හක්මන 13 කණුවේදී කොස්තාපල් යට මැරූ රියැදුරා අත්අඩංගුවට | දිනමිණ


 

හක්මන 13 කණුවේදී කොස්තාපල් යට මැරූ රියැදුරා අත්අඩංගුවට

රියැදුරා  කොටු වෙයි

හක්මන 13 කණුව අසලදී පොලිස් කොස්තාපල්වරයකු හප්පා, මරණයට පත්කර, තවත් සැරයන්වරුන් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකළ ටිපර් රථ රියැදුරා අත්අඩංගුවට තිබේ.

අත්අඩංගුවට ගත් පසු සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ චෝදනාවට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ (296) වැනි වගන්තිය යටතේ නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.

ඒ මහතා මේබව ප්‍රකාශකර සිටියේ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ දී (14) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජාලිය සේනාරත්න මහතා මෙසේද කීය.අපරික්ෂාකාරි ලෙස ධාවනය වූ ටිපර් රථයක් නතර කරන ලෙසට කිරින්ද ප්‍රදේශයේ රාත්‍රී මුර සංචරයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු සංඥා කළද එම රථය නොනවත්වාම වේගයෙන් ධාවනයවීම නිසා නිලධාරීන් 13 කණුව ප්‍රදේශයේ තිබෙන පොලිස් මාර්ග බාධකය දැනුවත් කර ඇත. ටිපර් රථය පිටු පස හඹා ගොස් අපරික්ෂාකාරීව රිය ධාවනය සම්බන්ධයෙන් සැකකාර රියැදුරාට තාවකාලිකව රියදුරු බලපත්‍රයක් ලබා දීමෙන් අනතුරුව, සිතාසි පැමිණි විට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මුදා හැර තිබේ. ඊට විනාඩි දහයකට පසුව නැවත ටිපර් රථය හරවා පැමිණ මාර්ගයේ සිටි නඩු දැමීමට කටයුතු කළ නිලධාරීන් යටකර පලා ගොස් ඇත. එහිදී පොලිස් කොස්තාපල්වරයකු ජීවිතක්ෂයට පත් වූ අතර වැටලීම කළ සැරයන්වරයා සහ තවත් සැරයන්වරයකු බරපතළ තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කරනු ලැබීය.

පසුව ටිපර් රථය රන්න ප්‍රදේශයේ සඟවා තිබියදී පොලීසිය අත්අඩංගුවට ගත් අතර සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (14) පස්වරු 2.30 ට පමණ හුංගම පොලිස් වසමට අයත් රනාල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයා වයස අවුරුදු 34ක් වන උහපිටිය, ලුනම, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචිකරුවෙකු බවට අනාවරණය කරගෙන තිබේ.

සැකකරු අද (15) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර හක්මන පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

 

ගයාන් කුමාර වීරසිංහ, අනුරාධපුර මධ්‍යම විශේෂ,

අම්බලන්තොට සමුහ ගන්දර සමූහ, මාතර සමූහ

නව අදහස දක්වන්න