රාජ්‍ය මූල්‍ය සංස්ථාපනය හා පශ්චාත් කොරෝනා ආර්ථික සංවර්ධනය | දිනමිණ


 

රාජ්‍ය මූල්‍ය සංස්ථාපනය හා පශ්චාත් කොරෝනා ආර්ථික සංවර්ධනය

පශ්චාත් වසංගත කාලයේ වුවද සමෘද්ධි සහන ආදී ශුභ සාධන වියදම් අඩුකිරීම අපහසු වුවද එවැනි දීමනා ලබන්නන් කිසියම් නිෂ්පාදන කාර්යක් සඳහා යොමු කිරීම කළ හැකිය. උදාහරණ වශයෙන් කෘෂිකර්ම හා ගෘහීය නිෂ්පාදන කාර්යන් සඳහා විධිමත් ලෙස ඔවුන් යොමු කිරීම දැක්විය හැකිය. අනුමත සියලු ඉඩම් වගාකිරීමේ සැලැස්මක් යටතේ ඔවුන් ද කණ්ඩායම් වශයෙන් හෝ සමූපකාර වැනි සමිති සමාගම් වශයෙන් මෙම කාර්යයට දායක කරගත හැකිය. ජල සම්පාදනය, මාර්ග හා ප්‍රවාහන ආදී අඩු වියදම් යටිතල පහසුකම් රජය විසින් ඔවුන්ට ලබාදිය යුතුය. නවීන තාක්ෂණික පහසුකම් මේ සඳහා හඳුන්වා දෙන්නේ නම් රැකියා විරහිත තරුණ ප්‍රජාව ද එයට ඇදී එනු ඇත. මේ සමගම සමූහ ගොවිපළ ගැන රජයට සලකා බැලිය හැකිය.

 

කොරෝනා වසංගතය ලොව බොහෝ රටවල ජන ජීවිතයට හා ආර්ථිකයන්ට ඇදහිය නොහැකි කම්පනයක් ඇති කළ සංසිද්ධියකි. මේ නිසා, ශ්‍රී ලංකාවේ ද ආදායම් මාර්ග, සැපයුම් ජාල, නිෂ්පාදනය හා වෙනත් සෑම ආර්ථික කාර්යක්ම අයහපත් බලපෑමකට ලක් වූ අතර සෞඛ්‍ය හා ශුභසාධනය සඳහා රාජ්‍ය වියදම නොසිතූ ලෙස ඉහළ නැගුණි. රජයේ සම්පූර්ණ වෑයම සෞඛ්‍ය හා ජනතා ශුභ සාධනය සඳහා යොමු වීම නිසාත්, රටේ නිෂ්පාදනය, ආදායම් මාර්ග හා ව්‍යාපාර කටයුතු අඩාළ වීම නිසාත් රාජ්‍ය මූල්‍ය වගකීම නිශ්චල වෙමින් රටේ ආර්ථිකය දිනෙන් දින අවපාතයක් කරා පසුබැසීමේ එළිපත්තටම ළඟා විණි.

මෙම කඩා හැලීම මූල්‍ය ආයතනයන්ට ද ව්‍යතිරේකයක් නොවේ. ආර්ථිකය හැකිළීමේ බලපෑම මත හා රජය විසින් මෙම ආයතන මඟින් හඳුන්වා දුන් සහනදායී ශුභ සාධන පියවර මත ඔවුන් ව්‍යාපාරික වශයෙන් තර්ජනයකට ලක් වූ අතර සහනදායී ණය පැකේජයන් අවදානම් සහිත වීම නිසා ඔවුන්ගේ ශේෂ පත්‍ර තුළ අවදානම් සහිත මූල්‍ය වත්කම් සමුච්චය වෙමින් පවතී.

රටක වැදගත් ගනු දෙනු බොහොමයක් මූල්‍ය පද්ධතීන් හරහා සිදුවන නිසා, ආර්ථිකයක දියුණුවට මූල්‍ය ස්ථායිතාව වැදගත් සාධකයක් වේ. මූල්‍ය ආයතන ස්ථාවර නොවේ. තම අවිනිශ්චිතතාව මත ආර්ථික කටයුතුවල මුදල් යෙදවීමට ඔවුන් මැළි වන අතර, එය තවත් අර්බුදයකට සාධකයක් වේ. එම නිසා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය රටේ මූල්‍ය පද්ධතිය කඩාකප්පල් කරන්නක් නොවිය යුතු ය.

 

රාජ්‍ය මූල්‍ය සංස්ථාපනය

 

කොරෝනා වසංගතය නිසා අවපාතයක් කරා ගමන් කරන ලෝකයේ ආර්ථික කැලඹිල්ල ලෝක සංග්‍රාම ද්විත්වයේදී හා 2008 සිට ඇතිවූ මූල්‍ය අර්බුදයේදී හටගත් අස්ථාවරභාවය සහ එයට මුහුණදීමට විවිධ රටවල් අනුගමනය කළ ප්‍රතිවිරුද්ධ පියවර සිහි ගන්වයි.

