ස්වයං නිරෝධායන වන පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ප.ව. 4-5 වෙන් කෙරේ | දිනමිණ

ස්වයං නිරෝධායන වන පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ප.ව. 4-5 වෙන් කෙරේ

නිවෙසේ සිට ස්වයං නිරෝධායන වන පුද්ගලයන්ට මහා මැතිවරණය පැවැත්වෙන දිනයේ පස්වරු 4.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ තුළ අදාළ ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ තමන්ගේ ඡන්දය ප්‍රකාශ කළහැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.

මැතිවරණය කල්දැමීමක් සිදුනොවන බව පවසන ඒ මහතා යාපනයේ මැතිවරණ කටයුතු නිරීක්ෂණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පෙන්වා දුන්නේය.එහිදී වැඩිදුරටත් අඳහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ අගෝස්තු මස පස්වැනිදා මහා මැතිවරණය පැවැත්වීමට උපරිම වශයෙන් උත්සාහ කරන බවත් ඡන්දය කල්දැමීම සම්බන්ධයෙන් කිසිඳු සාකච්ඡාවක් සිදුකර නොමැති බවත්ය. මේ මැතිවරණය කල්දැමීම තවදුරටත් අපහසු බව පෙන්වාදෙන ඒ මහතා ප්‍රජාතන්ත්‍රවාදය පවතින්න නම් පාර්ලිමේන්තුව අවශ්‍ය බවද ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට එකඟව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද පැවසීය. එසේම මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ප්‍රකාශට පත්කරන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ සභාපතිවරයා එය අත්‍යවශ්‍ය බවද ගැසට් එක නොමැතිව ඡන්දය කරගෙන යාම අපහසු බවද පෙන්වා දුන්නේය. මෙහිදී කිසිඳු තැනෙක පරීක්ෂා කිරීම් නැවැත්වීමට හැකියාවක් නැතැයි පෙන්වාදුන් මහින්ද දේශප්‍රිය මහතා ජනතාවට බියෙන් හා සැකයෙන් තොරව සාමකාමී ලෙස ඡන්දය පාවිච්චි කිරීම සඳහා ඉඩදිය යුතු බවට වාර්තාවක් පිළියෙල කරන බවද මීට වසර 16කට පමණ පෙර පැවැති තත්ත්වය සහ අද පවතින තත්ත්වය බෙහෙවින්ම වෙනස් බවද එක් පිරිසකට එක් කෑල්ලක් සහ තවත් කට්ටියකට තවත් කොටසක් අයිති බවට කාලයක් පැවැති බවද පැවසීය.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න