බැඳලා හිටපු වාසනා දැන් ලෙහලා | දිනමිණ

බැඳලා හිටපු වාසනා දැන් ලෙහලා

කතරගම මහා දේවාලයේ වාසනා හස්තියා වසර 45ක් පුරාවට දෙවියන් වැඩම වීම සිදු කරන අතර වනයේ සිටින අලි ඇතුන් මෙන්ම වාසනා ප්‍රමුඛ දේවාලයේ අලි ඇත්තුද වාර්ෂිකව ලිංගිකව සක්‍රිය වීමට ලක් වෙති.

අලි භාෂාවෙන් කම්මුල් තෙමීම ලෙස හැඳින්වෙන මේ තත්ත්වයට පත්වූ විට අලියා පිස්සකු මෙන් හැසිරෙන බවත් මෙම හේතුව මත ඇතා මාස කිහිපයක් ගසක බැඳ දමා සාත්තු සප්පායම් කරමින් රැක බලා ගන්නා බවත් වාසනා හස්තියා රැක බලා ගන්නා ඇත් ගොව්වා වන අජිත් අසෝක ලියනගේ මහතා පැවසීය.

වැඩි දුරටත් කරුණු දක්වමින් ඒ මහතා කියා සිටියේ,

‘මේ නිසාවෙන් රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා මාස 04ක කාලයක සිට ගස් බැඳ තියනවා. පසුව සුබ මොහොතින් බඳින ලද යදම් වැල්වලින් මුදා කඳ සුරිඳුගේ පෙරහැර මංගල්‍ය සඳහා සූදානම් කරවනු ලබන්නේ අපුරු චාරිත්‍ර විධිඅනුගමනය කරමිනි.

ඊයේ (13) දින වාසනා හස්තියා බැඳ සිටි ගසින් සුබ මොහොතින් ලිහා චාරිත්‍ර ඉටු කිරීම අද දින සිදු වෙනවා. ඇතා ගසින් ලිහන අවස්ථාවේ දී කතරගම කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් පැමිණ සෙත් පිරිත් කියා පිරිත් පැන් ඉස ඇතාට ආශිර්වාදය කරනු ලබනවා. රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා වාසනා ඇතාට රසකැවිලි ලබා දී සංග්‍රහයන් සිදු කිරීමේ චාරිත්‍රයද මේ එක්කම සිදු වෙනවා.

මෙම අවස්ථාව ඉතාම අලංකාරවත්ව සිදු කරනුයේ මඟුල් ගෙදරක සිරියක් මවාපාමින්.

ඇතා ඉදිරිපිට කිරි මුට්ටියක් උතුරවාලමින් පසුව බැඳ තැබූ යදම් ගලවා ඇතා නහවා කැවුම් කිරිබත් පලතුරු ආහාරයට ලබා දීම සිදු කරනවා. මෙම අවස්ථාවේදී මඟුල් ගෙදරක මෙන් පැමිණ සිටි සැමට අලි වාඩියේ භෝජන සංග්‍රහයක්ද සංවිධානය කරනු ලබන අතර පැමිණ සිටින සැවොම කැවුම් කිරිබත් කා ඇත් ගොව්වාට මුදල් තෑගි ද ලබා දෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේ කර්තව්‍ය කෙරෙන්නේ.’

 

 

 කේ.ඩී. දේවප්‍රිය - කතරගම සංචාරක

නව අදහස දක්වන්න