කෙසේ වෙතත් අපේ රට වර්තමානයේ මුහුණදී ඇති ආර්ථික කම්පනය අනුව අවපාතයෙන් බේරීම සඳහා ගතානුගතික හා යල් පැනගිය පියවර උචිත වන්නේ නැත. භාණ්ඩ හා සේවා සැපයුම, දළ ප්‍රාග්ධන සම්පාදනය හා සංක්‍රාමයන් සඳහා රාජ්‍ය වියදම වැඩි කිරීම හා සුළුවෙන්රාජ්‍ය ආදායම වැඩි කිරීමත් හිගය ණය ආධාර මත පියවා ගැනීමත් පශ්චාත් කොරෝනා සමයේදී ආර්ථිකය දියුණුවට තැබිය යුතු පියවර වශයෙන් කෙනකුට යෝජනා කළ හැකිය. එහෙත් නිදහසින් පසු පාලකයන් තුළ පැවැති මෙම ගතානුගතික සංකල්පනාවෙන් අප බැහැර විය යුතුය. රාජ්‍ය මූල්‍ය තත්ත්වය අනුව වෘත්තීය සැලසුම් හා කළමනාකරණය සහිතව පුළුල් පරාසයක වූ මූල්‍ය සංස්ථාපනයක් අද රටට අවශ්‍ය වේ.

ලෝක ඉතිහාසය තුළ ආර්ථික අවපාතයන්ගේ බලපෑම අවම කිරීම සඳහා යොදාගත හැකි විචක්ෂණ ක්‍රමවේදය අභ්‍යන්තර සම්පත් හා දැනුම නිසි මාර්ගයට යොමු කිරීම බව සාක්ෂාත් කර ඇත. තිරසාර ආර්ථික සංවර්ධනයක් සඳහා රටේ මුදල් ප්‍රතිපත්තිය හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය එක ලෙස වැදගත් වේ. බලපෑම් මත ඇතිකරන රාජ්‍ය මූල්‍ය හා මුදල් සංසරණ ප්‍රතිපත්ති ආර්ථික සංවර්ධනයේදී තිරසර නොවේ.

කාල රාමුව අනුව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ හා සංස්ථාපන සැලසුම් පියවර, අවස්ථා තුනක් යටතේ සලකා බැලිය හැකිය. දීර්ඝ කාලීන පියවර, උත්තේජන පියවර, කෙටි හා මාධ්‍ය කාලීන පියවර හා ගැළපුම් වශයෙන් එය දැක්විය හැකි අතර, මෙම සියලු පියවර හා ගැළපුම්වලදී ණය හා දළ දේශීය නිෂ්පාදන අනුපාතය අවම කිරීම සඳහා වූ වියදම් හා ආදායම් ගැන සැලකිලිමත් විය යුතුය.

දුර්වල රාජ්‍ය මූල්‍ය කාර්ය සාධනයේ අනිටු ප්‍රතිඵලය වන්නේ සමුච්චය වන ණය අනුපාතයයි. එය ආසන්න වර්ෂ පහ තුළ දළ දේශීය නිෂ්පාදනයෙන් 78.5% සිට 86.8% දක්වා වර්ධනය වී ඇත. සඳහන් කළ යුතු තවත් කරුණක් වන්නේ 2019 වර්ෂයේ ඇස්තමේන්තු හිඟය (ණය) කාර්ය සාධනයේදී 48%කින් ඉහළ ගොස් තිබීමයි. පූර්ව වසංගත වර්ෂවල අය - වැය පාලනයේ දුර්වලතාවය ද එයින් පිළිබිඹු වේ.

විශේෂඥ මතය අනුව කොරෝනා වසංගතය පහව යාමට වසර කීපයක් ගත විය හැකිය. ලෝක තත්ත්වය මත රඳා පවතින ආර්ථිකයක් ඇති අප රටට මෙම කාලය තුළ පවතින තත්ත්වය යටතේ, ප්‍රකෘති තත්ත්වයට හෝ පත්වීම අනපේක්ෂිතය. ඒ නිසා අපගේ ආර්ථිකය ගොඩ නැංවීමට අපට උරුම වූ අභ්‍යන්තර ආර්ථික ක්‍රියාදාමයන් ගැන විශ්වාසය තැබීමට සිදුවේ.

