ලිංගික අල්ලස් ඉල්ලූ බියගම උප පොලිස් පරීක්ෂක රිමාන්ඩ් | දිනමිණ


 

ලිංගික අල්ලස් ඉල්ලූ බියගම උප පොලිස් පරීක්ෂක රිමාන්ඩ්

සිය සැමියාට මහාධිකරණය හමුවේ නඩු නොපවරා සිටින බව පවසමින් මරණිය තර්ජනය කොට බියවද්දවා පැමිණිලිකාරියගෙන් ලිංගික අල්ලස් ඉල්ලු බියගම පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයා ලබන මස 7 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙණෙවිය ඊයේ (27) නියම කළාය. මෙසේ රක්ෂිතබන්ධනාගාරගත කරනු ලැබුවේ බියගම පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂක වල්මුණිදේවගේ හරින් තිලක් සිරිවර්ධන නැමැත්තාය.

ඊයේ 26 රාත්‍රි 11ට පමණ සැකකරු පැමිණිලිකාරියගේ බෝඩිමේ දි අත්අඩංගුවට ගත් බව පවසමින් අල්ලස් කොමිසම විසින් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

සැකකරු ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම පැවසුවේ පැමිණිලිකාරියට සිය අනියම් පුරුෂයා හා මිතුරා බැලිමට පොලිසියට ගිය අවස්ථාවේ දි සැකකරු විසින් ඔවුන්ට මහාධිකරණය හමුවේ නඩු නොපවරා සිටිමට ලිංගික අල්ලසක් ඉල්ලා නිවසට පැමිණිමට අවස්ථාව ලබා දෙන ලෙසට ඉල්ලා ඇති බවය.

මෙහිදි සැකකරු වෙනුවෙන් පෙනි සිටි නිතිඥ රසික බමුණද්දර මහතා පැවසුවේ ඇය විවාහක බවක් හෝ තමන් නොදන්නා බවත් මෙම වැටලිම සම්බන්ධයෙන් ද සිය සේවාදායකයා නොදන්නා බවය.

පොලිසියට ආ ගිය අවස්ථාවේ දි කථා බහා කර ඇති බව සඳහන් කළ නිතිඥවරයා ඇය විසින් තමන්ට දුරකථනයෙන් කිහිපවතාවක්ම කථාකර ඇති බවත් ඇය පෙරැත්ත අනුව සිය සේවාදායකයා නිවසට ගිය බවය.

සැකකරු නිවසට පැමිණෙන බව පවසා පැමිණිලිකාරිය තමන්ට දැනුම් දුන් අතර උපාය දුතයෙකු යොදවා මෙම වැටලිම සිදු කර සැකකරු අත්අඩංගුවට ගත් බවට අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.

සැකකරු වෙනුවෙන් කරුණු දැක්වු නීතිඥවරයා සඳහන් කරනු ලැබුවේ මෙය හුදෙක් ප්‍රේම සබඳතාවක් මිස ලිංගික අල්ලසක් නොවන බවත් කවුරුන්හෝ තමන් අපහසුතාවයට ලක් කිරිමට සැලසුම් කළ වැඩක් බවය.

අදාළ කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා තවත් කිරිමට ඇති විමර්ශන කවරේදැයි අල්ලස් කොමිසමෙන් විමසා සිටියාය.

පොලිසියේ උසස් නිලධාරින්ගේ ප්‍රකාශ ලබාගැනිමට හා දුරකථන දත්ත වාර්තා ලබා ගැනිමට ඇති බවට අල්ලස් කොමිසම දැක්වු කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරිය විමර්ශන කඩිනම් කිරිමට නියම කරමින් සැකකරු ලබන මස 7 වන දින දක්වා රක්ෂිතබන්ධනාගාරගත කිරිමට නියෝග කළාය.

සිරන්ජනි කුමාරි

නව අදහස දක්වන්න