්ද දායකයන් ඡන්දය භාවිත කරන්නේ කවර පක්ෂයකට ද යන්නවත් සොයා ගන්න බැරි තරමට සරල වෙද්දී අපේ රටේ එකම පක්ෂයක අපේක්ෂකයන් නිසා මහජනතාව පිල් බෙදිලා. මේ ගැන ඔබේ මතය මොකක් ද?

මූලික කාරණය තමයි තමන්ට විරුද්ධ මතයක් දැරීම පිළිබඳ අනෙකාට ඇති අයිතිය දිවිහිමියෙන් අප සියලු දෙනා ආරක්ෂා කළ යුතුයි කියන එක. අපි පිළිගන්නට ඕනෑ තමන්ට ඇති අයිතිය ම අනෙකාට ද ඇති වග. තමන්ගේ ම පක්ෂයේ අපේක්ෂකයන් වෙනුවෙන් ගහගන්න ජනතාවක් ඉන්න අපේ රටේ විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයන්ට කොහොම සලකනවා ඇත්ද. ඊළඟට තමන්ගේ ආගම් අදහන්නෙ නැති, තමන්ගේ භාෂාව කතා කරන්නෙ නැති කෙනෙකුට කොහොම සලකනවා ඇත්ද. ඒ නිසා අපේ රටේ මේ බෙදීම සිදුවුණා හොඳටම ඇති. අපි පොඩි කාලේ රතු, නිල්, කොළ ෂර්ට් ඇදගෙන බොහොම ආදරෙන් කෑ ගගහා පාරේ ගියා. ඡන්දෙ දාලා ඇවිල් මේ තුන්ගොල්ලො එක පැඳුරෙ ඉදගෙන ඡන්ද ප්‍රතිඵල ඇහුවා. සමහර අය පාට දෙකේ ෂර්ට් දාගෙන රණ්ඩු වුණාට එක බෝතලේ බොනවා. එදා දේශපාලන වාද විවාද කළත් ගහ ගත්තෙ නැහැ. නමුත් අද අපි ඉන්න තත්ත්වය බොහොම කණගාටුදායකයි. එක ම පක්ෂයේ අපේක්ෂකයාට ගහලා කුඩු කරලා දානවා නම් අපි කවදාද මේවා නවත්වා ගන්නේ. අපි අනෙකාට ඇති අයිතිය ආරක්ෂා කරන්න ඕනෑ. මම කියන්නේ ඉස්සර හොඳයි දැන් නරකයි කියල ම නෙවෙයි. දැන් වෙලා තියෙන්නේ තනිව හැදෙමු කියන සංකල්පය සහිත සමාජ ක්‍රමයකට අපේ රට තල්ලු වෙලා. තමන්ගේ පවුලෙ උදවියවත් නැතිව තනිව හැදෙමු කියන සමාජ, සංස්කෘතික පරිහානියට පත්වෙලා. මේ තත්ත්වය වළක්වා ගන්න ආගමික නායකයෝ, ගුරුවරු. මව්පියෝ විසින් දරුවෝ කුඩා කාලයේ ඉඳලම හැඩ ගස්වන්නට ඕනෑ.

 

 

මැතිවරණ නීති උල්ලංඝනය වීම් දක්නට ලැබෙන විට එහි ප්‍රධාන කාරණයක් විදිහට ආගමික සිද්ධස්ථාන හරහා සිදුවන ප්‍රචාරණ කටයුතු ප්‍රධාන තැනක් ගෙන තිබෙන බව පේනවා?

යාච්ඤාව සිකුරාදා පල්ලියේ කෙරෙන වෙලාවේ දේශපාලනය කිරීම, ඉරිදා දේවස්ථානයේ දී කෙරෙන පූජාවේදී දේශපාලන කිරීම එහෙමත් නැත්නම් පන්සලේ බෝධි පූජාවේදී, ආශිර්වාද පූජාවේදී දේශපාලනය කිරීම එතරම් යහපත් නැහැ.අප පූජ්‍ය, පූජක උතුමාණන් වහන්සේලාගෙන් තමන්ගේ දේවස්ථානයේ දී එවැනි කටයුතු සිදු වෙන්නට දෙන්නට එපාය කියලා අයැද සිටිනවා. අප දේශපාලනයේ නියැළී ඉන්න හැමෝගෙන් ම ඉල්ලනවා පූජා භූමි දේශපාලන කටයුතුවලට යොදා ගන්න එපා කියලා. මේ කාරණයත් අයුතු බලපෑම් කියන වරදට යටත් වෙනවා. දැනට මෙවැනි පැමිණිලි හතරක් අපට ලැබිලා තියෙනවා.

 

 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් මේ රටේ පුරවැසියන්ට ලබාදෙන්නට හැකියාව ලැබී තිබෙනවා ද?

1970 මුල් කාලය වනතුරු මේ රටේ දේශපාලනය තිබුණේ බලහත්කාරයෙන් ජනතාවගෙ අදහස් වෙනස් කරපු තත්ත්වයක්. ඒක කරුණු පැහැදිලි කරලා කළේ නැහැ. වැලි බෝතල්, කලා කිරිඤ්ඤ, කිරිච්චි, යකඩ පොලුවලින් ප්‍රහාර එල්ල කරලා එදා මිනිසුන්ගේ අදහස් වෙනස් කළා. ඊට පස්සෙ අපි තරුණ කාලේ රැකියා දුන්නා. රැකියාවලින් මාරුවීම් දුන්නා. ඊළඟට ප්‍රචණ්ඩත්වය, ටී 56, ගෙවල් ගිනිතැබීම් සිදුවුණා. අපේ දරුවන්ගේ තරුණ කාලේ මුද්‍රිත අකුරු හරහා, අන්තර්ජාලය හරහා, රූපවාහිනී සහ ගුවන්විදුලි සංඛ්‍යාත හරහා අපේ ගෙවල්වලට බලපෑම් කරනවා. එතකොට එදා යකඩපොලු, රැකියා දීලා ජනයාගේ මනස වෙනස් කරපු එක අද වෙනකොට දිගින් දිගට ම ගොබෙල්ස් ගේ න්‍යාය ක්‍රියාත්මක වෙනවා. එදා ජනයා මැරබලය ප්‍රතික්ෂේප කළා වගේ වත්මනේ මේ කරන බලපෑම ජනයා විසින් ම ප්‍රතික්ෂේප කරනතුරු අපට නිදහස් හා සාධාරණ මැතිවරණයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

දුමින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න