අපට ඇත්තේ සුළු පරිමාණ රාජ්‍ය මූල්‍ය සංස්ථාපන අවශ්‍යතාවයක් නම් පශ්චාත් වසංගත කාලය තුළ වියදම සමඟ ඇතිවන හිඟය පිරිමැසීමට තාවකාලික උත්තේජන පියවර ප්‍රමාණවත් වේ. නමුත් පූර්ව සමුච්චයන් හා අප මුහුණ දී ඇති විෂම චක්‍රයට අනුව එය එසේ නොවේ. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ විශ්වසනීය කෙටි හා මධ්‍යකාලීන සංවර්ධන සැලැස්මක් හා විනිවිදභාවය හා වගවීම සහතික කරන යථාර්ථවාදී වෘත්තීය අය - වැය ලේඛනයක ක්‍රියාකාරිත්වයකි. විනිවිදභාවය හා වගවීම සහතික වන්නේ කාර්ය නිසි ලෙස නියෝජනය වන පරිපූර්ණ සැලැස්මක් තුළ මූල්‍ය තොරතුරු ප්‍රමිත්‍යානුකූලව හෙළිදරවු කිරීම මගිනි. මෙම සැලැස්ම තුළ කෙටි හා මධ්‍යකාලීන වියදම් අවශ්‍යතා සමඟ ආදායම් පියවර හා පශ්චාත් වසංගත කාලයේ ණය ගතිකතාව ගැළපුම් කළ හැකිය. මෙම සංස්ථාපනය දේශපාලන පරමාර්ථ අනුව කළ හැකි දෙයක් නොවිය හැකිය. එනැමුත් අනාගත ආර්ථික පරමාර්ථ වශයෙන් කළ යුතු දෙයකි.

ණය ගතිකතාවේ මූලික මිණුම වන්නේ රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදනයෙන් කොතෙක්ද යන්න හා රාජ්‍ය වියදම් තුළ ණය පොලී කොතෙක්ද යන්නය. පූර්ව වසංගතකාලයේ මෙම ගතිකත්වය පශ්චාත් කාලයේ කාර්ය සාධනයේ අවදානමට හේතු විය හැකිය. රුපියලේ අගය අව ප්‍රමාණ වීම හා රුපියල්වලින් ප්‍රකාශ වන පොලී සමඟ සමුච්චිත ඩොලර් ණය ප්‍රමාණය ද සංවර්ධන ක්‍රියාදාමයට බාධාවක් වන අතර, අනාගත පියවරයන් තැබිය යුත්තේ මෙම තත්ත්වය උග්‍ර නොවන උපක්‍රමයන්ට අනුකූලවය. ණය නොගෙන අය - වැය හිඟය පියවීම පරස්පර විරෝධී මතයක් වුවද හිඟය කළමනාකරණය කළ යුත්තේ චක්‍රීයව සිදුවන සැබෑ ආර්ථික වර්ධනය තුළ අඩු වියදමින් වැඩි ආදායම් ලබා ගැනීමේ උපක්‍රම තුළිනි. මෙය කාර්ය සාධනය මත පදනම් වූ පරිපූර්ණ දේශීය සම්පත් කළමනාකරණ මොඩලයකි. මේ නිසා මෙම අවස්ථාවේ අවශ්‍ය වන්නේ දේශීය ප්‍රතිපත්ති පියවරයන් මත පිහිටා අවම වශයෙන් දේශීය ඉල්ලුම දේශීය සැපයුම මඟින් තුලනය කරමින් ආනයන සීමාකිරීමත්, කෙටි කාලීන චක්‍රයක් තුළ ආදායම් ජනිත කරන නිෂ්පාදන සඳහා ප්‍රමුඛතාවදී කටයුතු කිරීමත්ය.

 

රජයේ සැලසුම්

 

රාජ්‍ය මූල්‍ය සංස්ථාපන යෝජනා රාජ්‍ය මූල්‍ය ස්ථායීතාවය සහතික කරන රජයේ සැලසුම් බවට පත් වේ. මෙම යෝජනා ප්‍රමුඛතාව අනුව අත්‍යවශ්‍ය වන වියදම් සමඟ යාවත්කාලීන කරන ලද ආර්ථික පුරෝකථන හා සැබෑ උපකල්පන මත රඳා පවතී. පළමු සැලැස්ම කෙටි කාලීනව වසරකට විය හැකි අතර එයින් පසු වසර 2 – 3 දක්වා කාලයකට එහිම දිගුවක් වශයෙන් ගලපන ලද ඉදිරි සැලසුම් සහිතව සකස් වන්නක් විය යුතුය.

රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රයේ කුලුනු තුන වන රාජ්‍ය වියදම, ආදායම, හා ණය සමුදාය නිසි කළමනාකරණයකට ලක් වන මූල්‍ය සංස්ථාපන සැලැස්මක් තිරසාර සංවර්ධනයක් සඳහා අවශ්‍යය. දල දේශීය නිෂ්පාදිතය වැඩිවන අතර ආදායම හා වියදම් පරතරය හා ණය අවම කිරීම එහි මූලික අරමුණයි. සම ආදායම් ව්‍යාප්තිය, මැද මාවතේ පරිභෝජනය හා ජනතාව වෙත පැටවෙන අවම බර එහි අනුයාත අරමුණු වේ.

