උගුර-කන-නාසය පරීක්ෂාවට මෙරට වෛද්‍යවරයකුගෙන් අලුත් මෙවලමක් | දිනමිණ


 

උගුර-කන-නාසය පරීක්ෂාවට මෙරට වෛද්‍යවරයකුගෙන් අලුත් මෙවලමක්

මෙරට ප්‍රථම වරට අල්ට්‍රාසොනික් තාක්ෂණයෙන් බාහිරින් කිසිදු කැපුමක් නොමැතිව උගුර අභ්‍යන්තරයේ ශල්‍යකර්මයක් සිදුකිරීමේ ගෞරවය හිමිකර ගත් උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා අපූරු මෙවලමක් නිපදවා තිබේ. මෙය වෛද්‍යවරයකු මෙරටදී ප්‍රථම වරට නිර්මාණය කළ මෙවලමකි.

මේ දිනවල ලෝකය පුරා පැතිර යන කොරෝනා වසංගතය හේතුවෙන් උගුර, කන, නාසය පරීක්ෂා කිරීමේ සායන කටයුතු බොහෝ දියුණු රටවල පවා අඩපණව ඇති වකවානුවක, ලංකාවේ වෛද්‍යවරයකු විසින් නිර්මාණය කරන ලද මේ නව නිපැයුම කෙරෙහි මේ වනවිට සෞඛ්‍ය අංශයන්හි අවධානය යොමුව ඇත.

උගුර, කන, නාසය වෙත ඉතා කුඩා ප්‍රමාණයේ කැමරාවක් යවා පරිගණකයක් මඟින් ලබාගන්නා දත්ත මඟින් රෝග විනිශ්චය සිදුකිරීම මෙහිදී සිදුකරන අතර මෙහිදී රෝගියාගේ කෙළ බිඳිති, සෙම, සොටු ආදී කිසිවක් වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ ස්පර්ශ නොවීමත්, උපකරණය බිත්තියක සවිකර අවශ්‍ය නම් කාමර දෙකක සිට හෝ මේ පරීක්ෂණය සිදුකිරීමට හැකිවීමත්, වෛද්‍යවරයා කිසිදු ආරක්ෂිත උපාංගයක් පැලඳ ගැනීමකින් තොරව රෝගියා පරීක්ෂා කිරීමට හැකිවීමත් මෙහි ඇති විශේෂත්වය වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෛද්‍ය රිස්නි සකාෆ් මහතාමෙසේ පැවැසීය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අපට උපදෙස් දී තිබෙන්නේ අත්‍යවශ්‍ය රෝගීන් හැරෙන්නට අනෙක් රෝගීන් පරීක්ෂා කිරීම හැකිතරම් අවම කරන්න කියලා. එහෙත් රෝහල් සායන වලට පැමිණෙන දුප්පත් අහිංසක රෝගීන් පරීක්ෂා නොකර ඔවුන්ගේ අසනීප තත්ත්වයන්ට ප්‍රතිකාර නොකර ආපසු හරවා යවන්න අපිට පුළුවන්කමක් නැහැ. ඒ නිසයි මම මගේ දැනුම භාවිතා කරලා මෙවැනි උපකරණයක් නිපදවූයේ. මේ උපකරණය මඟින් මිටර් එකහමාරක දුරක ඉඳන් ඕනෑම රෝගියකු පරීක්ෂා කරන්න හැකියි.

ප්‍රියදර්ශනී කහවල - ඉංගිරිය මධ්‍යම සමූහ

නව අදහස දක්වන්න