තරුණ්‍යයේ ජවයට 'පරපුර' එළි දකී | දිනමිණ

තරුණ්‍යයේ ජවයට 'පරපුර' එළි දකී

තරුණ පරපුරට විය යුත්තේ කුමක්දැයි එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තරුණ කණ්ඩායම්වලින් නිරන්තරයෙන් විමසීම් සිදුකරන බව 'පරපුර' වැඩසටහනේ ක්‍රියාකාරී සහ ජාතික තරුණ සේවා සභාවේ සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ සතිර සරච්චන්ද්‍ර මහතා පැවසීය.

තමන්ට හැකි සෑම අවස්ථාවකදීම එලෙස තරුණ කණ්ඩායම් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නද අද එතුමන්ට ඍජු පිළිතුරක් ලබාදෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණු සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

නව මං සොයා යන තාරුණ්‍යක සොදුරු හෝරා කිහිපයක් පසුගියදා කෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැත්විණි. 'පරපුර' නමින් එළිදැක්වූ මෙම වැඩසටහන නවමු තාරුණ්‍යයක ඉදිරි සමාජ සහ දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳ විවෘත සම්මන්ත්‍රණයක් ලෙස මෙය සංවිධානයකොට තිබිණි. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ තරුණ කණ්ඩායම් කිහිපයක් එක්ව එළිදක්වනු ලැබූ මෙම වැඩසහන පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය තරුණ දේශපාලනය පිලිබඳ උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුට මෙම සම්මන්ත්‍රණයට ආරාධනාකොට තිබෙනු දැකගත හැකිවිය.

සතිර සරච්චන්ද්‍ර මහතා එහිදී මෙසේද කියා සිටියේය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වසර හතක පමණ කාලයක සිටයි දැන හඳුනන්නේ. එම කාලය තුළ හමු වූ අවස්ථාවලදී තරුණ පරපුරට ලබාදිය යුත්තේ කුමන ආකාරයේ වැඩසටහන් දැයි මගෙන් විමසුවා. ඒ සියලු විමසීම් සඳහා තමන් මේ අවස්ථාවේදී පිළිතුරු ලබාදෙන්න සූදානම්, පක්ෂ, පාට, ජාති, ආගම් බේදයෙන් තොරව රටේ සියලු තරුණ ප්‍රජාවට ඔවුන්ගේ සිය පුද්ගලික සහ සමාජීය ජිවිත යහපත් කරගනිමින් ජීවත්විය හැකි වාතාවරණයක් නිර්මාණය කරදිය යුතුයි. තරුණ තරුණියන්ට නිදහසේ , ස්වාධීනව ජීවත්වීමටත් රුචිකත්වයක් දක්වනවා. දේශපාලන ස්වාධීනත්වය සහ ආර්ථික වශයෙන් තරුණයන් සවිබල ගැන්වීම මේ යුගයේ අවශ්‍යතාවක් බව මා කියා සිටිනවා.

කොරෝනා වෛරස තත්ත්වය හමුවේ වූවද ලොක් ඩවුන්ව සිටීමට තරුණ පරපුර කැමැති නැහැ. නව කොරෝනා වෛරස තත්ත්වය රටින් පහව ගොස් රට යළි යථාතත්ත්වයට පත්වනු දැකීම තරුණ පරපුරේ අපේක්ෂාවයි.

ඒ වගේම තරුණ පරපුරේ අපේක්ෂාවන් මල්පල ගැන්වීමට රටේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම මෙන්ම ආර්ථික වශයෙන් දියුණු රටක් නිර්මාණය කිරීමද අත්‍යවශ්‍ය කරුණකි. ඒ සඳහා නායකත්වය ලබාදීමට තරුණ තරුණියන් ඉතාමත් ඕනෑකමින් සූදානමින් සිටිනවා.

මෙම වැඩසහනට හිටපු ඇමැතිවරුන් වන සාගල රත්නායක, දයා ගමගේ, එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු අපේක්ෂක ලසන්ත ගුණවර්ධන මහත්වරුන් ඇතුළු තරුණ නායකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

නව අදහස දක්වන්න