 

වියදම් පියවර

 

පියවර තුනක් යටතේ වියදම් සැලසුම් ඉදිරිපත් කළ හැකිය.

1.මෙ‍ෙහයුම් පියවර

2.වැඩසටහන් පියවර

3.වෙනත් මුල පිරීම් පියවර

මෙහෙයුම් පියවර යටතේ සේවක හා පරිපාලන වියදම් සහිතව රාජ්‍ය පවත්වාගෙන යාමේ වියදම් අඩු කිරීම් සළකාබැලිය හැකිය. වැඩසටහන් පියවර යටතට දිගුකාලීන හා මහා පරිමාණ ව්‍යාපෘති / වැඩසටහන් වියදම් සහ පළාත් ආණ්ඩු හා වෙනත් ආයතනවලට කෙරෙන සංක්‍රාම ගෙවීම් සඳහා වන ගැලපුම් ඇතුළත් වේ. වෙනත් මුල පිරීම් පියවර නිර්වචනය වන්නේ ශූන්‍ය අගයක් ගන්නා එනම් ආර්ථිකයට අගය එකතු කිරීමක් නොවන රාජ්‍ය වියදම් අඩු කිරීමයි. ආර්ථිකයට දායක නොවන රාජ්‍ය ව්‍යාපාර සඳහා වැය කරන රජයේ මුදල් අඩුකිරීම ද මේ යටතට ගැනේ.

පශ්චාත් වසංගත කාලයේ වුවද සමෘද්ධි සහන ආදී ශුභ සාධන වියදම් අඩුකිරීම අපහසු වුවද එවැනි දීමනා ලබන්නන් කිසියම් නිෂ්පාදන කාර්යක් සඳහා යොමු කිරීම කළ හැකිය. උදාහරණ වශයෙන් කෘෂිකර්ම හා ගෘහීය නිෂ්පාදන කාර්යන් සඳහා විධිමත් ලෙස ඔවුන් යොමු කිරීම දැක්විය හැකිය. අනුමත සියලු ඉඩම් වගාකිරීමේ සැලැස්මක් යටතේ ඔවුන් ද කණ්ඩායම් වශයෙන් හෝ සමූපකාර වැනි සමිති සමාගම් වශයෙන් මෙම කාර්යයට දායක කරගත හැකිය. ජල සම්පාදනය, මාර්ග හා ප්‍රවාහන ආදී අඩු වියදම් යටිතල පහසුකම් රජය විසින් ඔවුන්ට ලබාදිය යුතුය. නවීන තාක්ෂණික පහසුකම් මේ සඳහා හඳුන්වා දෙන්නේ නම් රැකියා විරහිත තරුණ ප්‍රජාව ද එයට ඇදී එනු ඇත. මේ සමගම සමූහ ගොවිපළ ගැන රජයට සලකා බැලිය හැකිය.

ප්‍රවාහන වියදම ආර්ථිකයට දායකත්වයක් නොමැතිව අපතේ නොයැවිය යුතුය. දුම්රිය සේවය මගී ප්‍රවාහනයට පමණක් නොව කෘෂි හා පළාත් නිෂ්පාදන බෙදාහැරීම් ජාලයට ද යොදා ගත හැකිය. අනෙකුත් ප්‍රවාහන මාධ්‍ය සමඟ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස රාත්‍රී කාලයේ මෙහෙයුම් සැලසුම් කිරීමෙන්, අපතේ යන දුම්රිය ධාරිතා පරිභෝජනයෙන් ආර්ථිකයට අගය එකතු කරන හා ගොවි හා පළාත් බද සුළු නිෂ්පාදකයන්ට අස්වැසිල්ලක් ද ගෙන දෙන නව ව්‍යාපෘතියක් බවට එය පරිවර්තනය කළ හැකිය.

ප්‍රතිලාභීන්ට හානියක් නොකර විශ්‍රාම වැඩසටහන ප්‍රතිසංවිධානයකට ලක් කිරීම කාලීන වියදම් අඩු කරන උපක්‍රමයක් වේ. වෘත්තිකයන් කලින් විශ්‍රාම නොගැන්වීම, ‍ෙපාදු නොවන ප්‍රතිලාභ සීමා කිරීම හා කෙටිකාලීන රාජ්‍ය මූල්‍ය ද්‍රවශීලතා ගැටලුවට පිළියමක් ලෙස සේවක සේව්‍ය දායකත්වය සහිතව හා රජයේ පූර්ණ ඇපකර සහිතව අර්ථ සාධක අරමුදල් ක්‍රමයක් විශ්‍රාම වැටුප් ක්‍රමය හා ඒකාබද්ධ කරමින් හඳුන්වාදීම එම ප්‍රති සංවිධාන යෝජනා වේ.

අධ්‍යාපන, පර්යේෂණ හා සංවර්ධන වියදම් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස යොදා ගැනීමෙන් එහි දායකත්වය කාලීනව සංවර්ධනයට ලැබෙන අතර, ඒ සඳහා වන වියදම පෙරලා ආදායම් බවට පරිවර්තනය වනු ඇත. අධ්‍යාපනය මඟින් වැඩි වැඩියෙන් වෘත්තිකයන් බිහි කිරීමෙන් හා පර්යේෂණ හා සංවර්ධන වියදමින් නව නිපැයුම් හා තාක්ෂණික සංවර්ධනයකට නව මංමාවත් විවර කිරීමෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ද ඉහළ නංවමින් මෙම අරමුණ ඉටු කර ගත හැකි වනු ඇත.

 

ණය මත වැඩසටහන් මුල්‍යයනය කිරීම

 

විදේශ ණය මත බැඳීම් ඇති කරගත් ව්‍යාපෘති නතර කිරීම හෝ අතීතයේ සමුච්චය වූ ණය හා ඒ මත පොලී කපා හැරීම පහසු දෙයක් නොවේ. කෙසේ වෙතත් මේ ව්‍යාපෘති අඛණ්ඩව පවත්වා ගෙන යෑම මත ණය සමුච්චය ඉහළ යන අතර ඒ සඳහා දිය යුතු දේශීය අරමුදල් දායකත්වය ද ඉහළ යයි. ඒ අනුව පශ්චාත් වසංගත කාලයේ දේශීය අරමුදල්වල කෙටි කාලීන ද්‍රවශීලකා අවදානමක් දහටගනී. මේ නිසා හැකි සෑම විටම වන්දි රහිතව මෙම දීර්ඝකාලීන ව්‍යාපෘති පසුවට කල් තැබීම කෙරෙහි අවධානය යොමු කළ හැකිය.

ප්‍රතිඵල පදනම් කරගත් ණය කළමනාකරණයක් මත පශ්චාත් කොරෝනා සමයේ දළ දේශීය නිෂ්පාදනය වැඩි කර ගත යුතු ය. මේ සඳහා කෘෂි කර්මාන්තය හා ගෘහීය නිෂ්පාදන ඇතුළු කෙටි හා මධ්‍ය කාලීන නිෂ්පාදන ක්ෂේත්‍රය කෙරෙහි විශ්වාසය තැබීමට සිදු වේ.

එහිදී අවශ්‍ය මූල්‍ය ණය හා ආධාර මත යටිතල පහසුකම් ලබා දිය යුත්තේ කෙටි කාලීනව චක්‍රීයව කෙරෙන ප්‍රතිමූල්‍යකරණයක් අරමුණු කරගෙනය. මෙම ක්‍රියාවලියේදී යම්තාක් දුරට ආර්ථිකය ගොඩනැංවෙන තුරු දීර්ඝ කාලීන හා මහා පරිමාණ යටිතල පහසුකම් හා ගොඩනැගීම් සඳහා නව ව්‍යාපෘති ආරම්භ කිරීම විචක්ෂණ නොවේ.

මහා පරිමාණ ව්‍යාපෘතිවල වර්තමාන වියදම මත එහි අගය තක්සේරු කළ නොහැකිය. එහි අනාගත පිරිවැය හා ප්‍රතිලාභවල වර්තමාන වටිනාකම මත අගය තීරණය වේ. මේ අනුව කෙටි කාලීනව ප්‍රතිලාභ නො ලැබෙන, නිෂ්පාදන සැලැස්මක් නොමැති අධික පිරිවැයක් සහිතව විදේශ ණය මත සිදු කරන දීර්ඝකාලීන ව්‍යාපෘතිවල වර්තමාන අගය ඉතා පහළ අගයක් ගනී. විශේෂයෙන් ණය සේවාකරණයේ රුපිය‍ෙල් අගය හා ප්‍රතිලාභවල විදේශ විනිමය අගය මෙහිදී සැලකිල්ලට ගත යුතු අතර, එහි පිරිවැය මත ආර්ථික සංවර්ධනය තක්සේරු කිරීම මුළාවකි.

 

විනිමය අනුපාතය

 

විදේශ ණය ආධාර සපයන මූල්‍ය ආයතන කෙටි කාලීන ආදායම් උපයන ව්‍යාපෘතිවලට හා ශුද්‍ර මූල්‍යයනයට ණය සැපයීමට කැමැත්තක් නොදක්වයි. පූර්ව ණය බර සහිත රටවල ප්‍රමුඛතාව හැඳින ගෙන අවස්ථානුකූලව ණය සැපයීමට මෙම ප්‍රතිපත්තිය වෙනස් කිරීම ගැන යෝජනා ඉදිරිපත් කිරීමට ලෝක සමුළුවලදී ලංකාව වැනි රටවල් පියවර ගත යුතුය.

කාර්ය සාධනය පදනම් වූ සංවර්ධන උපාය මාර්ගයක් වශයෙන් ණය මත කටයුතු කරන කෘෂි හා කෙටි හා මධ්‍ය කාලීන නිෂ්පාදන කාර්ය සඳහා නිසි මග පෙන්වීමටත්, අධීක්ෂණයට හා පසු විපරම් කිරීමටත්, විනිවිදභාවය හා වගවීම සහිතව මූල්‍ය කළමනාකරණය හා තොරතුරු ලබා දීම සඳහාත් වෘත්තීයවේදීන් පිරිසකගේ දායකත්වය ලබා ගැනීමට මෙහිදී රජයට හැකියාව ඇත.

රාජ්‍ය මූල්‍ය තුළ වියදම කළමනාකරණය කිරීමේදී විනිමය අනුපාතය ගැන විශේෂ සැලකිල්ල යොමු කිරීමට සිදුවේ. අත්‍යවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය, සුඛෝපභෝගී හා විසිතුරු භාණ්ඩ දේශීය වශයෙන් ලබාගත හැකි වෘත්තීය සේවා, හා නිෂ්පාදන අමුද්‍රව්‍ය සඳහා ආනයන සීමා පැනවීමෙන් පිටතට ගලා යන විදේශ විනිමය නතර කිරීමට රජයට හැකිය. මේවා සමහරක් දේශීය වශයෙන් ලබාගත හැකි ආදේශක භාණ්ඩ හා සේවා වන අතර සීමා පැනවීම මෙරට ගොවි හා අනෙකුත් නිෂ්පාදකයන් සඳහා ආරක්ෂණයක් ද රුපියලේ අගය ආරක්ෂා කර ගැනීමට උපක්‍රමයක් ද වේ. මෙරට ආදේශකයන් නොමැති අත්‍යවශ්‍ය නොවන හා සුඛෝපභෝගී භාණ්ඩ සඳහා ඉහළ බදු පැනවීමට සලකා බැලිය හැකිය. ඒ අතරම වෘත්තීය හා උසස් අධ්‍යාපනයට පහසුකම් ඇතිකොට අන්තර්ජාතික වශයෙන් පිළිගත් සහතික ලබා දීමට කටයුතු කිරීමෙන් විදේශ විනිමය පිටතට ඇදී යන තවත් මාර්ගයක් අහුරා තැබිය හැකිය. උදාහරණ වශයෙන් වෛද්‍ය අධ්‍යාපනය රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධව ප්‍රචලිත කිරීමෙන් විදේශයනට ගලා යන විනිමය ඉතිරි කර ගත හැකිය. එමෙන්ම අප රට ජාත්‍යන්තර වෛද්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වීමෙන් විශාල විදේශ විනිමයක් කෙටි කාලයක් තුළ මෙරටට ගෙන්වා ගැනීමට ද හැකියාව ඇති අතර, එය මෙරට වෘත්තිකයන්ගෙන් අනාගතයේ විනිමය ලබා ගැනීමට කරන ආයෝජනයක් වශයෙන් ද සැලකිය හැකිය.

විදේශ ආයෝජකයන් ලාභ වශයෙන් විනිමය ප්‍රේෂණය කිරීම කිසියම් කාලයකට වලකාලමින් ප්‍රති ආයෝජනයට දිරිදීම ‍මගින් ද දේශීය නිෂ්පාදනය වැඩි වී විදේශ සංචිත ද ඉහළ නංවා ගත හැකිය. විදේශ විනිමය ලබා ගැනීමේ අවිචාරවත් උපක්‍රමයක් වන විදේශ ණය ලබා ගැනීම වෙනුවට මෙවැනි තිරසාර සංවර්ධන උපාය මාර්ගවලට එළඹීම දැන් ආරම්භ කළ යුතුය. ආයෝජකයන්ගේ පැමිණීම උපකල්පනය කරමින් අසීමිතව යටිතල පහසුකම් වෙනුවෙන් ණය හා මුදල් යෙදවීම විචක්ෂණ නොවේ. සැලැස්ම තුළ නිශ්චිත සංවර්ධනයක් අරමුණු කරගෙන යටිතල පහසුකම් ඇති කළ යුතුය. අතීතයේ මෙරට දුම්රිය මාර්ග සකස් කර ඇත්තේ නිෂ්පාදන ද්‍රව්‍ය ප්‍රවාහනය අරමුණු කරගෙනය. වතු වගාව හා දුම්රිය මාර්ග ඒකාබද්ධ සැලසුමකි. එය සංවර්ධන උපාය මාර්ග සංකල්පයයි. අප සිටිය යුත්තේ කොතනද යන්න මෙයින් වැටහේ.

 

ආදායම් පියවර

 

මෙතෙක් අප අනුගමනය කර ඇති පරිදි රටේ අතිරික්ත වියදම් පියවා ගැනීමට ණය බර වැඩි කර ගැනීම වෙනුවට, ප්‍රමුඛ නොවන වියදම් අඩු කර ගැනීමට අමතරව, අවධානය යොමු කළ යුත්තේ ද්‍රවශීලතාව සහිත ආදායම ද වැඩිකර ගැනීම කෙරෙහිය. මෙම පියවර රඳා පවතින්නේ ආදායම් මාර්ගවල ශක්‍යතාවයත් එහි රාජ්‍ය භාරය හා සංරචකයනුත් අවශ්‍ය රාජ්‍ය මූල්‍ය ගැළපීමත් මතය. ආදායම් පියවර තුළ ආදායම් බදු මගින්ද ක්ෂණික ඉහළ ආදායමක් බලාපොරොත්තු වීම අසීරුය. පුද්ගලයනට හා ව්‍යාපාරවලට ඉහළ බදු අනුපාත නියම කිරීම සාධාරණ නොවන්නේ ඔවුන් ද කොරෝනා ව්‍යසනයේ බලපෑමට හසුවී ඇති නිසාය. එසේම ආනයන හා අපනයන අඩුවීම නිසා රේගු ආදායම ද පහළ යනු ඇත. මේ නිසා ආදායම් ලබා ගැනීමට නව උපක්‍රම සෙවීමට රජයට සිදු වන අතර නව දේපළ හා ධන බදු පැනවීම හා ඉන්ධන සඳහා ඉහළ බදු පැනවීම මෙහිදී සලකා බැලිය යුතු ප්‍රමුඛ කාර්යයන් වේ.

ධන බද්ද අලුතින් හඳුන්වා දිය යුතු අතර ඒ සමගම ප්‍රගතිශීලී පියවරක් වශයෙන් දේපළ අලුතින් අගය කිරීම සඳහා වෘත්තීය තක්සේරුකරුවන්ගෙන් සමන්විත තක්සේරු බළකායක් පත්කොට කෙටි කාලයක් තුළ සියලු දේපළවල වටිනාකම් වර්තමාන තත්ත්වය අනුව නව නිර්ණායකයන් යටතේ තක්සේරු කිරීමත්, සාධාරණ සීමාවන් මත බදු පැනවීමත් කළ හැකිය. පළාත් පාලන ආයතන මඟින් දැනටමත් අය කරන දේපළ බදු සංශෝධනයට ලක්විය යුතුය. ඒත් නව තක්සේරු කිරීම් මත ඉහළ වරිපනම් බදු ආදායමක් ඔවුන්ට ලබා ගත හැකි අතර ප්‍රාදේශීය සංවර්ධනය හා පාලනය සඳහා මධ්‍යම රජයේ වියදම් අඩු කිරීමට ද හැකියාව ලැබේ.

පවතින තත්ත්වය යටතේ ඉහළ බදු අනුපාතයක් ඉන්ධන සඳහා පැනවීමේ හැකියාව ඇත. ප්‍රතිපත්තියක් වශයෙන් ලෝක වෙළෙඳපොළ මිල අඩු අවස්ථාවේ වැඩි බද්දක් අය කොට ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලක් පිහිටුවා එම මුදල් කෙටි කාලීන ද්‍රවශීලතා ඌනතාවට සහනයක් වශයෙන් භාවිතයට ගන්නා අතර අතිරික්ත ලෙස මිල ඉහළ යන අවස්ථාවලදී දේශීය වෙළෙඳපොළේ මිල ස්ථාවර කර ගැනීමට අවශ්‍ය ගැළපීම් කිරීමට මෙම අරමුදල භාවිතයට ගත හැකිය.

ප්‍රතිලාභීන් මත පටවන පරිසර හා ආරක්ෂක බදු, කාබන් විමෝචන බදු, කිසියම් සීමාවකින් ඔබ්බට ආදායම් උපයන්නන් මත පැනවිය හැකි ආර්ථික පුනරුත්ථාපන බදු රජයේ ආදායම වැඩ කර ගත හැකි තවත් පියවර කීපයකි. තව ද විදේශ විනිමය උපයන්නන් රුපියලේ අගය ඉහළ යෑම නිසා අනපේක්ෂිතව ලබන අතිරික්ත ලාභ මත බද්දක්, පූර්ව කොරෝනා අවධියේ පැවති විනිමය අනුපාත පදනම් කරගෙන, පැනවීම සාධාරණය. එය විදේශ මුදල් රුපියල්වලින් ඉවත් කර ගන්නා විට හෝ මාරු කර ගන්නා විට අය කරගත හැකිය.

බදු ප්‍රතිපත්තියට අමතරව බදු පරිපාලනය ප්‍රමිතීන්ට හා කළමනාකාරිත්ව උපක්‍රමයන්ට අනුකූලව ඉහළ දැමීමත් ඒ මගින් බදු මගහැරීම හා අපයෝජනයට එරෙහිව කටයුතු කරමින්, අසංවිධිත අංශයන්ගෙන් නිසි කලට බදු අය කිරීමත් කළ යුතුය. ප්‍රමිතීන්ට අනුකූලව ආදායම්, වත්කම් හා බැරකම් නිසි ලෙස හෙළිදරවු කිරීම තහවුරු කිරීම පිණිස වෘත්තිකයන් හා විගණකයන් සහතික කරන ලද මුල්‍ය ප්‍රකාශ බද්දට යටත් සියලු ව්‍යාපාර විසින් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම මෙහි එක් අංගයක් වශයෙන් සැළකිය හැකිය.

 

පළාත් පාලන වියදම්

 

පළාත්සභා හා පළාත්පාලන ආයතන හා එහි කාර්ය ප්‍රතිසංවිධානය කිරීමෙන් පළාත් මට්ටමෙන් ආර්ථික දියුණුව සඳහා ඉහළ දායකත්වයක් ලබා ගත හැකිය. පළාත්පාලන ආයතන ඇතුළු පළාත් රාජ්‍ය මූල්‍ය සංස්ථාපනය සම්බන්ධයෙන් පළාත් භාණ්ඩාගාරයට දැනට වඩා කාර්යභාරයක් පැවරිය හැකි අතර මෙය ජාතික නිෂ්පාදනයට හානියක් නොකර මධ්‍යම රජයේ වියදම් අඩු කරගැනීමේ උපක්‍රමයක් විය යුතුය. ඒ අනුව ආදායම් ජනිත කිරීමේ සුළු පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීමට එම ආයතන දිරිමත් කළ හැකිය. පළාත් බදු ප්‍රතිපත්තිය හා ස්වයං ආදායම් ප්‍රතිපත්තිය ගම්බද ආර්ථිකයේ සංවර්ධනයට යොමු කිරීම අත්‍යවශ්‍යය. ආයතනවල ව්‍යාපාර හා ආයෝජන කාර්ය සඳහා මූල්‍ය සේවා සැපයීමට වෙනම ආංශික බැංකුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු අතර දැනට පවතින පළාත් ණය සංවර්ධන අරමුදල මෙම බැංකුව බවට පරිවර්තනය කිරීමට සැලකිල්ල යොමු කළ හැකිය. ඒ මගින් පළාත් පාලන අංශයේ ව්‍යාපාර හා නිෂ්පාදන ණය හා වියදම ජාතික අය - වැයට බරක් නොවී වෙන්ව කළමනාකරණයකට ලක්වේ. පළාත්පාලන ආයතනවල අය - වැය පාලනය ශක්තිමත් කිරීමත් ප්‍රමිතීන්ට අනුගත වෙමින් මුල්‍ය තත්ත්වය හා මෙහෙයුම් තොරතුරු වාර්තාකරණය විධිමත් කිරීමත් වහාම කළ යුතු කාර්යයකි. පළාත්බදව පවතින සැබෑ නිෂ්පාදන හා මූල්‍ය තොරතුරු පළාත් සභා තොරතුරු සමඟ ඒකාබද්ධ කොට ජාතික නිෂ්පාදනයේ ඇතුළත් වන බව තහවුරු කළ හැක්කේ එවිටය. 2020 සඳහා රාජ්‍ය මූල්‍ය අය-වැය තවමත් ප්‍රමාදය රටේ දේශපාලන කැලඹිල්ල මත ආර්ථිකයේ තිරසාර සංවර්ධනය අවදානමට ලක් නොකළ යුතුය. පශ්චාත් කොරෝනා අවදියේදී වෘත්තීය කළමනාකරණයක් මගින් රාජ්‍ය මූල්‍ය සංස්ථාපනය නිවැරදි මාර්ගයකට යොමු කිරීම මත ආර්ථික සංවර්ධනයක් පුරවැසියන් විසින් රජයෙන් බලාපො‍රොත්තු වේ. ඒ සඳහා නිවැරදි දැක්මක් අවශ්‍යය.

 

ආනන්ද අමරවංශ

මූල්‍ය හා ආර්ථික විශ්ලේෂක

නව අදහස දක්වන්න